අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

5. මුණ්ඩරාජ වර්‍ගය

10. මුණ්ඩරාජ සූත්‍රය

එක් කලෙක්හි ආයුෂ්මත් නාරද ස්ථවිර තෙම පැළලුප් නුවර කුක්කුටාරාමයෙහි වාසය කරයි. එකල්හි වනාහි,

’’මුණ්ඩ නම් රජුගේ ප්‍රියවූ, මනාපවූ, භද්‍රා නම් දේවී තොමෝ කළුරිය කරණ ලද්දී වේ. හෙතෙම ප්‍රියවූ මනාපවූ භද්‍රා නම් දේවිය කළුරිය කළ කල්හි නොම ස්නානය කරයි. සුවඳ නොගල්වයි. ආහාර අනුභව නොකරයි. කර්‍මාන්තය නොයොදවයි. රෑ දාවල් දෙක්හි භද්‍රා නම් දේවියගේ ශරීරයෙහි අධික ආශාවෙන් මුසපත්වූයේ වෙයි..

’’ඉත්බිති මුණ්ඩ නම් රජ තෙම පියක නම් කොටු ගුල් රක්නහු කැඳවූයේය. ’’එසේ වී නම් යහළු පියකය, භද්‍රා නම් දේවියගේ ශරීරය අයොමය තෙල් ඔරුවෙක්හි බහා අනික් අයොමය ඔරුවකින් වසව්. යම් සේ අපි භද්‍රා නම් දේවියගේ ශරීරය ඉතා බොහෝ කලක් දක්නෙම්ද,’’ ’’එසේය, දේවයන් වහන්ස, එසේය’’ යි කියා පියක නම් කොෂ්ටාරක්‍ෂක තෙම මුණ්ඩ නම් රජහට ප්‍රති වචන දී, භද්‍රා නම් දේවියගේ ශරීරය අයෝමය තෙල් ඔරුවෙක්හි බහා අන්‍යවූ අයෝමය ඔරුවෙකින් වැසුයේය.

ඉක්බිති පියක නම් කොෂ්ටාරක්‍ෂකයාට මෙබඳු අදහසක් විය. ’’මුණ්ඩ නම් රජුගේ ප්‍රියවූ, මනාපවූ, භද්‍රා නම් දේවී තොමෝ කළුරිය කරණ ලද්දී වේ. හෙතෙම ප්‍රියවූ මනාපවූ භද්‍රා නම් දේවිය කළුරිය කළ කල්හි නොම ස්නානය කරයි. සුවඳ නොගල්වයි. ආහාර අනුභව නොකරයි. කර්‍මාන්තය නොයොදවයි. රෑ දාවල් දෙක්හි භද්‍රා නම් දේවියගේ ශරීරයෙහි අධික ආශාවෙන් මුසපත්වූයේ වෙයි..

’’මුණ්ඩ නම් රජ තෙම යමෙකුගේ ධර්මයක් අසා ශොක නමැති හුල දුරු කරන්නේද, එබඳුවූ කවර නම් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පර්‍ය්‍යුපාසනය කරන්නේද?’’ ඉක්බිති පියක නම් කොෂ්ටාරක්‍ෂකයාට මේ අදහස විය.

’’මේ ආයුෂ්මත් නාරද ස්ථවිර තෙම වනාහි පැළලුප් නුවර කුක්කුටාරාමයෙහි වාසය කරයි. ඒ ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වනාහි පණ්ඩිතය, ව්‍යක්තය, නුවණ ඇත්තේය, බහුශ්‍රුතය, විසිතුරු කථා ඇත්තේය. යහපත් වැටහීම් ඇත්තේය. වැඩිමහළු වූයේද, රහත් වූයේද වේය’’ යි මෙසේ යහපත්වූ ගුණ ඝෝෂාවෙක් පැන නැංගේය.

