අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

2. දෙවැනි පණ්ණාසකය

(6) 1. නීවරණ වර්‍ගය

1. නීවරණ සූත්‍රය

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපි්ඩු සිටුහුගේ අරමෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි’’ යි කියා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ’’පින්වතුන් වහන්ස’’ කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, මේ නීවරණ පසක් වෙත්.

’’කවර පසක්ද යත්? මහණෙනි, කාමාසාව,

’’කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, නීවරණය වේ.

’’මහණෙනි, ව්‍යාපාදය, කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, නීවරණය වේ.

’’මහණෙනි, ථීනම්ද්‍ධය, කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, නීවරණය වේ.

’’මහණෙනි, උද්‍ධච්ච කුක්කුච්චය කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, නීවරණය වේ.

’’මහණෙනි, විචිකිච්ඡාව කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, නීවරණය වේ.

’’මහණෙනි, කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, මේ නීවරණ පසක් වෙත්.

’’මහණෙනි, ඒ භික්‍ෂු තෙම ඒකාන්තයෙන් කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, මේ නීවරණ පස දුරු නොකොට, බල නැත්තාවූ දුර්වල ප්‍රඥාවෙන් තමාගේ අර්ථය හෝ දන්නේය. අනුන්ගේ අර්ථය හෝ දන්නේය. දෙදෙනාගේ අර්ථය හෝ දන්නේය. මනුෂ්‍ය ධර්මයන් මත්තෙහිවූ ආර්‍ය්‍ය භාවයට සුදුසු ඤාණ දර්‍ශන විශේෂයක් ප්‍රත්‍යක්‍ෂ කරන්නේය. යන මේ කාරණය විද්‍යමාන නොවේ.

’’මහණෙනි, යම්සේ පර්‍වතයෙන් හටගන්නාවූ දුර ගමන් කරන්නාවූ, වහා බැස යන්නාවූ, හැරගෙන යායුත්ත හැරගෙන යන්නාවූ, ගඞ්ගාවක් වේද,

’’ඒ ගඞ්ගාවගේ පුරුෂයෙක් තෙම දෙපසින් ජල මාර්‍ග දොරටු විවෘත කරන්නේද, මහණෙනි, මෙසේ වනාහි ගඟ මැද ඒ දිය පහර වික්‍ෂිප්තවූයේ, විසිර ගියේ, විශෙෂයෙන් ගැනීම් ඇත්තේ, දුර ගමන් කිරීම නොවන්නේද, ගෙන යා යුත් ගෙන නොයන්නේද,

’’මහණෙනි, මෙපරිද්දෙන්ම ඒ භික්‍ෂුතෙම ඒකාන්තයෙන් කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, මේ නීවරණ පස දුරු නොකොට බල නැත්තාවූ, දුර්වලවූ ප්‍රඥාවෙන් තමාගේ අර්ථය හෝ දන්නේය. අනිකාගේ අර්ථය හෝ දන්නේය. උභයාර්ථය හෝ දන්නේය. මනුෂ්‍ය ධර්‍මයෙන් මත්තෙහිවූ, ආර්‍ය්‍ය භාවයට සුදුසුවූ, ඥාන දර්‍ශන විශෙෂයක් ප්‍රත්‍යක්‍ෂ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. ’’මහණෙනි, ඒ භික්‍ෂු තෙම ඒකාන්තයෙන් කුශල් මග අව්රන්නාවූ, සිත මැඩගෙන හට ගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, මේ පඤ්ච නීවරණයන් දුරුකොට, බලවත්වූ ප්‍රඥාවෙන් තමාගේ අර්ථය හෝ දන්නේය. අනිකාගේ අර්ථය හෝ දන්නේය. දෙදෙනාගේ අර්ථය හෝ දන්නේය. මනුෂ්‍ය ධර්‍මයෙන් මත්තෙහිවූ, ආර්‍ය්‍ය භාවයට සුදුසු ඥාන දර්‍ශන විශෙෂයක් හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ.

’’මහණෙනි, යම්සේ පර්‍වතයෙන් හටගන්නාවූ දුර ගමන් කරන්නාවූ, වහා බැස යන්නාවූ, හැරගෙන යායුත්ත හැරගෙන යන්නාවූ, ගඞ්ගාවක් වේද,

’’ඒ ගඞ්ගාවගේ දෙපස පුරුෂයෙක් තෙම ජල මාර්‍ග දොරටු වසන්නේද, මහණෙනි, මෙසේ වනාහි ගඟ මැද ඒ සැඩ පහර වික්‍ෂිප්ත නුවූයේ, නොවිසුරුනේ, විශෙෂයෙන් අල්වා නොගන්නා ලද්දේ, දුර ගමන් කරන්නේත්, වහා බස්නා දිය පහර ඇත්තේත්, ගෙන යායුත්ත ගෙන යන්නේත් වන්නේද, මෙපරිද්දෙන්ම ඒ භික්‍ෂුතෙම ඒකාන්තයෙන් කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, මේ පඤ්ච නීවරණයන් දුරුකොට බලවත්වූ ප්‍රඥාවෙන් තමාගේ අර්ථය හෝ දන්නේය. අනුන්ගේ අර්ථය හෝ දන්නේය. උභයාර්ථය හෝ දන්නේය. මනුෂ්‍ය ධර්‍මයෙන් මත්තෙහිවූ, ආර්‍ය්‍ය භාවය කරන්ට සමර්ත්‍ථවූ, ඥාන දර්‍ශන විශෙෂයක් හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ’’