අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

4. සුමනා වර්‍ගය

1. සුමනා සූත්‍රය

එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි සුමනා නම් රජ කුමරී තොමෝ,

පන්සියයක් රථ වලින් පන්සියයක් රජ කුමරියන් විසින් පිරිවරණ ලද්දී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකස් කොට වැඳ එකත්පස්ව හුන්නේය.

එකත්පස්ව හුන්නාවූම සුමනා රාජ කුමාරී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

’’ස්වාමීනි, මේ ශාසනයෙහි සමාන ශ්‍රද්‍ධා ඇත්තාවූ, සමාන සිල් ඇත්තාවූ, සමාන ප්‍රඥා ඇත්තාවූ, දන් දෙන එකෙක, දන් නොදෙන එකෙකැයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහුය. ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයෙහි උපදින්නාහුය. ස්වාමීනි, දෙවිවූම ඔවුන්ගේ වෙසෙසක් වන්නේද, වෙන් කිරීමක් වන්නේද?’’

’’සුමනාවෙනි, වන්නේය’’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ’’සුමනාවෙනි, යම් මේ දන් දෙන්නෙක් වේද, හෙතෙම මේ නොදෙන්නහු දෙවිවූයේම දිව්‍යවූ ආයුෂයෙන්ද, දිව්‍යවූ ශරීර වර්‍ණයෙන්ද, දිව්‍යවූ සැපයෙන්ද, දිව්‍යවූ යශසින්ද, දිව්‍යවූ අධිපති බැවින්ද, යන කරුණු පසින් මැඩ පවත්වයි. සුමනාවෙනි, යම් ඒ දන් දෙන්නෙක් වේද, මේ දන් නොදෙන්නහු දෙවි වූයේම මේ කරුණු පසින් මැඩ පවත්වයි.’’

’’ස්වාමීනි, ඉදින් වනාහි ඔවුහු එයින් චුතවූවාහු, මේ ආත්ම භාවයට පැමිණෙත් නම් මනුෂ්‍යවූම ඔවුන්ගේ වෙසෙසක් වන්නේද, වෙන් කිරීමක් වන්නේද?’’

’’සුමනාවෙනි, වන්නේය’’ යි භාග්‍යවත් තෙම වදාළ සේක. ’’සුමනාවෙනි, යම් ඒ දන් දෙන්නෙක් වේද, හෙතෙම මේ දන් නොදෙන්නහු මනුෂ්‍ය වූයේම, මිනිසුන් අයත්වූ ආයුෂයෙන්ද, මානුෂකවූ ශරීර වර්‍ණයෙන්ද, මානුෂකවූ සැපයෙන්ද, මානුෂකවූ යසසින්ද, මානුෂකවූ අධිපති භාවයෙන්ද යන කරුණු පසින් මැඩ පවත්වයි. සුමනාවෙනි, යම් ඒ දන් දෙන්නෙක් වේද, හෙතෙම මේ දන් නොදෙන්නහු මනුෂය වූයේම මේ කරුණු පසින් මැඩ පවත්වයි.’’

’’ස්වාමීනි, ඉදින් වනාහි ඒ ඔවුහු ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත් නම්, ස්වාමීනි, පැවිදිවූම ඔවුන්ගේ වෙසෙසක් වන්නේද, වෙන් කිරීමක් වන්නේද?’’

’’සුමනාවෙනි, වන්නේය’’ යි භාග්‍යවත් තෙම වදාළ සේක. ’’සුමනාවෙනි, යම් ඒ දන් දෙන්නෙක් වේද, හෙතෙම මේ දන් නොදෙන්නහු පැවිදි වූයේම, යාඥා කරණ ලද්දේම, බොහෝවූ සිවුරු පරිභොග කරයි. යාඥා නොකරණ ලද්දේ, ස්වල්පයක් පරිභෝග කරයි. යාඥා කරණ ලද්දේම, බොහෝවූ පිණඩපාතය පරිභොග කරයි. යාඥා නොකරණ ලද්දේ, ස්වල්පයක් පරිභෝග කරයි. යාඥා කරණ ලද්දේම, බොහෝවූ සෙනසුන් පරිභොග කරයි. යාඥා නොකරණ ලද්දේ, ස්වල්පයක් පරිභෝග කරයි. යාඥා කරණ ලද්දේම, බොහෝවූ ගිලන්පස බෙහෙත් පිරිකර පරිභොග කරයි. යාඥා නොකරණ ලද්දේ, ස්වල්පයක් පරිභෝග කරයි. යම් බ්‍රහ්මචාරීන් සමග වාසය කෙර්ද, ඔවුහු මොහුට මනාපවූම කාය කර්‍මයෙන්, බොහෝකොට මනාව හැසිරෙත්. අමනාපයෙන් මඳකොට හැසිරෙත්. මනාපවූම වාක් කර්‍මයෙන්, බොහෝකොට මනාව හැසිරෙත්. අමනාපයෙන් මඳකොට හැසිරෙත්. මනාපවූම මනො කර්‍මයෙන්, බොහෝකොට මනාව හැසිරෙත්. අමනාපයෙන් මඳකොට හැසිරෙත්. මනාපවූම පූජාව එළවත්. අමනාපවූ පූජාව මඳකොට එළවත්. යන කරුණු පසින් මැඩ පවත්වයි. සුමනාවෙනි, යම් ඒ දන් දෙන්නෙක් වේද, හෙතෙම මේ දන් නොදෙන්නහු පැවිදි වූයේම මේ කරුණු පසින් මැඩ පවත්වයි.’’