’’මුණ්ඩ නම් රජ තෙම, ආයුෂ්මත් නාරද ස්ථවිරයන් පර්‍ය්‍යුපාසනය කරන්නේ නම් ඉතා යෙහෙක. මුණ්ඩ නම් රජ තෙම, ආයුෂ්මත් නාරද ස්ථවිරයන්ගේ ධර්‍මයක් අසා ශොක නමැති හුල දුරු කරන්නේ නම් ඉතා යෙහෙකැ’’ යි, ඉක්බිති පියක නම් කොෂ්ටාරක්‍ෂක තෙම මුණ්ඩ නම් රජ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, මුණ්ඩ නම් රජුට මෙය කීයේය.

’’දේවයන් වහන්ස, මේ ආයුෂ්මත් නාරද ස්ථවිර තෙම වනාහි පැළලුප් නුවර කුක්කුටාරාමයෙහි වාසය කරයි. ඒ ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වනාහි පණ්ඩිතය, ව්‍යක්තය, නුවණ ඇත්තේය, බහුශ්‍රුතය, විසිතුරු කථා ඇත්තේය. යහපත් වැටහීම් ඇත්තේය. වැඩිමහළු වූයේද, රහත් වූයේද වේය’’ යි මෙසේ යහපත්වූ ගුණ ඝෝෂාවෙක් පැන නැංගේය. ඉදින් වනාහි දේවයන් වහන්සේ ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේ ඇසුරු කරන්නේ නම්, දේවයන් වහන්සේ ආයුෂ්මත් නාරද ස්ථවිරයන්ගේ ධර්‍මයක් අසා ශොක නමැති හුල දුරු කරන්නේ නම් ඉතා යෙහෙක’’ කියායි.

එසේ වීනම් යහළු පියකය, ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේට දැනුම් දෙව. කෙසේ නම් මා වැන්නෙක් රාජ්‍යයෙහි වාසය කරන්නාවූ ශ්‍රමණයෙකු හො බ්‍රාහ්මණයෙකු වෙත, පළමු නොදන්වන ලද්දේ එළඹියයුතුයයි හඟින්නේද?’’

’’දේවයන් වහන්ස, එසේය’’ යි කියා පියක නම් කොෂ්ටාරක්‍ෂක තෙම මුණ්ඩ නම් රජහට උත්තර දී, ආයුෂ්මත් නාරද ස්ථවිරයන් යම් තැනෙක්හිද, එතනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේට සකස් කොට වැඳ, එකත්පස්ව හුන්නේය.

’’එකත්පසෙක හුන්නාවූම පියක නම් කොෂ්ටාරක්‍ෂක තෙම ආයුෂ්මත් නාරද ස්ථවිරයන්ට මෙය කීයේය. ’’ස්වාමීනි, මුණ්ඩ නම් රජුගේ ප්‍රියවූ, මනාපවූ, භද්‍රා නම් දේවී තොමෝ කළුරිය කරණ ලද්දී වේ. හෙතෙම ප්‍රියවූ මනාපවූ භද්‍රා නම් දේවිය කළුරිය කළ කල්හි නොම ස්නානය කරයි. සුවඳ නොගල්වයි. ආහාර අනුභව නොකරයි. කර්‍මාන්තය නොයොදවයි. රෑ දාවල් දෙක්හි භද්‍රා නම් දේවියගේ ශරීරයෙහි අධික ආශාවෙන් මුසපත්වූයේ වෙයි. ස්වාමීනි, ආයුෂ්මත් නාරද ස්ථවිර තෙම මුණ්ඩ නම් රජහට යම්සේ මුණ්ඩ නම් රජ තෙම ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේ ගේ ධර්‍මයක් අසා ශොක නමැති හුල දුරු කරන්නේද, එසේ ධර්‍මයක් දේශනා කරණ සේක්වා’’ යි.

’’පියකය, මුණ්ඩ නම් රජ තෙම යමක් සඳහා කාලය හඟීද, එයට දැන් සුදුසුය’’ යි කීයේය. ඉක්බිති පියක නම් කොෂ්ටාරක්‍ෂක තෙම හුනස්නෙන් නැගිට ආයුෂ්මත් නාරද ස්ථවිරයන්ට සකස්කොට වැඳ, ප්‍රදක්‍ෂිණාකොට, මුණ්ඩ නම් රජ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, මුණ්ඩ නම් රජුට මෙය කීයේය. ’’දේවයන් වහන්ස, දේවයන් වහන්සේ යමකට කල් හඟීද, දැන එයට සුදුසුය’’ යි ආයුෂ්මත් නාරද ස්ථවිරයන් විසින් කරණ ලද අවකාශ ඇත්තේමය’’ යි.

