අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

4. සතරවැනි පණ්ණාසකය

(20) 5. බ්‍රාහ්මණ වර්‍ගය (සොණ වර්‍ගය)

10. නිස්සාරණීයධාතු සූත්‍රය

’’මහණෙනි, බැහැර කළයුතු මේ ධාතු පසක් වෙත්.

’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි කාමයන් මෙනෙහි කරන්නාවූ භික්‍ෂුහුගේ කාමයන්හි (2) සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද,

’’නෛෂ්ක්‍රම්‍යය වනාහි සිහිකරන්නාවූ මොහුගේ නෛෂ්ක්‍රම්‍යයෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, ඔහුගේ ඒ සිත මනාව ගමන් කරන ලද්දේ. මනාව වඩනා ලද්දේ. මනාව නැගී සිටියේ, මනාව මිදුනේ, කාමයන්ගෙන් මනාව වෙන්වූයේ වෙයි. කාම හේතුවෙන් දුක්වූ පරිඩාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිද්ද, හෙතෙම ඔවුන්ගෙන් මිදුනේ වේ. හෙතෙම ඒ වේදනාව නොවිඳුනු ලබයි. මෙය කාමයන්ගේ බැහැර කිරීමයයි කියන ලදී.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. ව්‍යාපාදය මෙනෙහි කරන්නාවූ භික්‍ෂුහුගේ ව්‍යාපාදයෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, අව්‍යාපාදය වනාහි මෙනෙහි කරන්නාවූ මොහුගේ අව්‍යාපාදයෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, ඔහුගේ ඒ සිත මනාව ගමන් කරන ලද්දේ. මනාව වඩනා ලද්දේ. මනාව නැගී සිටියේ, මනාව මිදුනේ,ව්‍යාපාදයෙන් මනාව වෙන්වූයේ වේ. ව්‍යාපාද හේතුවෙන් දුක්වූ පරිඩාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිද්ද, හෙතෙම ඔවුන්ගෙන් මිදුනේ වේ. හෙතෙම ඒ වේදනාව නොවිඳිනු ලැබේ. මෙය ව්‍යාපාදයාගේ දුරු කිරීමයයි කියන ලදී.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. විහිංසාව මෙනෙහි කරන්නාවූ භික්‍ෂුහුගේ විහිංසාවෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, අවිහිංසාව වනාහි මෙනෙහි කරන්නාවූ මොහුගේ අවිහිංසාවෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, ඔහුගේ ඒ සිත මනාව ගමන් කරන ලද්දේ. මනාව වඩනා ලද්දේ. මනාව නැගී සිටියේ, මනාව මිදුනේ, විහිංසාවෙන් මනාව වෙන් වූයේ වේ. විහිංසාව හේතුකොට ගෙණ දුක්වූ පරිඩාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිද්ද, හෙතෙම ඔවුන්ගෙන් මිදුනේ වේ. හෙතෙම ඒ වේදනාව නොවිඳිනු ලැබේ. මෙය විහිංසාවගේ දුරු කිරීමයයි කියන ලදී.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. රූපය මෙනෙහි කරන්නාවූ භික්‍ෂුහුගේ ව්‍යාපාදයෙහි සිත නොවදීද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, අරූපයය වනාහි මෙනෙහි කරන්නාවූ මොහුගේ අරූපයෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, ඔහුගේ ඒ සිත මනාව ගමන් කරන ලද්දේ. මනාව වඩනා ලද්දේ. මනාව නැගී සිටියේ, මනාව මිදුනේ, රූපයන්ගෙන් මනාව වෙන්වූයේ වෙයි. රූප හේතුවෙන් දුක්වූ පරිඩාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිද්ද, හෙතෙම ඔවුන්ගෙන් මිදුනේ, හෙතෙම ඒ වේදනාව නොවිඳිනු ලැබේ. මෙය රූපයන්ගේ දුරු කිරීමයයි කියන ලදී.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. සත්කාය මෙනෙහි කරන්නාවූ භික්‍ෂුහුගේ ස්වකීය කයෙහි සිත නොවදීද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, සත්කාය නිරෝධය වනාහි මෙනෙහි කරන්නාවූ මොහුගේ සත්කාය නිරෝධයෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, ඔහුගේ ඒ සිත මනාව ගමන් කරන ලද්දේ. මනාව වඩනා ලද්දේ. මනාව නැගී සිටියේ, මනාව මිදුනේ, සත්කායයෙන් මනාව වෙන්වූයේ වේ. සත්කාය හේතුවෙන් දුක්වූ පරිඩාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිද්ද, හෙතෙම ඔවුන්ගෙන් මිදුනේය. හෙතෙම ඒ වේදනාව නොවිඳිනු ලැබේ. මෙය සත්කායයාගේ දුරු කිරීමයයි කියන ලදී. ඔහුට කාමයන් පිළිබඳ සතුටද නූපදී. ව්‍යාපාදයන් පිළිබඳ සතුටද නූපදී. විහිංසාව පිළිබඳ සතුටද නූපදී. රූපය පිළිබඳ සතුටද නූපදී. ස්වකීය කය පිළිබඳ සතුටද නූපදියි. හෙතෙම කාමය පිළිබඳ සතුට නොඉපදීමෙන්ද, ව්‍යාපාදය පිළිබඳ සතුට නොඉපදීමෙන්ද. විහිංසාව පිළිබඳ සතුට නොඉපදීමෙන්ද. රූපය පිළිබඳ සතුට නොඉපදීමෙන්ද, ස්වකීය කය පිළිබඳ සතුට නොඉපදීමෙන්ද, මහණෙනි, මේ භික්‍ෂුතෙම අනුශය රහිතවූයේ තාෂ්ණාව සින්දේය. සංයෝජනය පෙරළුයේය. මනාකොට මානය සංසිඳවීමෙන් දුක කෙළවර කෙළේය’’ යි කියනු ලැබේ.

’’මහණෙනි, බැහැර කළයුතු මේ ධාතු පසක් වෙත්.

බ්‍රාහ්මණවග්ගො පඤ්චමො.

සතරවන පණ්ණාසකය නිමි.