අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

3. පඤ්චංගික වර්‍ගය

10. නාගිත (ඉච්ඡානඞ්ගල) සූත්‍රය

’’එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වල සැරිසරණ සේක් මහත්වූ භික්‍ෂු සංඝයා සමග ඉච්ඡානඞ්ගල නම්වූ කොසොල් දනව් වැස්සන්ගේ බමුණු ගම යම් තැනෙක්හිද, එතනට වැඩි සේක. එහි වනාහි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගල නම් බමුණු ගම ඉච්ඡානඞ්ගල නම් වන ලැහැබෙහි වසන සේක. ඉච්ඡානඞ්ගල නම් ගම් වැසි බ්‍රාහ්මණයන් හා ගෘහපතීහු ’ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ, ශ්‍රමණ භවත් ගෞතම තෙමේ වනාහි ඉච්ඡානඞ්ගල නම් බමුණු ගමට පැමිණියේ, ඉච්ඡානඞ්ගල නම් ගමෙහි වූ, ඉච්ඡානඞ්ගල නම් වන ලැහැබෙහි වාසය කරයි.

ඒ භවත් ගෞතමයන් වහන්සේගේ වනාහි මෙබඳු යහපත්වූ ගුණ ඝෝෂාවෙක් පැන නැංගේය. ඒ භාග්‍ය වත් තෙම මේ කාරණයෙනුත් අර්‍හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණයෙන් යුක්තය, සුගතය, ලොකවිදුය, නිරුත්තරවූ පුරුෂයන් දමනය කිරීමෙහි සාර්ත්‍ථවාහකයෙකු වැනිය. දෙවි මිනිසුන්ට ශාස්තෘය. චතුස්සත්‍ය අවබෝධ කෙළේය. භාග්‍යවත්යයි හෙතෙම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ මේ ලෝකයද, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව ප්‍රජාවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ප්‍රකාශ කෙරෙයි. හෙතෙම මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ ධර්මයක් දේශනා කරයි. සියල්ලෙන් සම්පූර්‍ණවූ පිරිසිදුවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි. එබඳුවූ රහතන්ගේ දැක්ම යහපත් වේමය’ යි ඇසුවාහුමය.

ඉක්බිති ඉච්ඡානඞ්ගල වැසිවූ බ්‍රාහ්මණයන් හා ගෘහපතීහු ඒ රාත්‍රිය ඉක්මවීමෙන් බොහෝ කෑ යුතු දෙය, බුදිය යුතු දෙය හැර ගෙණ, ඉච්ඡානඞ්ගල නම් වන ලැහැබ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ, දොර කොටුවෙන් පිටත්හි උස්වූ ශබ්ද, මහත්වූ ශබ්ද ඇත්තාහු සිටියාහුය. එකල්හි වනාහි ආයුෂ්මත් නාගිත ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නේ වෙයි.

’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත ස්ථවිරයන්ට ඇමතූ සේක. ’’නාගිතය, මස් විකුණන තැන කෙව්ලන් මෙන් මේ කවර නම් උස්වූ, මහත්වූ ශබ්ද ඇත්තෝ වෙද්ද?’’

’’ස්වාමීන් වහන්ස, මේ ඉච්ඡානඞ්ගල වැසි බ්‍රාහ්මණයන් හා ගෘහපතීහු බොහෝවූ කෑ යුතු දෙය හා අනුභව කටයුතු දෙය ගෙණවුත් දොර කොටුවෙන් පිට සිටියාහු භාග්‍යවතුන් වහන්සේම උදෙසාද, භික්‍ෂු සංඝයා උදෙසාද වෙවත්යයි’’

’’නාගිතය, මම යශස සමග එක් නොවෙමි. යශසද මා සමග එක් නොවේවා. නාගිතය, ඒ වනාහි මේ නෛශ්ක්‍රම්‍ය සැපය, ප්‍රකර්‍ශ විවේක සැපය, ව්‍යුපසම සැපය, සම්බොධි සැපය කැමති පරිදි ලබන්නේ, නිදුකින් ලබන්නේ පහසුවෙන් ලබන්නේ නොවන්නේය. මම යම් නෛශ්ක්‍රම්‍ය සුවයක්, ප්‍රකර්‍ශ විවේක සුවයක්, සංසිඳීම් සුවයක්, අවබෝධ කිරීම් සැපයක් කැමති පරිදි ලබන්නේ, නිදුකින් ලබන්නේ, පහසුවෙන් ලබන්නේ වෙම්ද, ඒ මම ඒ අපවිත්‍ර සැපය නිද්‍රා සැපය වූ ලාභ සත්කාර කිීර්ති සුවය ඉවසන්නේයයි’’