’’එසේ වී නම්, යහළු පියකය, සොඳුරු සොඳුරු යානාවන් යොදවව’’ යි - ’’දේවයන් වහන්ස, එසේය’’ කියා පියක නම් කොෂ්ටාරක්‍ෂක තෙම මුණ්ඩ නම් රජුට පිළිවදන් දී, සොඳුරු සොඳුරු යානාවන් යොදවා මුණ්ඩ නම් රජුට මෙය කීයේය. ’’දේවයන් වහන්ස, ඔබ වහන්සේට සොඳුරු සොඳුරු යානාවෝ යොදවන ලදහ. දේවයන් වහන්සේ යමකට කල් හඟීද, එයට දැන් සුදුසුය’’ යි.

’’ඉක්බිති මුණ්ඩ නම් රජ තෙම සොඳුරුවූ යානාවකට නැඟී, සොඳුරු යානාවන් සමග කුක්කුටාරාමය යම් තැනෙක්හිද, එතැනට මහත්වූ රාජානුභාවයෙන් යුක්තව ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේ දැකීම පිණිස පැමිණියේය. යානයට භූමිය යම්තාක් වේද, ඒතාක් යානාවෙන් ගොස් යානාවෙන් බැස පයින් ගමන් ඇත්තේම ආරාමයට ඇතුළුවූයේය. ඉක්බිති මුණ්ඩ නම් රජ තෙම ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේට සකස්කොට වැඳ එකත්පස්ව හුන්නේය.

’’එකත්පස්ව හුන්නාවූම මුණ්ඩ නම් රජුට ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහරජ, ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලොකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැක්කාවූ මේ කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්?

’’ජරා ධර්‍මය නොදිරාවායි,

’’ ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලොකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ.

’’ව්‍යාධි ධර්‍මය නොපෙලාවායි ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලොකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. මරණ ධර්‍මය නොමියේවායි ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලොකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. ක්‍ෂය ධර්‍මය ක්‍ෂය නොවේවායි ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලොකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. නැසෙන ධර්‍මය නොනසීවායි, ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලොකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ.

’’ මහරජ, අශ්‍රුතවත්වූ පෘථග්ජනයාගේ ජරා ධර්‍මය දිරයි. හෙතෙම ජරා ධර්‍මය දිරූ කල්හි මෙසේ නොසළකයි.

එකලාවූ මාගේම ජරා ධර්‍මය නොදිරයි. වැලිදු සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම යම්තාක් වේද, සියලු සත්ත්‍වයන්ගේ ජරා ධර්‍මය දිරයි. මමද වනාහි ජරා ධර්‍මය දිරූ කල්හි ශොක කරන්නෙමි.

’’වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි,

’’ජරා ධර්‍මය දිරූ කල්හි,

’’ශොක කරයි, වෙහෙසෙයි, වැළපෙයි, ළෙහි අත් ගසමින් හඬයි, මුළාවට පැමිණෙයි.

’’ මහරජ, මේ අශ්‍රුතවත් පෘතග්ජන තෙම විෂ සහිතවූ ශොක නමැති හුලෙන් විදිනා ලද්දේ, තමන්ම තවායයි තියනු ලැබේ.

