අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

3. පඤ්චංගික වර්‍ගය

6. විමුත්තායතන සූත්‍රය

’’මහණෙනි, යම් කරුණෙක්හි කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, අප්‍රමාදව වාසය කරණ භික්‍ෂුහුගේ කෙළෙසුන් කෙරෙන් නොමිදුනාවූ සිත හෝ මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය කිරීමට යෙද්ද, නොපැමිණියාවූ හෝ නිරුත්තරවූ යොගක්‍ෂෙම සංඛ්‍යාත නිවණට පැමිණේද,

’’එබඳුවූ මේ මිදීමට කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ ගුරුතන්හි සිටියාවූ සබ්‍රහ්මචාරීවූ එක්තරා තෙර නමක් හෝ චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය දේශනා නෙරේද, මහණෙනි, යම් පරිද්දකින් ඒ භික්‍ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ ගුරුතන්හි සිටියාවූ එක්තරා සබ්‍රහ්මචාරී තෙර නමක් හෝ ධර්‍මය දේශනා කෙරේද, ඒ ඒ පරිද්දෙන් ඒ භික්‍ෂු තෙම ධර්‍මයෙහි අර්ත්‍ථය දන්නේද වේ. ධර්‍මය දන්නේද වේ.

’’අර්ත්‍ථය දන්නාවූද, ධර්‍මය දන්නාවූද ඔහුට ප්‍රමුදිත භාවය උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය හටගනියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලුවූ කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එතඟ වේ.

’’මහණෙනි, යම් කරුණෙක්හි කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, අප්‍රමාදව වාසය කරණ භික්‍ෂුහුගේ කෙළෙසුන් කෙරෙන් නොමිදුනාවූ සිත හෝ මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය කිරීමට යෙද්ද, නොපැමිණියාවූ හෝ නිරුත්තරවූ යොගක්‍ෂෙම සංඛ්‍යාත නිවණට පැමිණේද, එබඳුවූ මේ පළමුවන විමුක්ති කාරණය වේ.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට ශාස්තෲන් වහන්සේ නොම ධර්‍ම දේශනා කරයි. ගුරු තන්හි සිටියාවූ එක්තරා සබ්‍රහ්මචාරී කෙනෙක් හෝ දේශනා නොකරයි. එතකුදු වුවත්, ඇසූ පරිදි, පිරිවහණ ලද පරිදි ධර්‍මය අනුන්ට දේශනා කරයි.

’’මහණෙනි, යම් යම් පරිද්දකින් භික්‍ෂු තෙම අසන ලද පරිදිවූ, පිරිවහන ලද පරිදිවූ, ධර්‍මය විස්තරයෙන් අනුන්ට දේශනා කෙරේද, ඒ ඒ පරිද්දෙන් ඒ භික්‍ෂු තෙම ඒ ධර්‍මයෙහි අර්ත්‍ථ දන්නේද ධර්මය දන්නේද වේ.

’’අර්ත්‍ථය දන්නාවූද, ධර්‍මය දන්නාවූද ඔහුට ප්‍රමුදිත භාවය උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය හටගනියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලුවූ කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එතඟ වේ.

’’මහණෙනි, යම් කරුණෙක්හි කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, අප්‍රමාදව වාසය කරණ භික්‍ෂුහුගේ කෙළෙසුන් කෙරෙන් නොමිදුනාවූ සිත හෝ මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය කිරීමට යෙද්ද, නොපැමිණියාවූ හෝ නිරුත්තරවූ යොගක්‍ෂෙම සංඛ්‍යාත නිවණට පැමිණේද,

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ ගුරු තන්හි සිටියාවූ සබ්‍රහ්මචාරීවූ එක්තරා තෙර නමක් හෝ ධර්මය දේශනා නොකෙරේද, අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා නොකෙරේද, යළිදු අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනය කෙරෙයි.

’’මහණෙනි, යම් යම් පරිද්දකින් භික්‍ෂු තෙම අසන ලද පරිදිවූ, පිරිවහන ලද පරිදිවූ, ධර්‍මය විස්තරයෙන් අනුන්ට දේශනා කෙරේද, ඒ ඒ පරිද්දෙන් ඒ භික්‍ෂු තෙම ඒ ධර්‍මයෙහි අර්ත්‍ථ දන්නේද ධර්මය දන්නේද වේ.

’’අර්ත්‍ථය දන්නාවූද, ධර්‍මය දන්නාවූද ඔහුට ප්‍රමුදිත භාවය උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය හටගනියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලුවූ කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එතඟ වේ.

