අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

3. පඤ්චංගික වර්‍ගය

8. පඤ්චංගික සමාධි සූත්‍රය

’’මහණෙනි, ආර්‍ය්‍යවු, අඞ්ග පසකින් යුක්තවූ, සම්‍යක් සමාධිහුගේ වැඩීම දේශනා කරන්නෙමි. එය අසව්. යහපත්කොට මෙනෙහි කරව්. කියන්නෙමි’’ යි වදාළ සේක. ’’එසේය ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, ආර්‍ය්‍යවූ, අඞ්ග පසකින් යුක්තවූ සමාධිහුගේ භාවනා තොමෝ කවරීද,

’’මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.

’’හෙතෙම මේ ශරීරයම විවේකයෙන් හටගත්තාවූ ප්‍රීති සැපයෙන් මොනවට තෙමයි. හාත්පස තෙමයි. සම්පූර්‍ණ කරයි. හාත්පසින් පතුරුවයි.

’’මොහුගේ සියලුම කය පිළිබඳ කිසිවක් විවේකයෙන් හට ගත්තාවූ ප්‍රීති සැපයෙන් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවේ. මහණෙනි, යම් සේ දක්‍ෂවූ නහාපකයෙක් හෙවත් ස්නානය කරවන්නෙක් හෝ නහාපකයෙකුගේ අතවැසියෙක් හෝ ලෝ තලියෙක්හි නැහැවීමට ගන්නා සුණු බහා ජලයෙන් ඉස ඉස පිඩු කරන්නේද, යම් හෙයකින් දියවර අනුව ගියාවූ, දියවරින් යුක්තවූ, ඇතුළත පිටත තෙත් ගතියෙන් පැතිරීම ඇති ඒ නහාන සුණු පිඩ නොම වැගිරේද, මහණෙනි, මෙපරිද්දෙන්ම,

’’හෙතෙම මේ ශරීරයම විවේකයෙන් හටගත්තාවූ ප්‍රීති සැපයෙන් මොනවට තෙමයි. හාත්පස තෙමයි. සම්පූර්‍ණ කරයි. හාත්පසින් පතුරුවයි.

’’මොහු විසින් සියලුම කය පිළිබඳ කිසි තැනක් විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවෙයි. මහණෙනි, ආර්‍ය්‍යවූ අඞ්ග පසකින් යුක්තවූ සම්‍යක් සමාධිහුගේ මේ පළමුවන භාවනාව වේ. මහණෙනි, නැවත අනිකක්ද කියමි.

’’භික්‍ෂු තෙම විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.

’’මොහු විසින් සියලුම කය පිළිබඳ කිසි තැනක් සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවෙයි.

’’මහණෙනි, යම් සේ උඩට බිඳගෙන එන්නාවූ ජලය ඇති දිය විලක් වේද, ඒ විලට පූර්‍ව දිශාවෙන් දිය එන්නාවූ මඟක් නොම වන්නේද, පැසුළු දිශාවෙන් දිය එන මඟක් නොවන්නේද, උතුරු දිශාවෙන් දිය එන මඟක් නොවන්නේද, දකුණු දිශාවෙන් දිය එන මඟක් නොවන්නේද, මේඝයද කලින් කල මනාකොට වර්‍ෂා ජලය ඇතුල් නොකරන්නේද, වැලිදු ඒ දිය විලෙන් සිහිල්වූ ජල ධාරාවෝ උඩට බිඳගෙන නැග ඒ දිය විලම සිහිල්වූ ජලයෙන් මනාව තෙමන්නේද, පුරවන්නේද, හාත්පස පතුරන්නේද, සියලුම මේ දිය විල පිළිබඳ කිසි තැනක් සිහිල් ජලයෙන් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවන්නේද,

’’මහණෙනි, එපරිද්දෙන්ම භික්‍ෂු තෙම මෙම ශරීරය සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් මනාව තෙමයි. හාත්පස තෙමයි. පුරවයි. හාත්පස පතුරයි. මොහු විසින් සියලුම කය පිළිබඳ කිසි තැනක් සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවෙයි. මහණෙනි, ආර්‍ය්‍යවූ අඞ්ග පසකින් යුක්තවූ සම්‍යක් සමාධීහුගේ මේ දෙවන භාවනාව වේ.