’’ස්වාමීනි, ඉදින් වනාහි ඔහු දෙදෙන රහත් බවට පැමිණෙද්ද, ස්වාමීනි, රහත් බවට පැමිණියාවූම ඔවුන්ගේ වෙනසක් වන්නේද, වෙන් කිරීම වන්නේද?’’

’’සුමනාවෙනි, මෙහි වනාහි, මම මොවුන්ගේ කිසි වෙනස් කරුණක් නොකියමි. එනම් එකකුගේ විමුක්තිය සමග අනිකාගේ විමුක්තිය අරබයාය.’’

’’ස්වාමීනි, ආශ්චර්‍ය්‍යය, ස්වාමීනි, අද්භූතයෙකි. ස්වාමීනි, යම්බඳුවූ පුණ්‍යයෝ නම් දෙවිවූවහුටත් උපකාර වෙද්ද, මනුෂ්‍යවූවහුටත් උපකාර වෙද්ද, ස්වාමීනි, මේ දන් දෙන්ට ඉතාම සුදුසුය, පින් කරන්ට සුදුසුමය’’ යි කීයේය.

’’සුමනාවෙනි, මේ කාරණය මෙසේය, සුමනාවෙනි, මේ කාරණය මෙසේය, සුමනාවෙනි, දන් දෙන්ට සුදුසුමය. පින් කරන්ට සුදුසුමැයි. දෙවිවූවහුටද උපකාරයෝ පින්ය. මනුෂ්‍යවූවහුටද උපකාරයෝ පින්ය. පැවිදිවූවහුටද උපකාරයෝ පින්ය.’’ යි වදාළ සේක. භාග්‍යවත් තෙම මෙය් වදාළ සේක. සුගත තෙම මෙය වදාරා ඉන්පසු ශාස්තෲන් වහන්සේ මෙය වදාළ සේක.

(1) ’’යම් සේ ලෝකයෙහි අහසින් ගමන් කරන්නාවූ, නිර්‍මලවූ චන්‍ද්‍ර තෙම සියලු තාරකාවන් රශ්මියෙන් ඉක්මවා බබළාද,

(2) ’’එසේම, ශීලයෙන් යුක්වූ, ශ්‍රද්‍ධාව ඇත්තාවූ පුරුෂ පුද්ගල තෙම ලෝකයෙහි සියලු මසුරු පුද්ගලයන් ත්‍යාගය කරණ කොට ගෙන ඉක්මවා බබලයි.

(3) ’’යම්සේ සිය ගනන් මුදුන් ඇති, විදුලි මාළා ඇති මේඝය තෙම ගර්ජනා කරමින් පෘථිවියට මනාකොට වර්‍ෂා කරන්නේ ගොඩබිම හා පහත් බිම පුරවාද,

(4) ’’මෙසේ සෝවාන්වූ සම්‍යක් සම්බුද්‍ධ ශ්‍රාවකවූ පණ්ඩිත තෙම කරුණු පසකින් මසුරු පුද්ගලයා මැඩ පවත්වයි.

(5) ’’ආයුෂයෙන්ද, යශසින්ද, ශරීර වර්‍ණයෙන්ද, සැපයෙන්ද, හෙතෙම ඒකාන්තයෙන් සැඩ පහරින් භොගවලින් මෙන් දාන වශයෙන් පමුණුවන්නාවූ දෙව්තොවට පමුණුවන ලද්දේ පරලොවද, දෙව්ලොවද සතුටුවේය’’ යි වදාළ සේක.