අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

4. දේවතා වර්‍ගය

3. දුතිය අපරිහානිය සූත්‍රය

’’ඉක්බිති එක්තරා දේවතාවෙක් මධ්‍යම රාත්‍රිය ඉක්ම ගිය කල්හි යහපත් වර්‍ණයෙන් යුක්තව, මුළු ජේතවනාරාමය බබුලුවා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ. එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේට

’’ස්වාමීනි, මේ ධර්ම සයක් භික්‍ෂුවහට නොපිරිහීම පිණිස පවතිත්.

’’කිනම් සයක්ද යත් ? ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති බව, ධර්මයෙහි ගෞරව ඇති බව, සංඝයා කෙරෙහි ගෞරව ඇති බව, ශික්‍ෂාවන් කෙරෙහි ගෞරව ඇති බව, අප්‍රමාදයෙහි ගෞරව ඇති බව, පිළිසඳර කථාවෙහි ගෞරව ඇති බව, යන සයයි. ස්වාමීනි, මේ ධර්ම සයක් භික්‍ෂුවහට නොපිරිහීම පිණිස පවතිත්.

’’ඒ දේවතාවා මෙසේ කීය. ’ශාස්තෲන් වහන්සේ යහපත්ව අනුදන්වූසේක.’ ඉක්බිති ඒ දේවතාවා, ’ශාස්තාෘන් වහන්සේ මගේ වචන පිළිගත්සේකැ’ යි භාග්‍යවතුන් වහන්සේ,වැඳ, ප්‍රදක්‍ෂිණාකොට එහිම අතුරුදන් වූවාය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. මහණෙනි, මේ රාත්‍රියෙහි එක්තරා දේවතාවෙක් රාත්‍රිය ඉක්ම ගිය පසු යහපත් වර්‍ණ ඇතිව, මුළු ජේතවනාරාමය ආලෝකකොට, මා යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, මා වැඳ, එකත්පසෙක සිටියේය. මහණෙනි, එකත්පසෙක සිටි ඒ දේවතාවා මට මෙසේ කීවාය.

’’මහණෙනි, මේ කරුණු සයක් මහණහට නොපිරිහීම පිණිස පවතිත්. ,

’’කිනම් සයක්ද යත් ? ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති බව, ධර්මයෙහි ගෞරව ඇති බව, සංඝයා කෙරෙහි ගෞරව ඇති බව, ශික්‍ෂාවන් කෙරෙහි ගෞරව ඇති බව, අප්‍රමාදයෙහි ගෞරව ඇති බව, පිළිසඳර කථාවෙහි ගෞරව ඇති බව, යන සයයි. ස්වාමීනි, මේ ධර්ම සයක් භික්‍ෂුවහට නොපිරිහීම පිණිස පවතිත්. මහණෙනි, මේ දේවතාවා මෙසේ කීවාය මෙසේ කියා මා වැඳ පැදතුණුකොට එහිම අතුරුදහන්වූයේය’’ යි වදාළසේක.

’’අප්‍රමාදයට ගරු කරණ මහණතෙම ඉදින් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගරු කරන්නේද, ධර්මයට ගරු කරයිද, සංඝයා කෙරෙහි තියුණු ගෞරව ඇත්තේද. පිළිසඳරෙහි ගෞරව ඇත්තේද, පිරිහීමට නුසුදුසුය. නිර්‍වාණය සමීපයෙහිම වේ.’’

’’මහණෙනි, රාත්‍රියෙහි එක්තරා දේවතාවෙක් රාත්‍රිය ඉක්මවා ගිය කල්හි යහපත් වර්‍ණ ඇතිව, මුළු ජේතවනාරාමය ආලෝකකොට මම යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ මා වැඳ. එකත්පසෙක හුන්නේය. මහණෙනි, එකත්පසෙක සිටි ඒ දේවතාවා මට මෙසේ කීවේය.

’’ස්වාමීනි, මේ කරුණු සයක් භික්‍ෂුහුගේ නොපිරිහීම පිණිස පවතිත්.

’’කිනම් සයක්ද යත් ? ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති බව, නවලොකොත්තර ධර්මයෙහි ගෞරව ඇති බව, සංඝයා කෙරෙහි ගෞරව ඇති බව, ශික්‍ෂාපදයන් කෙරෙහි ගෞරව ඇති බව, කීකරු බව, කල්‍යාණි මිත්‍රයන් ඇති බව යන සයයි. මහණෙනි, මේ දේවතාවා මෙය කියා මා වැඳ, ප්‍රදක්‍ෂිණාකොට එහිම අතුරුදහන් වූවාය.

’’ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයද, ධර්‍මයෙහි ගෞරවයද, සංඝයා කෙරෙහි තියුණු ගෞරවයද ඇත්තේද, ලජ්ජා, භය දෙකින් යුක්ත, ගුරු ආශ්‍රය ඇති, ගෞරව සහිතවූ ඒ භික්‍ෂු තෙම පිරිහීමට අයෝග්‍ය වේ. නිර්‍වාණයාගේ සමීපයෙහිම වේ.’’