අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(25) 5. දුච්චරිත වර්‍ගය

1. දුච්චරිතාදීනව සූත්‍රය

’’මහණෙනි, මේ දුශ්චරිතයෙහි දෝෂ පසක් වෙත්.

’’කවර පසක්ද යත්? තෙමේද තමන්ට දොස් කියයි. දැණගෙන නුවණැත්තෝ ගරහත්. ලාමකවූ ගුණ ඝෝෂයක් පැන නගියි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි.

’’මහණෙනි, මේ දුශ්චරිතයෙහි දෝෂ පසක් වෙත්.

’’මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.

’’කවර පසක්ද යත්? තෙමේද තමන්ට දොස් නොකියයි. දැණගෙන නුවණැත්තෝ ප්‍රශංසා කරත්. යහපත්වූ ගුණ ඝෝෂාවෙක් පැන නගියි. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.’’

’’මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.