’’මහණෙනි, යම් කරුණෙක්හි කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, අප්‍රමාදව වාසය කරණ භික්‍ෂුහුගේ කෙළෙසුන් කෙරෙන් නොමිදුනාවූ සිත හෝ මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය කිරීමට යෙද්ද, නොපැමිණියාවූ හෝ නිරුත්තරවූ යොගක්‍ෂෙම සංඛ්‍යාත නිවණට පැමිණේද, ඒ මේ තුන්වන විමුක්ති කාරණය වේ.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ එක්තරා ගුරු තන්හි සිටියාවූ සබ්‍රහ්මචාරී කෙනෙක් හෝ ධර්මය නොම දේශනා කෙරේද, අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට නොම දේශනා කෙරේද, අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් නොම සජ්ඣායනා කෙරේද, යළිත් අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය සිතින් අනුව කල්පනා කෙරේද, අනුව හැසිරේද, සිතින් සලකා බලයිද, මහණෙනි, යම් යම් පරිද්දකින් භික්‍ෂු තෙම අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය සිතින් කල්පනා කෙරේද, අනුව හැසිරේද, සිතින් සළකා බලාද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ත්‍ථය දන්නේද, ධර්මය දන්නේද වේ.

’’අර්ත්‍ථය දන්නාවූද, ධර්‍මය දන්නාවූද ඔහුට ප්‍රමුදිත භාවය උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය හටගනියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලුවූ කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එතඟ වේ.

’’මහණෙනි, යම් කරුණෙක්හි කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, අප්‍රමාදව වාසය කරණ භික්‍ෂුහුගේ කෙළෙසුන් කෙරෙන් නොමිදුනාවූ සිත හෝ මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය කිරීමට යෙද්ද, නොපැමිණියාවූ හෝ නිරුත්තරවූ යොගක්‍ෂෙම සංඛ්‍යාත නිවණට පැමිණේද, ඒ මේ සතරවෙනි විමුක්ති කාරණය වේ.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ එක්තරා ගුරු තන්හි සිටියාවූ සමාන බඹසර ඇත්තෙක් හෝ නොම ධර්මය දේශනා කෙරේද, අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට නොම දේශනා කෙරේද, අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් නොම සජ්ඣායනා කෙරේද, අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය සිතින් නොම කල්පනා කෙරේද, නොම හසුරුවාද, සිතින් නොම සලකා බලාද, එතකුදු වුවත් මොහු විසින් එක්තරා සමාධි නිමිත්තක් මනාකොට ගන්නා ලද්දේ, මනාකොට මෙනෙහි කරණ ලද්දේ, සිතින් මනාකොට දරණ ලද්දේ, ප්‍රඥාවෙන් මනාකොට ප්‍රතිවේධ කරණ ලද්දේ වේද, මහණෙනි, යම් යම් පරිද්දකින් භික්‍ෂුව විසින් එක්තරා සමාධි නිමිත්තක් මනාකොට ගන්නා ලද්දේ මනාකොට මෙනෙහි කරණ ලද්දේ, මනාකොට සිතින් දරණ ලද්දේ, ප්‍රඥාවෙන් මනාකොට ප්‍රතිවේධ කරණ ලද්දේ වේද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ත්‍ථය දන්නේද, ධර්මය දන්නේද වේ.

’’අර්ත්‍ථය දන්නාවූද, ධර්‍මය දන්නාවූද ඔහුට ප්‍රමුදිත භාවය උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය හටගනියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලුවූ කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එතඟ වේ.

’’මහණෙනි, යම් කරුණෙක්හි කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, අප්‍රමාදව වාසය කරණ භික්‍ෂුහුගේ කෙළෙසුන් කෙරෙන් නොමිදුනාවූ සිත හෝ මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය කිරීමට යෙද්ද, නොපැමිණියාවූ හෝ නිරුත්තරවූ යොගක්‍ෂෙම සංඛ්‍යාත නිවණට පැමිණේද, එබඳුවූ මේ පස්වෙනි විමුක්ති කාරණය වේ.

’’මහණෙනි, යම් කරුණෙක්හි කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, අප්‍රමාදව වාසය කරණ භික්‍ෂුහුගේ කෙළෙසුන් කෙරෙන් නොමිදුනාවූ සිත හෝ මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය කිරීමට යෙද්ද, නොපැමිණියාවූ හෝ නිරුත්තරවූ යොගක්‍ෂෙම සංඛ්‍යාත නිවණට පැමිණේද, ඒ මේ විමුක්ති කරුණු පස වෙත්ය’’ යි වදාළ සේක.