අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(21) 1. කිම්බිල වර්‍ගය
8. දන්ත කට්ඨානිසංස සූත්‍රය
’’මහණෙනි, දැහැටි දඬු නොවැළඳීමෙහි මේ දෝෂ පසක් වෙත්.
’’කවර පසක්ද යත්? ඇස්වලට අහිතවේ. මුඛය දුර්ගන්‍ධවේ. රස නහර නොපිනවත්. පිතද සෙමද බත වැළඳ ගනිත්. බත මොහුට නොකැමැතිවේ යන පසයි. මහණෙනි, දැහැටි දඬු නොවැළඳීමෙහි මේ දෝෂ පසක් වෙත්.
’’මහණෙනි, දැහැටි දඬු වැළඳීමෙහි මේ අනුසස් පසක් වෙත්.
’’කවර පසක්ද යත්? ඇස්වලට හිතවේ. මුඛය දුර්ගන්‍ධ නොවේ. රස නහර පිනවත්. පිතද සෙමද බත නොවැළඳ ගනිත්. බත මොහුට රුචිවේ යන පසයි. මහණෙනි, දැහැටි දඬු වැළඳීමෙහි මේ අනුසස් පසක් වෙත්.