අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
1. පඨම පණ්ණාසකය
5. මුණ්ඩරාජ වර්‍ගය
9. පසෙනදි අලබ්භනීයඨාන සූත්‍රය
’’එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ, සැවැත් නුවර සමීපයෙහි වූ, අනේපිඬු මහ සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
’’එකල්හි වනාහි පසෙනදි කොසොල් රජ තෙම භාග්‍යවතුන් වහන්සේ, යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට සකස්කොට වැඳ, එකත්පස්ව හුන්නේය. ඉක්බිති එක්තරා පුරුෂයෙක් පසේනදි කොසොල් රජ තෙම යම් තැනෙක්හිද. එතැනට එළඹියේය. එළඹ, පසේනදි කොසොල් රජහුගේ කන ළඟ. ’’දේවයන් වහන්ස, මල්ලිකා දේවී තොමෝ කළුරිය කළාය’’ යි දැනවූයේය.
’’මෙසේ කී කල්හි පසේනදි කොසොල් රජ තෙම දුක් වූයේ, නොසතුටු වූයේ, පතිතවූ කඳ ඇත්තේ, යටිකුරුවූ මුහුණ ඇත්තේ, සිතිවිලි සිතන්නේ, වැටහීම් රහිතවූයේ, හුන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දුක්වූ, නොසතුටුවූ, පතිතවූ කඳ ඇති, යටිකුරු මුහුණ ඇති, සිතුවිලි සිතන්නාවූ, වැටහීම් රහිතවූ, පසෙනදි කොසොල් රජහු දැක, පසෙනදි කොසොල් රජහුට මෙය වදාළ සේක.
’’මහරජ, ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලොකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැක්කාවූ මේ කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්?
’’ජරා ධර්‍මය නොදිරාවායි,
’’ ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලොකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ.
’’ව්‍යාධි ධර්‍මය නොපෙලාවායි ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලොකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. මරණ ධර්‍මය නොමියේවායි ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලොකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. ක්‍ෂය ධර්‍මය ක්‍ෂය නොවේවායි ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලොකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. නැසෙන ධර්‍මය නොනසීවායි, ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලොකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ.