අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

4. සතරවැනි පණ්ණාසකය

(18) 3. උපාසක වර්‍ගය

10. ගවෙසී උපාසක සූත්‍රය

’’එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වල මහත්වූ භික්‍ෂු සංඝයා සමග සැරිසරණ සේක. දීර්‍ඝවූ මාර්‍ගයට පිළිපන්නාවූ භාග්‍යවතුන් වහන්සේ එක්තරා ප්‍රදේශයෙක්හි මහත්වූ සල් වනයක් දුටු සේක දැක මාර්‍ගයෙන් ඉවත්ව ඒ සල් වනය යම් තැනෙක්හිද, එතැනට ඇතුල්ව එක්තරා පෙදෙසෙක්හි සිනා පහළ කල සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට මෙබඳු සිතක් විය.

භාග්‍යවතුන් වහන්සේගේ සිනා පහළ කිරීමට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද? තථාගතයෝ නිකරුනේ සිනා පහළ නොකෙරෙතියි,

එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සිනා පහළ කිරීමට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද? තථාගතයෝ නිකරුනේ සිනා පහළ නොකෙරෙතියි,

’’ආනන්‍දය, පෙරවූවක් කියමි. මේ ප්‍රදේශයෙහි සමෘද්‍ධවූද, ඉතා සමෘද්‍ධවූද බොහෝ ජනයා ඇති, මිනිසුන්ගෙන් ගැවසීගත් නුවරක් විය. ආනන්‍දය, ඒ නුවර වනාහි අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ කාශ්‍යප භාග්‍යවත් තෙම ඇසුරුකොට වාසය කෙළේය. ආනන්‍දය, අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ වනාහි පංචශීලයන්හි සම්පූර්‍ණකිරීම නැත්තාවූ ගවේසී නම් උපාසකයෙක් වූයේය. ආනන්‍දය, ගවේසී නම් උපාසකයා විසින් පන්සියයක් පමණ උපාසකවරු සරණයන්හි පිහිටුවන ලද්දාහු ශීලයන්හි සම්පූර්‍ණකිරීම නැත්තෝ වූහ.

’’ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් උපාසකයාහට මෙබඳු සිතක් විය. ’මම වනාහි මේ පන්සියයක් උපාසකවරුන්ට බොහෝ උපකාර ඇත්තෙක්, පෙරටුව යන්නෙක්, සමාදන් කරවන්නෙක් වෙමි.

මමද ශීලයන්හි සම්පූර්‍ණ කිරීම නැත්තේ වෙමි. මේ පන්සියයක් උපාසකවරුද ශීලයන්හි සම්පූර්‍ණකිරීම නැත්තාහුය.

මෙසේ මෙය සමසමවේ. කිසි විශෙෂයක් නැත. එබැවින් මම විශෙෂය පිළිපදිමි.’

’’ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් උපාසකතෙම ඒ පන්සියයක් උපාසකයන් යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ඒ පන්සියයක් උපාසකයන්ට මෙය කීයේය.

,ආයුෂ්මත්නි, අද පටන් මා ශීලයන්හි සම්පූර්‍ණකිරීම ඇත්තෙකු කොට දරව්.’’

’’ආනන්‍දය, එකල්හි ඒ පන්සියයක් උපාසකයන්ට මෙබඳු සිතක් විය. ’ගවේසී නම් ආර්‍ය්‍ය තෙමේ වනාහි අපට බොහෝ උපකාර ඇත්තේය. පෙරටුව ගමන් කරන්නේය. සමාදන් කරවන්නෙකි.

ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ වනාහි ශීලයන්හි සම්පූර්‍ණ කිරීම ඇත්තෙක් වන්නේය. අපි වනාහි කවර කාරණයකින් එසේ නොවන්නෙමුදැ’ යි

’’ආනන්‍දය, ඉක්බිති ඒ පන්සියයක් උපාසකවරු ගවේසී නම් උපාසකතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ගවෙසී නම් උපාසකයාහට මෙය කීවාහුය.