’’නැවත අනිකක්ද කියමි. මහරජ, අශ්‍රුතවත්වූ ප්‍රතග්ජනයාගේ ව්‍යාධි ධර්‍මය පෙලයි. හෙතෙම ව්‍යාධි ධර්‍මය පෙළූ කල්හි මෙසේ නොසලකයි. එකළාවූ මාගේම ව්‍යාධි ධර්‍මය නොපෙළයි. වැලිදු සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම, යම් තාක් වේද, සියලු සත්ත්‍වයන්ගේ ව්‍යාධි ධර්මය පෙළයි. මමද වනාහි ව්‍යාධි ධර්‍මය පෙළූ කල්හි ශොක කරන්නෙම් වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි, හෙතෙම ව්‍යාධි ධර්මය පෙලූ කල්හි ශොක කරයි, වෙහෙසෙයි, වැළපෙයි, ළෙහි අත් ගසමින් හඬයි, මුළාවට පැමිණෙයි. මරණ ධර්මය මරයි. හෙතෙම මරණ ධර්මය මියගිය කල්හි මෙසේ නොසලකයි. එකළාවූ මාගේම මරණ ධර්මය මියයයි. වැලිදු සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම, යම් තාක් වේද, සියලු සත්ත්‍වයන්ගේ මරණ ධර්මය මියයයි. මමද වනාහි මියගිය කල්හි ශොක කරන්නෙම්, වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි, හෙතෙම මරණ ධර්මය මරණ කල්හි ශොක කරයි, වෙහෙසෙයි, වැළපෙයි, ළෙහි අත් ගසමින් හඬයි, මුළාවට පැමිණෙයි. ක්‍ෂය ධර්මය ක්‍ෂය වෙයි. හෙතෙම ක්‍ෂය ධර්‍මය ක්‍ෂයවූ කල්හි මෙසේ නොසලකයි. එකළාවූ මාගේ ක්‍ෂය ධර්‍මය ක්‍ෂය වෙයි. වැලිදු සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම, යම් තාක් වේද, සියලු සත්ත්‍වයන්ගේ ක්‍ෂය ධර්මය ක්‍ෂය වෙයි. මමද වනාහි ක්‍ෂය ධර්මය ක්‍ෂයවූ කල්හි ශොක කරන්නෙම් වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි, හෙතෙම ක්‍ෂය ධර්මය ක්‍ෂය කරණ කල්හි ශොක කරයි, වෙහෙසෙයි, වැළපෙයි, ළෙහි අත් ගසමින් හඬයි, මුළාවට පැමිණෙයි. නැසෙන ධර්මය නසියි. හෙතෙම නැසෙන ධර්මය නට කල්හි මෙසේ නොසලකයි. එකළාවූ මාගේම නැසෙන ධර්මය නොනසියි. වැලිදු යම්තාක් සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම, වේද, සියලු සත්ත්‍වයන්ගේ නැසෙන ධර්මය නසියි. මමද වනාහි නැසෙන ධර්මය නට කල්හි ශොක කරන්නෙම් නම් වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි, හෙතෙම නැසෙන ධර්මය නට කල්හි, ශොක කරයි, වෙහෙසෙයි, වැළපෙයි, ළෙහි අත් ගසමින් හඬයි, මුළාවට පැමිණෙයි.

’’ මහරජ, ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේද වනාහි ජරා ධර්‍මය දිරයි. හෙතෙම ජරා ධර්‍මය දිරූ කල්හි මෙසේ නොසළකයි. එකලාවූ මාගේම ජරා ධර්‍මය නොදිරයි. වැලිදු සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම යම්තාක් වේද, සියලු සත්ත්‍වයන්ගේ ජරා ධර්‍මය දිරයි. මමද වනාහි ජරා ධර්‍මය දිරූ කල්හි ශොක කරන්නෙමි. වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි,

’’හෙතෙම ජරා ධර්මය දිරූ කල්හි

’’ශොක නොකරයි. නොවෙහෙසෙයි. නොවැළපෙයි. ළෙහි අත් ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. මහණෙනි, මේ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම යමකින් විදින ලද්දාවූ අශ්‍රුතවත් පෘතග්ජන තෙම තමන්ම තවාද, එබඳුවු විෂ සහිතවූ, ශොක නමැති හුල ඇද දැම්මේය. ශොක රහිතවූ, ඇද දමන ලද හුල් ඇත්තාවූ, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තමන්ම පිරිනිවේයයි කියනු ලැබේ.

