අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

3. පඤ්චංගික වර්‍ගය

7. අප්පමාණ සමාධි සූත්‍රය

’’මහණෙනි, ප්‍රඥාවෙන් හා සිහියෙන් යුක්තව අප්‍රමානවූ සමාධිය වඩව්. මහණෙනි, ප්‍රඥාවෙන් හා සිහියෙන් යුක්තව අප්‍රමානවූ සමාධිය වඩන්නවුන්ට ප්‍රත්‍යවෙක්‍ෂා නුවණ පසක් තම තමන් කෙරෙහිම උපදිත්.

’’කවර පසක්ද යත්? මේ සමාධිය තෙම පවත්නා කාලයෙහි සැප ඇත්තේද, මතු සැප විපාක ඇත්තේද වේයයි තමන් කෙරෙහිම නුවණ උපදියි. මේ සමාධිය තෙම ක්ලේශයන්ගෙන් දුරුවූ බැවින් උතුම්ය, කාමාදී ආශ්‍රව රහිතයයි තමන් කෙරෙහිම නුවණ උපදියි. මේ සමාධිය තෙම බුද්‍ධාදී අලාමක පුරුෂයන් විසින් සේවනය කරණ ලද්දේයයි තමන් කෙරෙහිම නුවණ උපදියි. මේ සමාධිය තෙම ශාන්තය, ප්‍රණීතය, කෙළෙස් දුරලන ලද්දවුන් විසින් ලබන ලද්දේය, සිත එකඟ කිරීම ඇති බැවින් ලබන ලද්දේය. ප්‍රයෝග සහිතව නිග්‍රහකොට වැළැක්වීම ඇත්තේ නොවේයයි තමන් කෙරෙහිම නුවණ උපදියි. ඒ මම වනාහි මේ සමාධියට සිහි ඇත්තේම පැමිණෙමියි, සිහි ඇත්තේම එයින් නැගිටිමියි තමන් කෙරෙහිම නුවණ උපදියි.

’’මහණෙනි, ප්‍රඥාවෙන් හා සිහියෙන් යුක්තව අප්‍රමානවූ සමාධිය වඩව්. මහණෙනි, ප්‍රඥාවෙන් හා සිහියෙන් යුක්තව අප්‍රමානවූ සමාධිය වඩන්නවුන්ට ප්‍රත්‍යවෙක්‍ෂා නුවණ පසක් තම තමන් කෙරෙහිම උපදිත්.