’’නැවත අනිකක්ද කිමි. මහණෙනි, භික්‍ෂු තෙම ප්‍රීතිහුගේද නොඇල්මෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයකැයි යමක් ආර්‍ය්‍යයෝ කියයිද, තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මේ ශරීරය, ප්‍රීති රහිතවූ සැපයෙන් මනාව තෙමයි. හාත්පස තෙමයි. පුරවයි. හාත්පස උතුරයි. මේ සියලුම කරජකය පිළිබඳ කිසි තැනක් ප්‍රීති රහිතවූ සැපයෙන් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවෙයි.

’’මහණෙනි, යම් සේ උපුල් විලක හෝ පියුම් විලක හෝ හෙළ පියුම් විලක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගත්තාහු, දියෙහි වැඩුනාහු. දියෙන් උඩට නොපැමිණියාහු ඇතුළත ගැලී පොෂණය වූවාහු වෙද්ද, ඔවුහු අග දක්වාද, මුල දක්වාද, සිහිල්වූ ජලයෙන් මනාව තෙමුනාහු, හාත්පස තෙමුණාහු, පිරුණාහු, හාත්පස පැතුරුණාහු වෙද්ද, සියලුම උපුල් පිළිබඳ හෝ පියුම් පිළිබඳ හෝ හෙළ පියුම් පිළිබඳ හෝ මොහුගේ කිසි තැනක් සිහිල්වූ ජලයෙන් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවන්නේද,

’’මහණෙනි, මෙපරිද්දෙන්ම භික්‍ෂු තෙම මෙම ශරීරය ප්‍රීති රහිතවූ සැපයෙන් මනාව තෙමයි, හාත්පස තෙමයි, පුරවයි, හාත්පස පතුරයි. මේ සියලුම කය පිළිබඳ කිසිවක් ප්‍රීති රහිතවූ සැපයෙන් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවෙයි. මහණෙනි, ආර්‍ය්‍යවූ, අඞ්ග පසකින් යුක්තවූ, සම්‍යක් සමාධිහුගේ මේ තුන්වන භාවනාව වේ.

’’නැවත අනිකක්ද කියමි. මහණෙනි, භික්‍ෂු තෙම සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, සොම්නස, දොම්නස දෙක නැතිවීමට පෙර දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙම කරජකය පිරිසිදුවූ, නිර්මලවූ, සිතින් පැතිර හුන්නේ වෙයි. මේ සියලුම කය පිළිබඳ කිසිවක් පිරිසිදුවූ, නිර්මලවූ සිතින් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවෙයි. මහණෙනි, යම්සේ පුරුෂයෙක් සුදුවූ වස්ත්‍රයෙන් හිස සහිතව පොරවා හුන්නේ වන්නේද, මේ සියලුම කය පිළිබඳ කිසිවක් සුදු වස්ත්‍රයෙන් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවන්නේද, මහණෙනි, මෙපරිද්දෙන් ම භික්‍ෂු තෙම මෙම ශරීරය පිරිසිදුවූ, නිර්මලවූ සිතින් පැතිර හුන්නේ වේ. මේ සියලුම කය පිළිබඳ කිසිවක් පිරිසිදුවූ, නිර්මලවූ සිතින් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවෙයි. මහණෙනි, ආර්‍ය්‍යවූ, අඞ්ග පසකින් යුක්තවූ, සම්‍යක් සමාධිහුගේ මේ සතරවන භාවනා වේ.

