අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

4. සුමනා වර්‍ගය

3. උග්ගහ මෙණ්ඩක නත්තු සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භද්දිය නම් නුවර ස්වයංජාත වන ලැහැබෙහි වැඩවසන සේක. එකල්හි වනාහි උග්ගහ නම් මෙණ්ඩක සිටුහුගේ මුණුබුරු තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය.

එකත්පස්ව හුන්නාවූම උග්ගහ නම් මෙණ්ඩක සිටුහුගේ මුණුබුරු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ තමන් සතරවෙනි කොට ඇත්තේ සෙට දවස පිණිස මාගේ බත ඉවසන සේක්වා’’ යි භාග්‍යවතුන් වහන්සේ, නිශ්ශබ්දවීමෙන් ඉවසූ සේක. ඉක්බිති උග්ගහ නම් මෙණ්ඩක සිටුහුගේ මුණුබුරු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන, හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ පැදකුණු කොට ගියේය.

ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරොවා, පාත්‍ර සිව්රු ගෙණ, උග්ගහ නම් මෙණ්ඩක සිටු මුණුබුරාගේ ගෘහය යම් තැනෙක්හිද, එතැනට පැමිණි සේක. පැමිණ පනවන ලද ආසනයෙහි වැඩ හුන් සේක.

ඉක්බිති උග්ගහ නම් මෙණ්ඩක සිටු මුණුබුරු තෙම, භාග්‍යවතුන් වහන්සේ ප්‍රණීතවූ කෑ යුතු දෙයින්ද, බුදිය යුතු දෙයින්ද, සියතින් සතුටු කෙළේය. මනාකොට පැවරූයේය. ඉක්බිති උග්ගහ නම් මෙණ්ඩක සිටු මුණුබුරු තෙම වැළඳුවාවූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේට එකත්පස්ව හුන්නේය.

එකත්පස්ව හුන්නාවූම උග්ගහ නම් මෙණ්ඩක සිටු මුණුබුරු තෙම, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ’’ස්වාමීනි, මාගේ මේ කුමරියෝ සැමි කුල වලට යන්නාහුය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් ඔවුන්ට බොාහෝ කලක් හිත සැප පිණිස වන්නේද, එහෙයින් ඔවුන්ට අවවාද කරණ සේකවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට අනුශාසනා කරණ සේක්වා.’’

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ කුමරියන්ට මෙය වදාළ සේක. ’’කුමරියෙනි, එහෙයින් මෙහි වැඩ කැමැතිවූ, හිග කැමැතිවූ, අනුකම්පා ඇත්තාවූ, මව් පියෝ අනුකම්පා පිණිස යම් ස්වාමියෙකුට දෙන්නාහුද, ඔහුට පළමු නැගිටින්නියෝද, පසුව නිදාගන්නියෝද, ’කුමක් කරම්දැ’ යි පිළිවිස කරන්නියෝද, මනාප පරිදි හැසිරෙන්නියෝද, ප්‍රිය තෙපුල් කියන්නියෝද, වන්නෙමුයි, මෙසේ හික්මිය යුතුයි. කුමරියෙනි, මෙසේ වනාහි හික්මිය යුතුයි.

’’කුමරියෙනි එහෙයින් මෙහි යම් ඒ ස්වාමීහුගේ මව්ය කියා හෝ, පියාය කියා හෝ, මහණ බමුණෝය කියා හෝ, ගරු කට යුත්තෝ වන්නාහුද, ඔවුන්ට සත්කාර කරන්නෙමු. ගෞරව කරන්නෙමු. බුහුමන් කරන්නෙමු. පූජා කරන්නෙමු. ලඟට පැමිණියවුන්ටද ආසනයෙන් හා ජලයෙන් පුදන්නෙමුයි, මෙසේ හික්මිය යුතුයි. කුමරියෙනි, තොප විසින් වනාහි මෙසේ හික්මිය යුතුයි.

’’කුමරියෙනි, එහෙයින් මෙහි ස්වාමිහුගේ එළු ලොම් හෝ, කපු පුළුන් හෝ යම් ඒ ඇතුළත්වූ කර්‍මාන්ත වෙද්ද, එහි අලස නොවූවාහු, ඒ කර්‍මාන්තයෙහි උපායවූ විමසීම් නුවණින් යුක්තවූවෝ කරන්ට සමර්ත්‍ථ සංවිධාන කරන්ට සමර්ත්‍ථ දක්‍ෂවූවෝ වන්නෙමුයි, මෙසේ හික්මිය යුතුයි. කුමරියෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.

’’කුමරියෙනි, එහෙයින් මෙහි ස්වාමීහුගේ අභ්‍යන්තරවූ දාසයෝය කියා හෝ පණිවිඩකාරයෝය කියා හෝ, කම්කරුවෝය කියා හෝ, යම් මේ ඇතුළත ජනයා වේද, ඔවුන් කළ දෙයද, කළ දෙය වශයෙන් දැනගන්නෙමු. නොකළ දෙයද, නොකළ දෙය වශයෙන් දැනගන්නෙමුයි, ගිලන්වූවන්ගේද සුව දුක් බලා දැනගන්නෙමුයි, කෑ යුතු දෙයක්ද, බුදිය යුතු දෙයක්ද, මොහුට උපකාර වේද, එයින් විභාග කරන්නෙමුයි, මෙසේ හික්මිය යුතුයි.

’’කුමරියෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. කුමරියෙනි, මේ කරුණු පසින් වනාහි යුක්තවූ ස්ත්‍රිය, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු මනාප කායික නම් දෙවියන්ගේ සමාන බවට පැමිණේයයි වදාළ සේක.’’

(1) ’’වීර්‍ය්‍ය ඇති, උත්සාහවත්වූ, යමෙක් හැම කල්හි ඇය සතතයෙන් පෝෂණය කෙරේද, ඕ තොමෝ සියලු කැමති දෙය දෙන්නාවූ, පෝෂණය කරන්නාවූ, ස්වාමියා ඉක්මවා නොහඟියි.

(2) ’’ඒ ස්ත්‍රී තොමෝ කැමති පරිදි හැසිරීමෙන් ස්වාමියා කෝපද නොකරන්නේය. නුවණැත්තී. ස්වාමීහුගේ සියලු තරු කටයුත්තන්ද පුදයි. (3) ’’උත්සාහවත් වූවා, අලස නොවූවා, සංග්‍රහ කරණ ලද පිරිවර ජනයන් ඇත්තී, ස්වාමියාට මනාප වූවා හැසිරෙයි. රැස්කරණලද ධනයද ආරක්‍ෂා කරයි.

(4) ’’ස්වාමියාගේ කැමැත්ත අනුව පවත්නාවූ, යම් ස්ත්‍රියක් තොමෝ මෙසේ පවතීද, ඕ තොමෝ යම් තැනෙක්හි නිර්‍මානරතී නම් ඒ දෙවියෝ ඇද්ද, එහි උපදීය’’ යි වදාළ සේක.