’ගවේසී නම් ආර්‍ය්‍යතෙම අද පටන් මේ පන්සියයක් උපාසකවරු ශීලයන්හි සම්පූර්‍ණ කිරීම ඇත්තාහුයයි දරණ සේක්වාය’ යි.

’’ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් උපාසකයාහට මෙබඳු සිතක් විය. ’මම වනාහි මේ පන්සියයක් උපාසකවරුන්ට බොහෝ උපකාර ඇත්තෙක්, පෙරටුව යන්නෙක්, සමාදන් කරවන්නෙක් වෙමි. මමද ශීලයන්හි සම්පූර්‍ණ කිරීම ඇත්තේ වෙම්. මේ පන්සියයක් උපාසකවරුද ශීලයන්හි සම්පූර්‍ණ කිරීම ඇත්තාහු වෙත්. මෙසේ මෙය සමසමවේ. කිසි විශෙෂයක් නැත. එබැවින් මම විශෙෂය පිළිපදිමි.’

’’ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් උපාසකතෙම ඒ පන්සියයක් උපාසකයන් යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ඒ පන්සියයක් උපාසකයන්ට මෙය කීයේය. ආයුෂ්මත්නි අද පටන් මා ගම්වැසියන්ගේ ස්වභාවක්වූ, මෛථුනයෙන් වැළකුණාවූ, කාමයන්ගෙන් දුරවූ හැසුරුම් ඇති බ්‍රහ්මචාරියෙකු කොට දරව්.’

’’ආනන්‍දය, එකල්හි ඒ පන්සියයක් උපාසකයන්ට මෙබඳු සිතක් විය. ’ගවේසී නම් ආර්‍ය්‍ය තෙමේ වනාහි අපට බොහෝ උපකාර ඇත්තේය. පෙරටුව ගමන් කරන්නේය. සමාදන් කරවන්නෙකි. ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ වනාහි ගම්වැසියන්ගේ ස්වභාවවූ, මෛථුන සේවනයෙන් වැළකුණාවූ, කාමයන්ගෙන් දුරවූ හැසුරුම් ඇති බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තෙක් වන්නේය. අපි වනාහි කවර කාරණයකින් එසේ නොවන්නෙමුදැයි’.

’’ආනන්‍දය, ඉක්බිති ඒ පන්සියයක් උපාසකවරු ගවේසී නම් උපාසකතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ගවෙසී නම් උපාසකයාහට මෙය කීවාහුය.

’ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ අද පටන් මේ පන්සියයක් උපාසකයන්ද, ග්‍රාම්‍ය ධර්‍ම වූ මෛථුන සේවනයෙන් දුරුවූ, කාමයන්ගෙන් දුරුවූ හැසුරුම් ඇති බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තවුන් කොට දරණ සේක්වායි.

’’ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් උපාසකයාහට මෙබඳු සිතක් විය. ’මම වනාහි මේ පන්සියයක් උපාසකවරුන්ට බොහෝ උපකාර ඇත්තෙක්, පෙරටුව යන්නෙක්, සමාදන් කරවන්නෙක් වෙමි. මමද ශීලයන්හි සම්පූර්‍ණ කිරීම් ඇත්තේ වෙමි. මේ පන්සියයක් උපාසකවරුද ශීලයන්හි සම්පූර්‍ණ කිරීම් ඇත්තෝ වෙත්. මමද ග්‍රාම්‍ය ධර්‍ම වූ මෛථුන සේවනයෙන් වැළකුනේ, කාමයන්ගෙන් දුරවූ හැසුරුම් ඇත්තේ බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තෙක් වෙමි. මේ පන්සියයක් උපාසකවරුද, ග්‍රාම්‍ය ධර්මවූ මෛථුන සේවනයෙන් වැළකුනාහු, කාමයන්ගෙන් දුරවූ හැසුරුම් ඇති, බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තාහු වෙත්. මෙසේ මෙය සමසමවේ. කිසි විශෙෂයක් නැත. එබැවින් මම විශෙෂය පිළිපදිමියි.’