’’නැවත අනිකක්ද කියමි. මහණෙනි, භික්‍ෂුහුගේ ප්‍රත්‍යවෙක්‍ෂා ඥාන නිමිත්ත මනාව ගන්නා ලද්දේ, මනාව මෙනෙහි කරණ ලද්දේ, මනාව දරණ ලද්දේ, නුවණින් මනාව අවබෝධ කරණ ලද්දේ වේද, මහණෙනි, යම් සේ අනිකෙක් හෝ අනිකෙකු බලන්නේද සිටියේ හෝ හුන්නහු බලන්නේද හුන්නේ හෝ හොත් තැනැත්තහු බලන්නේද, මහණෙනි, මෙපරිද්දෙන්ම භික්‍ෂුහුගේ ප්‍රත්‍යවෙක්‍ෂා ඥාන නිමිත්ත මනාව ගන්නා ලද්දේ, මනාව මෙනෙහි කරණ ලද්දේ, මනාව දරණ ලද්දේ, නුවණින් මනාව ප්‍රතිවේධ කරණ ලද්දේ වේයයි, මහණෙනි, ආර්‍ය්‍යවූ, අඞ්ග පසකින් යුක්තවූ, සම්‍යක් සමාධිහුගේ මේ පස්වන භාවනාව වේ.

’’මහණෙනි, ආර්‍ය්‍යවූ, අඞ්ග පසකින් යුක්තවූ, සම්‍යක් සමාධිය වනාහි මෙසේ වඩනා ලද කල්හි, මෙසේ බහුල වශයෙන් කරණ ලද කල්හි, යම් යම් විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂ කටයුතුවූ ධර්මයකට , විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කිරිම පිණිස සිත නමාද, ඒ ඒ කරුණ ඇති කල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.

’’මහණෙනි, යම් සේ දිය සැලක් තෙම ආධාරකයෙහි තබන ලද්දේ, දියෙන් පිරූයේ, මුවවිට දක්වා පිරීම ඇත්තේ, කවුඩන් විසින් පානය කළ හැක්කේ වේද, එය බලවත් පුරුෂයෙක් තෙම යම් යම් දිශාවකින් කැමති වන්නේද, ඒ ඒ දිශාවෙන් දියට එන්නේද?’’ - ’’ස්වාමීනි, එසේය.’’

’’මහණෙනි, මෙපරිද්දෙන්ම භික්‍ෂු තෙම ආර්‍ය්‍යවූ, අඞ්ග පසකින් යුක්තවූ, සම්‍යක් සමාධිය මෙසේ වඩනා ලද කල්හි මෙසේ බහුල වශයෙන් කරණ ලද කල්හි, යම් යම් විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්මයක්හුගේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කිරීම සඳහා සිත නමයි. ඒ ඒ කරුණ ඇති කල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.

’’මහණෙනි, යම් සේ සමවූ භූමි ප්‍රදේශයෙහි මියර බඳින ලද, දියෙන් පිරුණාවූ, මුවවිට දක්වා පිරීම් ඇති, කව්ඩන් විසින් පානය කළ හැකි හතරැස් පොකුණක් වේද, එය බලවත් පුරුෂයෙක් යම් යම් තැනකින් මියර මුදන්නේද, දියට පැමිණෙන්නේද?’’ - ’’ස්වාමීනි, එසේය.’’

’’.මහණෙනි, මෙපරිද්දෙන්ම භික්‍ෂු තෙම ආර්‍ය්‍යවු අඞ්ග පසකින් යුක්තවූ, සම්‍යක් සමාධිය මෙසේ වැඩූ කල්හි, මෙසේ බහුල වශයෙන් කරණ ලද කල්හි, යම් යම් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්මයක්හුගේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කිරීම සඳහා සිත නමයිද, ඒ ඒ කාරණය ඇති කල්හි, ඒ ඒ ධර්මය පිළිබඳව ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.

