අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(10) 5. අසුර වර්‍ගය

7. ඛිප්පනි සන්ති සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?

’’තමාගේ යහපත පිණිස පිළිපන්, අනුන්ගේ යහපත පිණිස පිළිනොපන් පුද්ගලයාය, අනුන්ට හිත පිණිස පිළිපන්, තමාගේ යහපත පිණිස පිළිනොපන් පුද්ගලයාය, තම යහපත පිණිස හෝ අනුන්ගේ යහපත පිණිස පිළිනොපන් පුද්ගලයාය, තමාගේ යහපත පිණිසත්, අනුන්ගේ යහපත පිණිසත් පිළිපන් පුද්ගලයාය යන සතරදෙනයි.

’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම තමන්ගේ යහපත පිණිස පිළිපන්නේද, අන්‍යයන්ගේ යහපත පිනිස නොපිළිපන්නේද?’’

’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්‍මයන් වහා දැනගන්ට සමර්ත්‍ථ වේද, ඇසූ ධර්‍මයන් දරන ස්වභාව ඇත්තේ වේද, දැරූ ධර්‍මයන්ගේ අර්ත්‍ථ පරීක්‍ෂා කරන්නේ වේ. අර්ත්‍ථය දැන, ධර්‍මය දැන, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වේ.

’’යහපත් වචන නැත්තේ වේ. යහපත් වචන හඬ නැත්තේ වේ. විස්සඨ අඞ්ගයන්ගෙන් යුත්, කෙළතොළු නොවූ, අර්ත්‍ථයන් හඟවන නාගරීක වචනයෙන් යුක්තවූයේ වේ. සබ්‍රම්සරුන්ට උදාහරණ දක්වා කියා නොදේද, සමාදන් නොකරවාද, තෙද නොගන්වාද, සතුටු නොඋපදවාද,

’’මහණෙනි, මෙබඳු පුද්ගල තෙම තමාගේ යහපත පිණිස පිළිපන්නේ වේ. අනුන්ගේ යහපත පිණිස පිළිපන්නේ නොවේ.’’

’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම අනුන්ගේ යහපත පිණිස පිළිපන්නේ තම හිත පිණිස නොපිළිපන්නේ වේද?

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්‍මයන් වහා දකින්නට සමර්ත්‍ථ නොවේද, ඇසූ ධර්‍මයන් නොදරණ ස්වභාව ඇත්තේද, දැරූ ධර්‍මයන්ගේ අර්ත්‍ථයන් පරීක්‍ෂා කරන්නේ නොවේද, අර්ත්‍ථය දැන, ධර්‍මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපන්න නොවේ.

’’යහපත් වචන ඇත්තේ වේ. යහපත් ශබ්ද ඇත්තේ වේ. විස්සඨ අඞ්ගයෙන් යුත්, කෙළතොළු නොවූ, අර්ත්‍ථයන් හඟවන නාගරීක වචනයෙන් යුක්තවූයේ වේ. සබ්‍රම්සරුන්ට උදාහරණ දක්වා කියා දේද, සමාදන් කරවයිද, තෙද ගන්වයිද, සතුටු කරවයිද,

’’මහණෙනි, මේ පුද්ගල තෙම අනුන්ගේ යහපත පිණිස පිළිපන්නේ වේ. තමාගේ යහපත පිණිස පිළිපන්නේ නොවේ.’’

’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම තමාගේ යහපත පිණිස පිළිනොපන්නේ වේද, අනුන්ගේ යහපත පිණිස පිළිනොපන්නේ වේද?

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්‍මයන් වහා දකින්නට සමර්ත්‍ථ නොවේද, ඇසූ ධර්‍මයන් නොදරණ ස්වභාව ඇත්තේද, දැරූ ධර්‍මයන්ගේ අර්ත්‍ථයන් පරීක්‍ෂා කරන්නේ නොවේද, අර්ත්‍ථය දැන, ධර්‍මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපන්න නොවේ.

’’යහපත් වචන නැත්තේ වේ. යහපත් වචන හඬ නැත්තේ වේ. විස්සඨ අඞ්ගයන්ගෙන් යුත්, කෙළතොළු නොවූ, අර්ත්‍ථයන් හඟවන නාගරීක වචනයෙන් යුක්තවූයේ වේ. සබ්‍රම්සරුන්ට උදාහරණ දක්වා කියා නොදේද, සමාදන් නොකරවාද, තෙද නොගන්වාද, සතුටු නොඋපදවාද,

’’මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම තමාගේ යහපත පිණිසත්, අනුන්ගේ යහපත පිණිසත්, නොපිළිපන්නේ වේ.’’

’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම තමාගේ යහපත පිණිසද, අනුන්ගේ යහපත පිණිසද පිළිපන්නේ වේද?

’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්‍මයන් වහා දැනගන්ට සමර්ත්‍ථ වේද, ඇසූ ධර්‍මයන් දරන ස්වභාව ඇත්තේ වේද, දැරූ ධර්‍මයන්ගේ අර්ත්‍ථ පරීක්‍ෂා කරන්නේ වේ. අර්ත්‍ථය දැන, ධර්‍මය දැන, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වේ.

’’යහපත් වචන ඇත්තේ වේ. යහපත් ශබ්ද ඇත්තේ වේ. විස්සඨ අඞ්ගයෙන් යුත්, කෙළතොළු නොවූ, අර්ත්‍ථයන් හඟවන නාගරීක වචනයෙන් යුක්තවූයේ වේ. සබ්‍රම්සරුන්ට උදාහරණ දක්වා කියා දේද, සමාදන් කරවයිද, තෙද ගන්වයිද, සතුටු කරවයිද,

’’මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම තමන්ගේ යහපත පිණිස පිළිපන්නේද, අනුන්ගේ යහපත පිණිස පිළිපන්නේද වේ. මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’