’’ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා.’ සුගතයන් වහන්සේ ඉවසන සේක්වා.’ ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේට ඉවසීමට සුදුසු කාලය වේ. ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේ යම් යම් දිශාවකින් වඩින්නේද, නියම් ගම් වැසි වූද, දනව් වැසි වූද, බ්‍රාහ්මණයන් හා ගෘහපතීහු ඒ දිශාවට නැවුනාහුම වන්නාහුය. ස්වාමීනි, යම් සේ මහත් පොද ඇති මේඝය වස්නා කල්හි පහත් බිමවූ පරිදි ජලයෝ පවතිත්ද, ස්වාමීනි, මෙපරිද්දෙන්ම දැන් භාග්‍යවතුන් වහන්සේ යම් යම් දිශාවකින්ම වඩින්නේද, නියම් ගම් වැසිවූද, දනව් වැසිවූද, බ්‍රාහ්මණයන් හා ගෘහපතීහු ඒ දිාශාවට නැමුනාහුම වන්නාහුය. ඊට හේතු කවරේද යත්? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශීලය හා ප්‍රඥාව එබඳුමයයි.’’

’’නාගිතය, මම යශස සමග එක් නොවෙමි. යශසද මා සමග එක් නොවේවා. නාගිතය, ඒ වනාහි මේ නෛශ්ක්‍රම්‍ය සැපය, ප්‍රකර්‍ශ විවේක සැපය, ව්‍යුපසම සැපය, සම්බොධි සැපය කැමති පරිදි ලබන්නේ, නිදුකින් ලබන්නේ පහසුවෙන් ලබන්නේ නොවන්නේය. මම යම් නෛශ්ක්‍රම්‍ය සුවයක්, ප්‍රකර්‍ශ විවේක සුවයක්, සංසිඳීම් සුවයක්, අවබෝධ කිරීම් සැපයක් කැමති පරිදි ලබන්නේ, නිදුකින් ලබන්නේ, පහසුවෙන් ලබන්නේ වෙම්ද, ඒ මම ඒ අපවිත්‍ර සැපය නිද්‍රා සැපය වූ ලාභ සත්කාර කිීර්ති සුවය ඉවසන්නේයයි’’

’’නාගිතය, අනුභව කරණ ලද, පාණය කරණ ලද, කන ලද, රස විඳින ලදහුගේ යම් මලමූත්‍රයක් වේද, මේ ඔහුගේ නිෂ්පත්තිය වේ. නාගිතය, ප්‍රියවූවන්ගේ වනාහි පෙරලීමෙන් අන් පරිදි වීමෙන් තැවීමය, වැළපීමය, කායික දුක්ය, දොම්නස්ය, දැඩි ආයාසය යන මොවුහු උපදිත්. මේ ඔහුගේ නිෂ්පත්තිය වේ. නාගිතය, අශුභ කර්ම ස්ථානානුයෝගයෙහි යෙදුනහුගේ වනාහි ශුභාරම්මනයෙන් පිළිකුල් බව පිහිටයි. මේ ඔහුගේ නිෂ්පත්තිය වේ. නාගිතය, සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්හි අනිත්‍ය අනුව බලමින් වාසය කරන්නහුගේ ස්පර්‍ශයෙහි පිළිකුල් බව පිහිටයි. මේ ඔහුගේ නිෂ්පත්තිය වේ. නාගිතය, පඤ්චොපාදානස්කන්‍ධයන්හි වනාහි ඇතිවීම, නැතිවීම අනුව බලමින් වාසය කරන්නහුගේ දැඩිකොට අල්වා ගැණීමෙහි පිළිකුල් බව පිහිටයි. මේ තෙමේ ඔහුගේ නිෂ්පත්තිය වේය’’ යි වදාළ සේක.

තුන්වන පඤ්චඞ්ගික වර්‍ගය නිමි.