’’මහණෙනි, යම් සේ යහපත් භූමියෙහි සතර මං සන්ධියෙක්හි සිටියාවූ, සරසට තබන ලද කෙවිට ඇත්තාවූ, අජානීය අශ්වයන් යොදන ලද රථයක් වේද, එයම දක්‍ෂවූ, අස් ඇදුරුවූ, අශ්වයන් දමනය කරණ රථාචාර්‍ය්‍ය තෙම නැඟී, වම් අතින් රැහැන් ගෙණ, අකුණු අතින් කෙවිට ගෙණ, කැමැති තැනකට, කැමැති ගමනකට යවන්නේද, ආපසු ගමන් කරවන්නේද,

’’මහණෙනි, මෙපරිද්දෙන්ම භික්‍ෂු තෙම ආර්‍ය්‍යවූ, අඞ්ග පසකින් යුක්තවූ, සම්‍යක් සමාධිය මෙසේ වඩන ලද කල්හි මෙසේ බහුල වශයෙන් කරණ ලද කල්හි යම් යම් විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්මයක්හුගේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කිරීම සඳහා සිත නමයි.

’’ඒ ඒ කාරණය ඇති කල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ. ඉදින් හෙතෙම කැමති වේනම් අනෙක ප්‍රකාරවූ ඉර්ධි විධිය අනුව කරන්නේය. ( මෙහි දීඝ නිකායේ 3 සූත්‍රයේ 70 ඡේදයේ ’’ඉදිරිපත්කොට’’ යන වචනයේ සිට යොදාගත යුතුයි.) ඒ ඒ කාරණය ඇති කල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණෙයි.

’’හෙතෙම ඉදින් කැමතිවන්නේ නම් පිරිසිදුවූ, දිව්‍යවූ ශ්‍රොත්‍රා ධාතුවෙන් ( මෙහි දීඝ නිකායේ 2 වෙනි සූත්‍රයේ 70 ඡේදයේ ’’දිව්‍ය කණ,,,,,,’’ යන තැන සිට යෙදිය යුතුයි.) දුරවූද, ලඟවූද, යම් ශබ්ද කෙණෙක් ඇද්ද, ඒ ශබ්ද අසන්නේයයි ඒ ඒ කාරණය ඇති කල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.

’’ඉදින් හෙතෙම කැමති වේ නම් අන්‍ය සත්ත්‍වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දැනගන්නෙමියි රාග සහිත සිත හෝ රාග සහිත සිතයයි දැන ගන්නෙමියි ( මෙහි දීඝ නිකායේ 2 වෙනි සූත්‍රයේ 72 ඡේදයේ ’’රිග සහිත සිතයයි දැනගන්නෙමියි’’ යන තැන සිට යෙදිය යුතුයි.) කෙළෙසුන්ගෙන් නොමිදුනාවූ සිත හෝ කෙළෙසුන්ගෙන් නොමිදුනාවූ සිතයයි දැනගන්නෙමියි ඒ ඒ කාරණය ඇති කල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.

’’ඉදින් හෙතෙම කැමති වේ නම් අනෙක ප්‍රකාරවූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන්නෙමියි, එනම් ( මෙහි දීඝ නිකායේ 2 සූත්‍රයේ 74 ඡේදයේ ’’එක් ජාතියක්ද’’ යන තැන සිට යොදාගත යුතුයි.) මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, අනෙක ප්‍රකාරවූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන්නෙමියි ඒ ඒ කාරණය ඇතිකල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.

’’ඉදින් හෙතෙම කැමති වේ නම් පිරිසිදුවූ, මිනිසැස ඉක්මවන්නාවූ, දිව්‍යවූ ඇසින් ( මෙහි දීඝ නිකායේ 2 සූත්‍රයේ 75 ඡේදයේ ’’හේ නොයෙක් පෙර විසීම්’’ යන තැන සිට යෙදිය යුතුයි.) කම්වූ පරිදි මිය පරලොව ගියාවූ සතුන් දැනගන්නෙමියි ඒ ඒ කාරණය ඇතිකල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ. ඉදින් හෙතෙම කැමතිවේනම් ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව රහිතවූ චිත්ත විමුක්තියටද, ප්‍රඥා විමුක්තියටද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරන්නෙමියි ඒ ඒ කාරණය ඇතිකල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේය’’ යි වදාළ සේක.