’’ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් උපාසකතෙම ඒ පන්සියයක් උපාසකයන් යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ඒ පන්සියයක් උපාසකයන්ට මෙය කීයේය. ’ආයුෂ්මත්නි, අද පටන් මා විකල් බොජුනෙන් වැළකුනාවූ, රාත්‍රි භෝජනයෙන් තොරවූ එක වේලේ වළඳන බත් ඇත්තෙකු කොට දරව්.’’

’’ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ වනාහි ශීලයන්හි සම්පූර්‍ණ කිරීම ඇත්තෙක් වන්නේය. අපි වනාහි කවර කාරණයකින් එසේ නොවන්නෙමුදැ’ යි ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ වනාහි, විකල් බොජුනෙන් වැළකුනේ, රාත්‍රි භෝජනයෙන් තොරවූයේ. එක වේලේ බත් ඇත්තෙක් වන්නේය. අපි වනාහි කවර කාරණයකින් එසේ නොවන්නෙමුද?

’’ආනන්‍දය, ඉක්බිති ඒ පන්සියයක් උපාසකවරු ගවේසී නම් උපාසකතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ගවෙසී නම් උපාසකයාහට මෙය කීවාහුය. ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ අද පටන් මේ පන්සියයක් උපාසකවරුද විකල් බොජුනෙන් වැළකුනාවූ. රාත්‍රි භොජනයෙන් තොරවූ එක වේලේ බත් ඇත්තවුන් කොට දරණ සේක්වායි.’

’’ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් උපාසකයාහට මෙබඳු සිතක් විය. ’මම වනාහි මේ පන්සියයක් උපාසකවරුන්ට බොහෝ උපකාර ඇත්තෙක්, පෙරටුව යන්නෙක්, සමාදන් කරවන්නෙක් වෙමි. මමද ශීලයන්හි සම්පූර්‍ණ කිරීම ඇත්තේ වෙමි. මේ පන්සියයක් උපාසකවරුද ශීල යන්හි සම්පූර්‍ණකිරීම ඇත්තාහුය. මමද ග්‍රාම්‍ය ධර්මවූ මෛථුන සේවනයෙන් වැළකුනාවූ, කාමයන්ගෙන් දුරවූ හැසුරුම් ඇති, බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තෙක් වෙමි. මේ පන්සියයක් උපාසකවරුද, ග්‍රාම්‍ය ධර්මවූ මෛථුන සේවනයෙන් වැළකුනාවූ හැසුරුම් ඇති, බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තාහුය. මමද විකල් බොජුනෙන් වැළකුනාවූ. රාත්‍රි භොජනයෙන් තොරවූ එක වේලේ බත් ඇත්තෙක් වෙමි. මේ පන්සියයක් උපාසකවරුද විකල් බොජුනෙන් වැළකුනාවූ. රාත්‍රි භොජනයෙන් තොරවූ එක වේලේ බත් ඇත්තාහුය. මෙසේ මෙය සමසමවේ. කිසි විශෙෂයක් නැත. එබැවින් මම විශෙෂය පිළිපදිමියි.’

’’ආනන්‍දය, ඉක්බිති ගවේසී උපාසක තෙම අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ’ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ප්‍රව්‍රජ්‍යාව ලබන්නෙමියි, උපසම්පදාවද ලබන්නෙමි’ යි කීයේය.