’’නැවත අනිකක්ද කියමි. මහරජ, ශ්‍රුතවත්වූ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ ව්‍යාධි ධර්‍මය පෙළයි. හෙතෙම ව්‍යාධි ධර්‍මය පෙලූ කල්හි මෙසේ නොසළකයි. එකළාවූ මාගේ ව්‍යාධි ධර්‍මය නොපෙළෙයි. වැළිදු සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම, යම්තාක් වේද, සියලු සත්ත්‍වයන්ගේ ව්‍යාධි ධර්‍මය පෙලයි. මමද වනාහි ව්‍යාධි ධර්‍මය පෙලූ කල්හි ශොක නොකරන්නෙමි. වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි, හෙතෙම ව්‍යාධි ධර්මය පෙළූ කල්හි ශොක නොකරයි. නොවෙහෙසෙයි. නොවැළපෙයි. ළෙහි අත් ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. මහරජ, මේ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම යමකින් විදින ලද්දාවූ අශ්‍රුතවත් පෘතග්ජන තෙම තමන්ම තවාද, එබඳුවු විෂ සහිතවූ, ශොක නමැති හුල ඇද දැම්මේය. ශොක රහිතවූ, ඇද දමන ලද හුල් ඇත්තාවූ, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තමන්ම පිරිනිවේයයි කියනු ලැබේ.

’’මරණ ධර්‍මය මියයි. හෙතෙම මරණ ධර්‍මය මිය ගිය කල්හි මෙසේ නොසළකයි. එකළාවූ මාගේම මරණ ධර්‍මය නොමියයි. වැළිදු සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම, යම්තාක් වේද, සියලු සත්ත්‍වයන්ගේ මරණ ධර්‍මය මියයයි. මමද වනාහි මරණ ධර්‍මය මිය ගිය කල්හි ශොක නොකරන්නෙමි. වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි, හෙතෙම මරණ ධර්‍මය මරණ කල්හි ශොක නොකරයි. නොවෙහෙසෙයි. නොවැළපෙයි. ළෙහි අත් ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. මහරජ, මේ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම යමකින් විදින ලද්දාවූ අශ්‍රුතවත් පෘතග්ජන තෙම තමන්ම තවාද, එබඳුවු විෂ සහිතවූ, ශොක නමැති හුල ඇද දැම්මේය. ශොක රහිතවූ, ඇද දමන ලද හුල් ඇත්තාවූ, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තමන්ම පිරිනිවේයයි කියනු ලැබේ.

’’ක්‍ෂය වන ධර්‍මය ක්‍ෂය වෙයි. හෙතෙම ක්‍ෂය ධර්‍මය ක්‍ෂය වෙයි මෙසේ නොසළකයි. එකළාවූ මාගේම ක්‍ෂය ධර්‍මය ක්‍ෂය නොවෙයි. වැළිදු සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම, යම්තාක් වේද, සියලු සත්ත්‍වයන්ගේ ක්‍ෂය ධර්‍මය ක්‍ෂය වෙයි. මමද වනාහි ක්‍ෂය ධර්‍මය ක්‍ෂයවූ කල්හි ශොක කරන්නෙම් වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි, හෙතෙම ක්‍ෂය ධර්මය ක්‍ෂය කරණ කල්හි ශොක නොකරයි. නොවෙහෙසෙයි. නොවැළපෙයි. ළෙහි අත් ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. මහරජ, මේ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම යමකින් විදින ලද්දාවූ අශ්‍රුතවත් පෘතග්ජන තෙම තමන්ම තවාද, එබඳුවු විෂ සහිතවූ, ශොක නමැති හුල ඇද දැම්මේය. ශොක රහිතවූ, ඇද දමන ලද හුල් ඇත්තාවූ, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තමන්ම පිරිනිවේයයි කියනු ලැබේ.

’’නැසෙන ධර්‍මය නසියි. හෙතෙම නැසෙන ධර්‍මය නැසුනු කල්හි මෙසේ සළකයි. එකළාවූ මාගේම නැසෙන ධර්‍මය නොනසියි. වැළිදු යම්තාක් සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම වේද, ඒ සියලු සත්ත්‍වයන්ගේ නැසෙන ධර්‍මය නසියි. මමද වනාහි නැසෙන ධර්‍මය නැසුනු කල්හි ශොක කරන්නෙම් නම්, වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි,

’’හෙතෙම නැසෙන ධර්මය නැසුනු කල්හි ශොක නොකරයි. නොවෙහෙසෙයි. නොවැළපෙයි. ළෙහි අත් ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. මහරජ, මේ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම යමකින් විදින ලද්දාවූ අශ්‍රුතවත් පෘතග්ජන තෙම තමන්ම තවාද, එබඳුවු විෂ සහිතවූ, ශොක නමැති හුල ඇද දැම්මේය. ශොක රහිතවූ, ඇද දමන ලද හුල් ඇත්තාවූ, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තමන්ම පිරිනිවේයයි කියනු ලැබේ.

