අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

2. සාරාණීය වර්‍ගය

9. පඨම මරණසති සූත්‍රය

’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදිකගම්හි ගිඤ්ජකාවසථයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ඇමතූ සේක. ’’මහණෙනි, මරණසතිය වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ මහත්පල ඇත්තේ වෙයි. මහානිශංස ඇත්තේ වෙයි. නිවණට බැසගත්තේ, නිවණ කෙළවරකොට ඇත්තේ වෙයි.

’’මරණ සතිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ මහත්ඵල ඇත්තේ වේද ? මහානිශංස ඇත්තේ වේද, නිර්‍වාණයට බැසගත්තේද, නිර්‍වාණය කෙළවරකොට ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම දාවල් කාලය ඉක්මගිය කල්හි රාත්‍රිකාලයෙහි විවේකව හිඳ මෙසේ කල්පනා කරයි. ’’මාගේ මරණයට බොහෝ කරුණු පැමිණ ඇත. සර්‍පයකු හෝ මා දෂ්ට කරන්නේය. ගෝනුස්සෙකු හෝ මා දෂ්ට කරන්නේය. පත්තෑයකු හෝ මා දෂ්ට කරන්නේය. එයින් මාගේ මරණය වන්නේය. එය මට අන්තරායක් වන්නේය. මා පැකිලී හෝ වැටේ නම්, මා විසින් අනුභව කරණ ලද බත හෝ වෙනසකට පැමිණියේ නම්, මාගේ පිත හෝ කිපෙන්නේය. සෙම හෝ කිපෙන්නේය. මාගේ ශස්ත්‍රක නම් වාතය කිපෙන්නේය. එයින් මාගේ මරණය වන්නේය. එය මාගේ අන්තරාය පිණිස වන්නේය.

’’එහෙයින් මහණෙනි, භික්‍ෂුව විසින් මෙසේ කල්පනා කටයුතුයි. ’මාගේ ලාමකවූ, අප්‍රහීනවූ, පාප ධර්‍මයෝ ඇත්තාහ. යම් හේතුවකින් මා රාත්‍රි කාලයෙහි කාලක්‍රියා කළේ නම් එය අන්තරාය පිණිස වන්නේය.

’’එහෙයින් මහණෙනි, භික්‍ෂුව විසින් ඒ ලාමකවූ අකුශල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස බලවත්වූ කැමැත්තද, ව්‍යායාමයද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහියද, විමසන නුවණද කටයුතුය. මහණෙනි, හිස ගිනි ගත්තෙක් හෝ, වස්ත්‍ර ගිනි ගත්තෙක් හෝ, ඒ හිස හෝ වස්ත්‍ර හෝ නිවීම පිණිස බලවත් කැමැත්තද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහිනුවණද ඇතිව වැඩ කරන්නේය.

’’එපරිද්දෙන්ම මහණෙනි, ඒ ලාමකවූ අකුශල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස බලවත්වූ කැමැත්තද, ව්‍යායාමයද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහියද, විමසන නුවණද කටයුතුය. මහණෙනි, ඉදින් වනාහි භික්‍ෂුතෙම විමසා බලන්නේ මෙසේ දනියි. මාගේ ලාමකවූ අකුශල ධර්‍මයෝ නැත. එය ප්‍රහීන නොවූයේ නම් රාත්‍රියෙහි කාලක්‍රියා කරන්නහුට අනතරාය වන්නේය. මහණෙනි, එබැවින් භික්‍ෂුව විසින් ඒ බලවත් ප්‍රීතියෙන් වාසය කටයුතුය.රෑ දාවල් කුශල ධර්‍ඹයන්හි හික්මීම කටයුතුයි.

’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම රාත්‍රිය ඉක්මගිය දවසෙහි විවේකව මෙසේ කල්පනා කරයි.’මාගේ මරණයට බොහෝ කරුණු පැමිණ ඇත. සර්‍පයකු හෝ මා දෂ්ට කරන්නේය. ගෝනුස්සෙකු හෝ මා දෂ්ට කරන්නේය. පත්තෑයකු හෝ මා දෂ්ට කරන්නේය. එයින් මාගේ මරණය වන්නේය. එය මට අන්තරායක් වන්නේය. මා පැකිලී හෝ වැටේ නම්, මා විසින් අනුභව කරණ ලද බත හෝ වෙනසකට පැමිණියේ නම්, මාගේ පිත හෝ කිපෙන්නේය. සෙම හෝ කිපෙන්නේය. මාගේ ශස්ත්‍රක නම් වාතය කිපෙන්නේය. එයින් මාගේ මරණය වන්නේය. එය මාගේ අන්තරාය පිණිස වන්නේය.

’’එහෙයින් මහණෙනි, භික්‍ෂුව විසින් මෙසේ කල්පනා කටයුතුයි. ’මාගේ ලාමකවූ, අප්‍රහීනවූ, පාප ධර්‍මයෝ ඇත්තාහ. යම් හේතුවකින් මා දාවල් කාලයෙහි කාලක්‍රියා කළේ නම් එය අන්තරාය පිණිස වන්නේය.

’’එහෙයින් මහණෙනි, භික්‍ෂුව විසින් ඒ ලාමකවූ අකුශල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස බලවත්වූ කැමැත්තද, ව්‍යායාමයද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහියද, විමසන නුවණද කටයුතුය. මහණෙනි, හිස ගිනි ගත්තෙක් හෝ, වස්ත්‍ර ගිනි ගත්තෙක් හෝ, ඒ හිස හෝ වස්ත්‍ර හෝ නිවීම පිණිස බලවත් කැමැත්තද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහිනුවණද ඇතිව වැඩ කරන්නේය. එපරිද්දෙන්ම මහණෙනි, ඒ ලාමකවූ අකුශල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස බලවත්වූ කැමැත්තද, ව්‍යායාමයද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහියද, විමසන නුවණද කටයුතුය. මහණෙනි, ඉදින් වනාහි භික්‍ෂුතෙම විමසා බලන්නේ මෙසේ දනියි. මාගේ ලාමකවූ අකුශල ධර්‍මයෝ නැත. එය ප්‍රහීන නොවූයේ නම් දවාලෙහි කාලක්‍රියා කරන්නහුට අනතරාය වන්නේය. මහණෙනි, එබැවින් භික්‍ෂුව විසින් ඒ බලවත් ප්‍රීතියෙන් වාසය කටයුතුය.රෑ දාවල් කුශල ධර්‍ඹයන්හි හික්මීම කටයුතුයි.

’’මහණෙනි, මෙසේ වනාහි මරණ සතිය වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ, මහත්ඵල ඇත්තේ වෙයි. මහානිශංස ඇත්තේ නිවණට බැසගත්තේ, නිවණ කෙළවරකොට ඇත්තේද වෙයි.’’