අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

4. සුමනා වර්‍ගය

6. කාලදාන සූත්‍රය

’’මහණෙනි, මේ සුදුසු කාලයෙහි දෙන්නාවූ දාන පසක් වෙත්. කවර පසක්ද යත්, ආගන්තුකයාට දානය දේද, ගමන් යන්නාට දානය දේද, ගිලනාට දානය දේද, දුර්භික්‍ෂයෙහි දානය දේද, යම් ඒ අලුත් ශෂ්‍ය අලුත් ඵල වෙත්ද, ඔවුන් පළමුකොට සිල්වතුන් කෙරෙහි පිහිටුවාද (යන පසයි.) මහණෙනි, මොහු වනාහි සුදුසු කාලයෙහි දෙන දාන පස වෙත්ය’’ යි වදාළ සේක.

’’ප්‍රඥා ඇත්තාවූ, ප්‍රත්‍රිග්‍රාහකයන්ගේ වචන දන්නාවූ, පහවූ මසුරු මල ඇත්තෝ සුදුසු කාලයෙහි දන් දෙත්. සෘජුවූ, තාදී ගුණයෙන් යුක්තවූ, ආර්‍ය්‍යයන් විෂයෙහි සුදුසු කාලයෙහි දෙන ලද්ද, කාලදානය වේ.

’’විශෙෂයෙන් ප්‍රසන්න සිත් ඇති ඔහුගේ දක්‍ෂිණා තොමෝ මහත් ඵල ඇත්තී වේ. යම් කෙණෙක් එහි අනුමෝදන් හෝ වෙද්ද, වතාවත් හෝ කෙරෙද්ද?

’’එයින් දක්‍ෂිණා තොමෝ අඩුවූවක් නොවන්නීය. ඔවුහුද පිනට කොටස්කාරයෝ වෙත්. යමෙකු කෙරෙහි දෙන ලද්ද මහත් ඵල වේද,

’’එහෙයින් නොපසුබට සිත් ඇත්තේ දන් දෙන්නේය. පින් පරලොව සත්ත්‍වයන්ට පිහිට වෙත්ය’’ යි වදාළ සේක.