අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(21) 1. කිම්බිල වර්‍ගය

5. චෙතොඛිල සූත්‍රය

’’මහණෙනි, මේ සිතේ තද බැව් පසක් වෙත්.

’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශාස්තෲන් කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි.

’’මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශාස්තෲන් කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍ය කිරීම පිණිස නොනැමෙයි.

’’යමෙකුගේ සිත නොනැමේද, මේ පළමුවන චෙතොඛීලය හෙවත් සිතේ තද බව වේ.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂු තෙම ධර්‍මයෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. සංඝයා කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. ශික්‍ෂාව කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ, නොසතුටු සිත් ඇත්තේ, ගැටුනාවූ සිත් ඇත්තේ, හටගත් තද බැව් ඇත්තේ වේ. මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම සබ්‍රම්සරුන් කෙරෙහි කිපුනේ, නොසතුටු සිත් ඇත්තේ, ගැටුනු සිත් ඇත්තේ, හටගත් තද බැව් ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍ය කිරීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍යය කිරීම පිණිස නොනැමේද, මේ පස්වන චෙතොඛීලය හෙවත් සිතේ තද බව වේ. මහණෙනි, මේ සිතේ තද බැව් පසක් වෙත්.