’’ආනන්‍දය, ගවේසී නම් උපාසක තෙම අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ප්‍රව්‍රජ්‍යාව ලැබුයේය. උපසම්පදාවද ලැබුයේය. ආනන්‍දය, උපසපන්වූ නොබෝකල් ඇති ගවේසී භික්‍ෂු තෙමේ වනාහි එකලා වූයේ, වෙන්ව වාසය කිරීම ඇත්තේ අප්‍රමාද වූයේ, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොටම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, එය උතුම් කොට ඇති, බ්‍රහ්මවර්‍ය්‍යාව කෙළවර කොට ඇති මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්‍ෂය කරණ ලදී. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. සතර මගින් කටයුත්ත කරණ ලදී. මේ භවය පිණිස අනිකක් නැතැයි දැන ගත්තේය. ආනන්‍දය, ගවේසී භික්‍ෂු තෙම රහතුන්ගෙන් එක්තරා කෙනෙක්ද වූයේය.

’’ආනන්‍දය, එකල්හි ඒ පන්සියයක් උපාසකයන්ට මෙබඳු සිතක් විය. ’ගවේසී නම් ආර්‍ය්‍ය තෙමේ වනාහි අපට බොහෝ උපකාර ඇත්තේය. පෙරටුව ගමන් කරන්නේය. සමාදන් කරවන්නෙකි. ගවේසී නම් ආර්‍ය්‍ය තෙමේ වනාහි හිසකේ රැවුල් බාවා කසට වස්ත්‍ර හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නේය. කවර කාරණයකින් වනාහි අපි පැවිදි නොවන්නෙමුද,

’’ආනන්‍දය, එකල්හි ඒ පන්සියයක් උපාසකවරු අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹියාහුය. එළඹ අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය. ’ස්වාමීනි, අපි භාග්‍යවගුන් වහන්සේගේ සමීපයෙහි ප්‍රව්‍රජ්‍යාව ලබන්නෙමු. උපසම්පදාවද ලබන්නෙමුයි.’

’’ආනන්‍දය, ඒ පන්සියයක් උපාසකවරු අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ප්‍රව්‍රජ්‍යාව ලැබුවාහුය. උපසම්පදාවද ලැබුවාහුය.

’’ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් භික්‍ෂුහට මෙබඳු සිතක් විය. ’මම වනාහි මේ උතුම්වූ විමුක්ති සැපය කැමති පරිදි ලැබීම ඇත්තේ, සුවසේ ලැබීම ඇත්තේ, බහුලව ලැබීම ඇත්තේ වෙමි. මේ පන්සියයක් භික්‍ෂූහුද මේ උතුම්වූ විමුක්ති සැපය කැමති පරිදි ලබන්නෝ, සුවසේ ලබන්නෝ, බහුලව ලබන්නෝ වන්නාහු නම් ඉතා යෙහෙක.’ කියායි. ආනන්‍දය, ඉක්බිති ඒ පන්සියයක් භික්‍ෂුහු වෙන්ව වාසය ඇත්තාහු අප්‍රමාද වූයේ, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොටම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, එය උතුම් කොට ඇති, බ්‍රහ්මවර්‍ය්‍යාව කෙළවර කොට ඇති මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්‍ෂය කරණ ලදී. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. සතර මගින් කටයුත්ත කරණ ලදී. මේ භවය පිණිස අනිකක් නැතැයි දැන ගත්තේය. ආනන්‍දය, ගවේසී භික්‍ෂු තෙම රහතුන්ගෙන් එක්තරා කෙනෙක්ද වූයේය.

’’ආනන්‍දය, මෙසේ වනාහි ඒ ගවේසී භික්‍ෂු ප්‍රධාන කොට ඇති පන්සියයක් භික්‍ෂුහු මතු මත්තෙහි උතුම් වශයෙන් උත්සාහ කරන්නාහු, උතුම්වූ විමුක්ති සැපය ප්‍රත්‍යක්‍ෂ කළාහුය. ආනන්‍දය, එහෙයින් මේ ශාසනයෙහි මතු මත්තෙහි උතුම් වශයෙන් උත්සාහ කරන්නාහු, උතුම්වූ විමුක්ති සැපය ප්‍රත්‍යක්‍ෂ කරන්නෙමියි මෙසේ හික්මිය යුතුයි. ආනන්‍දය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය’’ යි වදාළ සේක.

උපාසකවග්ගො තතියො.