අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

4. සතරවැනි පණ්ණාසකය

(18) 3. උපාසක වර්‍ගය

9. ගිහි ව්‍යාකරණ සූත්‍රය

’’ඉක්බිති අනේපිඬු සිටු තෙම පන්සියයක් පමණ උපාසකවරුන් විසින් පිරිවරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළ සේක.

’’ශාරීපුත්‍රය, ශික්‍ෂා පද පසෙක්හි සංවරවූ කර්‍මාන්ත ඇති උතුම් සිතෙහි හටගත්තාවූ මේ ආත්මයෙහි සැප විහරණ සතරක් කැමති පරිදි ලබන්නාවූ, පහසුවෙන් ලබන්නාවූ, බහුලව ලබන්නාවූ යම්කිසි සුදු වස්ත්‍ර හඳනා ගිහියෙකු දන්නහුද, හෙතෙම කැමතිවනු ලබන්නේ ක්‍ෂවූ නිරය ඇත්තේ, ක්‍ෂයවූ තිරිසන් යෝනිය ඇත්තේ, ක්‍ෂයවූ ප්‍රේත අපාය ඇත්තේ, ක්‍ෂයවූ සැප නැත්තාවූ, දුකට පිළිසරණවූ නපුරුසේ පතිතවීම් ඇත්තේ වෙමියි. ’මම නපුරුසේ පතිතවන ස්වභාව නැත්තේ නියතවූ සම්බෝධිය පිහිට කොට ඇත්තේ සෝවාන්වූයේ වෙමි’ යි තෙමේම තමන් ප්‍රකාශ කරන්නේය.

’’කවර නම් ශික්‍ෂාපද පසෙක්හි සංවරවූ කර්‍මාන්ත ඇත්තේ වේද යත්? ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කවර පසකින්ද යත්? ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි. මේ ශික්‍ෂා පද පසෙහි සංවරවූ කර්‍මාන්ත ඇත්තේ වෙයි.

’’කවර නම් සිවු වැදෑරුම්වූ උතුම් සිතෙහි හටගත්තාවූ මේ ආත්මයෙහිවූ සැප විහරණයන් කැමැති පරිදි ලැබීම ඇත්තේ බහුලව ලැබීම ඇත්තේ වේද, ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ( මෙහි 11 සොතාපත්ති සංයුත්තයෙහි 7 සූත්‍රයේ 13 ඡේදයේ පළමුවෙනි කොටස යෙදිය යුතුයි. පිට 3131) මේ පළමුවන උතුම් සිතෙහි හටගන්නා වූ මේ ආත්මයෙහිවූ සැප විහරණය තෙම අපිරිසිදු චිත්තයාගේ පිරිසිදු වීම පිණිස, නිර්‍මල නුවූ චිත්තයාගේ නිර්‍මල වීම පිණිස, මොහු විසින් ලබන ලද්දේ වෙයි.

’’ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ( මෙහි 11 සොතාපත්ති සංයුත්තයෙහි 7 සූත්‍රයේ 13 ඡේදයේ දෙවෙනි කොටස යෙදිය යුතුයි. පිට 3131) මේ දෙවන උතුම් සිතෙහි හටගන්නා වූ මේ ආත්මයෙහිවූ සැප විහරණය තෙම අපිරිසිදු චිත්තයාගේ පිරිසිදු වීම පිණිස, නිර්‍මල නුවූ චිත්තයාගේ නිර්‍මල වීම පිණිස, මොහු විසින් ලබන ලද්දේ වෙයි.

’’ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ( මෙහි 11 සොතාපත්ති සංයුත්තයෙහි 7 සූත්‍රයේ 13 ඡේදයේ 3 කොටස යෙදිය යුතුයි. පිට 3131) මේ මොහු විසින් තුන්වන උතුම් සිතෙහි හටගන්නා වූ මේ ආත්මයෙහිවූ සැප විහරණය තෙම අපිරිසිදු චිත්තයාගේ පිරිසිදු වීම පිණිස, නිර්‍මල නුවූ චිත්තයාගේ නිර්‍මල වීම පිණිස, මොහු විසින් ලබන ලද්දේ වෙයි.