’’ශොක රහිතවූ, ඇද දැමූ හුල් ඇත්තාවූ, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තමන්ම පිරිනිවේයයි කියනු ලැබේ. මොහු වනාහි ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණු පස වෙත්යයි වදාළ සේක’’

(1) ශොක කිරීමෙන්ද, වැළපීමෙන්ද, ස්වල්පවූද ප්‍රයෝජනයකුත් ලැබිය නොහැක්කේය. ශොක කරන්නාවූ, දුකට පැමිණියාවූ, මොහු දැන පස මිතුරෝ සතුටු සිත් ඇත්තෝ වෙත්.

(2) ’’යම් කලෙක්හි වනාහි කරුණාවන්තවූ, අර්ත්‍ථ විනිශ්චයෙහි දක්‍ෂවූ, පණ්ඩිත තෙම විපත්වලදී කම්පා නොවේද, එකල්හි මොහුගේ පසමිතුරෝ විකාර නොවූ, පැරණි මුහුණ දැක දුක් වූවාහු වෙත්.

(3) ’’ගුණ කීමෙන්ද, මන්ත්‍ර පිරවීමෙන්ද, යහපත් වචනයෙන්ද, වස්තු දීමෙන්ද, කුල ප්‍රවේනිය කීමෙන්ද, යම් යම් පරිද්දකින්, යම් යම් තැනෙක්හි ප්‍රයෝජනය ලබන්නේද, ඒ ඒ පරිද්දෙන්, ඒ ඒ තන්හි උත්සාහ කරන්නේය.

(4) ’’ඉදින් මා විසින්ද, අනිකා විසින්ද, මේ අර්ත්‍ථය නොලැබිය හැක්කේයයි දන්නේ නම්, ශොක නොකරන්නාවූ හෙතෙම මාගේ කර්‍මය දැඩිවේ. දැන් කුමක් කරම්දැයි, ඉවසන්නේයයි වදාළ සේක.

’’මෙසේ වදාළ කල්හි මුණ්ඩ නම් රජ තෙම ආයුෂ්මත් නාරද ස්ථවිරයන්ට මෙය කීයේය. ’’ස්වාමීනි, මේ ධර්‍ම පර්‍ය්‍යාය තෙම කවරේද?’’ ’’මහරජ, මේ ධර්‍ම පර්‍ය්‍යාය තෙම ශොක තමැති හුල දුරු කරන්නේ නම් වේය’’ යි කීයේය. ’’ස්වාමීනි, ඒකාන්තයෙන් ශොක හුල දුරු කරන්නේය. ස්වාමීනි, ඒකාන්තයෙන් ශොක හුල දුරු කරන්නේය. ස්වාමීනි, මාගේ වනාහි මේ ධර්‍ම පර්‍ය්‍යාය අසා ශොක නමැති හුල දුරු වූයේය’’ යි කීයේය.

’’ඉක්බිති මුණ්ඩ නම් රජ තෙම පියක නම් කොෂ්ටාරක්‍ෂකයා කැඳවීය. ’’එසේ වී නම් යහළු පියකය, භද්‍රා නම් දේවියගේ සිරුර දවව්. ඈට සෑයක්ද කරව්. දැන් අද පටන් අපි නහන්නෙමු. විලවුන්ද ගල්වන්නෙමු. ආහාරද අනුභව කරන්නෙමු. කර්‍මාන්තයන්ද යොදවන්නෙමු’’ යි කීයේය.’’

පස් වන මුණ්ඩ රාජ වර්‍ගය නිමි.

ප්‍රථම පණ්ණාසකය නිමි.