’’ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නොකඩවූ, නොසිදුරුවූ, කබර සහිත නොවූ, තිත් සහිත නොවූ, දාසකමින් මිදුනාවූ, නුවණැත්තන් විසින් පසස්නා ලද්දාවූ. තෘෂ්ණා දෘෂ්ටීන් පරාමර්‍ෂණය නොකරණ ලද්දාවූ, සමාධිය පිණිස පවත්නාවූ, ආර්‍ය්‍යයන් කැමතිවූ ශීලයන්ගෙන් යුක්තවේද, මේ මොහු විසින් සතරවන උතුම් සිතෙහි හට ගන්නාවූ මේ ආත්මයෙහිවූ සැප විහරණය තෙම අපිරිසිදු චිත්තයාගේ පිරිසිදු වීම පිණිස, නිර්‍මල නුවූ චිත්තයාගේ නිර්‍මල වීම පිණිස, මොහු විසින් ලබන ලද්දේ වෙයි. මේ සිවු වැදෑරුම්වූ කුශල් සිත්හි හටගන්නාවූ, ආත්මයෙහිවූ සැප විහරණයන් කැමති පිරිදි ලැබීම ඇත්තේ, සුවසේ ලැබීම ඇත්තේ, බහුලව ලැබීම ඇත්තේ වේ.

’’ශාරීපුත්‍රය, ශික්‍ෂා පද පසෙක්හි සංවරවූ කර්‍මාන්ත ඇති උතුම් සිතෙහි හටගත්තාවූ මේ ආත්මයෙහි සැප විහරණ සතරක් කැමති පරිදි ලබන්නාවූ, පහසුවෙන් ලබන්නාවූ, බහුලව ලබන්නාවූ යම්කිසි සුදු වස්ත්‍ර හඳනා ගිහියෙකු දන්නහුද, හෙතෙම කැමතිවනු ලබන්නේ ක්‍ෂවූ නිරය ඇත්තේ, ක්‍ෂයවූ තිරිසන් යෝනිය ඇත්තේ, ක්‍ෂයවූ ප්‍රේත අපාය ඇත්තේ, ක්‍ෂයවූ සැප නැත්තාවූ, දුකට පිළිසරණවූ නපුරුසේ පතිතවීම් ඇත්තේ වෙමියි. ’මම නපුරුසේ පතිතවන ස්වභාව නැත්තේ නියතවූ සම්බෝධිය පිහිට කොට ඇත්තේ සෝවාන්වූයේ වෙමි’ යි තෙමේම තමන් ප්‍රකාශ කරන්නේය.

(1)’’නරකයන්හි භය දැක පව් දුරු කරන්නේය. පණ්ඩිතතෙම ආර්‍ය්‍ය ධර්‍මය හෙවත් පඤ්ච ශීලය සමාදන්ව පව් දුරු කරන්නේය.

(2)’’උත්සාහය ඇති කල්හි පන ඇති සතුන් නොනසන්නේය. දැනගෙණ බොරුවද නොකියන්නේය. නුදුන් දෙය නොඅල්ලන්නේය..

(3)’’සිය අඹුවන් හා සතුටුවූයේ අන් අඹුවකටද නොඇලෙන්නේය. සත්ත්‍වතෙම සිත මුළා කරන්නාවූ සිව් වැදෑරුම්වූ මෙරයද පස් වැදෑරුම්වූ සුරාවද නොබොන්නේය.

(4)’’බුදුන් සිහි කරන්නේය. ධර්මයද අනුව කල්පනා කරන්නේය. නිදුක්වූ හිතවූ භාවනා සිත බඹ ලොව ඉපදීම පිණිස වඩන්නේය.

(5)’’දියයුතු වස්තුව එළඹ සිටි කල්හි පිනෙන් ප්‍රයෝජන ඇති පින් සොයන්නහු විසින් පළමුකොට බුද්ධාදී සත්පුරුෂයන් විෂයෙහි දෙන ලද දක්‍ෂිණා තොමෝ මහත් ඵල ඇත්තී වේ. ශාරීපුත්‍රය, සත් පුරුෂයන් කියන්නෙමි. මාගේ කීම අසව.

(6-7) ’’මෙසේ කළුවූ හෝ සුදුවූ හෝ රතුවූ හෝ පළාවන්වූ හෝ ලප සහිතවූයේ වස්සන් හා සමාන රූප ඇත්තාවූ හෝ, පරෙවියන්ට බඳු පැහැ ඇත්තාවූ හෝ, යම්කිසි මේ දෙනුන් අතරෙහි දැමුනාවූ. බර ඉසිලීමට සුදුසුවූ ශක්ති ඇත්තාවූ, යහපත් වේගයෙන් යන්නාවූ ශ්‍රෙෂ්ඨ ගවයෙක් උපදීද,

(8-9) ’’ඒ ගවයාම බර ඇති කල්හි යොදත්. මොහුගේ පැහැය නොබලත්. මෙපරිද්දෙන්ම මනුෂ්‍යයන් අතරෙහි යම්කිසි ජාතියෙක්හි ක්‍ෂත්‍රිය කුලයෙහිද, බමුණු කුලයෙහිද, වෛෂ්‍ය කුලයෙහිද, හුද්‍ර කුලයෙහිද, සැඩොල් කුලයෙහි හා පුප් සඩු කුලයෙහිද යන මේ කිසියම් ජාතියෙක්හි දැමුනාවූ මනා පැවතුම් ඇත්තෙක් උපදීද,

(10-11) ’’ධර්මයෙහිම පිහිටියාවූ හෙතෙම ශීලයෙන් යුක්තවේද, සත්‍ය වචන ඇත්තේද, ලජ්ජා ඇත්තේද, දුරු කළාවූ ජාතිය හා මරණය ඇත්තේද, බ්‍රහ්මචර්‍ය්‍යාව සම්බන්‍ධ සියල්ලෙන් යුක්ත වේද, බහා තබන ලද ස්කන්ධාදී බර ඇත්තේද, සසරින් වෙන්වූයේද, සිව් මගින් කළ කටයුතු ඇත්තේද, ආශ්‍රව රහිතවේද, සියලු ධර්මයන්ගේ පරතෙරට පැමිණියේද, උපාදාන රහිතව කෙළෙසුන්ගෙන් නිවියේද.

(12-13) ’’කෙළෙස් රජස් නැත්තාවූ ඒ ක්‍ෂෙත්‍රයෙහිම දෙන ලද දක්‍ෂිණා තොමෝ මහත් ඵල ඇත්තී වේ. ක්‍ෂෙත්‍රය නොදන්නාවූ, නුවණ නැත්තාවූ, අශ්‍රුතවත්වූ අඥානයෝද මේ ශාසනයෙන් පිටත්හි දානයන් දෙත්.

සත්පුරුෂයන් කරා නො එළඹෙත්. ප්‍රාඥයන් විසින් සම්මත කරණ ලද ප්‍රඥා සහිතවූ සත්පුරුෂයන් කරා යම් කෙණෙක් එළඹෙත්ද,

’’ඔවුන්ගේ ශ්‍රද්‍ධාවද සුගතවූ බුදුන් කෙරෙහි හටගත් මුල් ඇතිව පිහිටියාය. ඔවුහු දෙව්ලොවටද පැමිණෙත්. මේ ලෝකයෙහි උසස් කුලයෙක්හි හෝ උපදිත්. පණ්ඩිතවූ ඔවුහු පිළිවෙළින් නිර්‍වාණයට පැමිණෙත්ය’’ යි වදාළ සේක.