අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

5. ධම්මික වර්‍ගය

3. දාළිද්දිය සූත්‍රය

’’මහණෙනි, ලෝකයෙහි කාම භෝගියාට දිළිඳුකම දුකකි.’’ - ’’එසේය. ස්වාමීනි.’’

’’මහණෙනි, යම් ඒ අසරණවූ දිළින්දෙක් වේ නම් ණය ගනියි. මහණෙනි, ලෝකයෙහි කාම භොගියාට ගත් ණය දීමද දුකකි. අසරණවූ දිළින්දා ණය රැගෙන පොළිය දීමට පොරොන්දු වෙයි. මහණෙනි, පොළිය දීමද මේ ලෝකයෙහි අසරණවූ දිළින්දාට දුකකි.’’ - ’’එසේය, ස්වාමීනි.’’

’’මහණෙනි, යම් ඒ අසරණවූ දිළින්දා පොළිය අසා ඔහුට දොස් පැවරුවේ නමුදු කලක් එකතුවූ පොළිය නොදෙයි. මහණෙනි, චෝදනාවද ලෝකයෙහි කාමභෝගියාට දුකකි.’’ - ’’එසේය ස්වාමීනි.’’

’’මහණෙනි, යම් ඒ අසරණවූ දිළින්දා ඔහු පසුපස ගොස් දොස් කීවේ නමුදු නොදෙයි. මහණෙනි, ණය හිමියා ඔහු පසුපස යාමද ලෝකයෙහි කාමභෝගියාට දුකකි.’’ - ’’එසේය ස්වාමීනි.’’

’’මහණෙනි, යම් ඒ අසරණ දිළින්දා පසුපස ගොස් බැන්දේ නමුදු නොදෙයි. මහණෙනි, බන්‍ධනයද ලෝකයෙහි කාමභෝගියාට දුකකි.’’ - ’’එසේය ස්වාමීනි.’’

’’මහණෙනි, එමෙන්ම යම් කිසිවෙකුට කුශල ධර්‍මයන්හි ශ්‍රද්‍ධාව නැත්තේද, කුශල ධර්‍මයන් නොකළේයයි ලජ්ජාව නැත්තේද, කුශල ධර්‍මයන් නොකළේයයි භය නැත්තේද, කුශල ධර්‍මයන්හි වීර්‍ය්‍යය නැත්තේද, කුශල ධර්‍මයන්හි ප්‍රඥාව නැත්තේද, මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි අසරණවූ දිළිඳුකමයයි කියණු ලැබේ. මහණෙනි, යම් ඒ දිළින්දා කුශල ධර්‍මයන්හි ශ්‍රද්‍ධාව නැති කල්හි, ලජ්ජා, භය, වීර්‍ය්‍ය, ප්‍රඥා, නැති කල්හි කයින් දුසිරිත් කරයි. වචනයෙන් දුසිරිත් කරයි. සිතින් දුසිරිත් කරයි. මේ ඔහුගේ ණය ගැනීමයයි කියමි.

’’හෙතෙම ඔහුගේ කාය දුශ්චරිතය වැසීමේ හේතුවෙන් පවිටු අදහස් ඇති කරයි. මා අන්‍යයෝ නොදකිත්වායි සිතයි. කයින්ද උත්සාහ කෙරෙයි. හෙතෙම තමාගේ වාග් දුශ්චරිතය වැසීමේ හේතුවෙන් පවිටු අදහස් ඇති කරයි. මා අන්‍යයෝ නොදකිත්වායි සිතයි. වචනයෙන් කියයි. කයින් උත්සාහ කරයි. මෙය ඔහුගේ පොළිය වැඩිවීම යයි කියමි. ඔහුට ප්‍රියශීලී සබ්‍රහ්මචාරීහු මෙසේ කීහ. ’මේ ආයුෂමතුන් වහන්සේ මෙසේ කරන්නේ, මෙසේ කියන්නේ වෙයි’ කියායි. මෙය ඔහුට ’දොස්කීම’ යයි කියමි. ඔහු වනයකට ගොස් හෝ රුක් මුලකට ගොස් හෝ ජනසූන්‍යස්ථානයකට ගොස් හෝ පසුතැවුන සිතින් ලාමකවූ අකුශල විතර්‍කයන්, රැස්කරයි. මේ ඔහුගේ ’’පසුපස යෑම’’ යයි කියමි. මහණෙනි, ඒ මේ දිළින්දා කයින්, වචනයෙන් හෝ සිතින් දුසිරිත් කොට කායයාගේ බිඳීමෙන් මරණින් මතු අපාය බන්‍ධනයෙන් හෝ බැඳෙයි. තිරිසන් යෝනි බන්‍ධනයෙන් හෝ බැඳෙයි. මහණෙනි, මෙසේ දරුණුවූ, මෙසේ කටුකවූ, යම් ඒ නිරය බන්‍ධනයක් හෝ තිරිසන් යෝනි බන්‍ධනයක් හෝ ඇද්ද, ඒ සමාන නිරුත්තර නිර්‍වාණය ලැබීමට අනතුරු කරන්නාවූ එකද ධර්‍මයකුත් මම නොදක්නෙමි.

’’මේ ලෝකයෙහි ධනයෙන් දිළිඳුකමද, ණය ගැනීමද දුක්යයි කියනු ලැබේ. දිළිඳුවූයේ, ණය ගෙන ඉල්ලනු ලබන්නේ වෙහෙසෙට පැමිණෙයි.’’ එහෙයින් ඔහු පසුපස්සෙහි ලුහුබඳිත්. බන්‍ධනයටද පැමිණේ. කාම ලාභය ප්‍රාන්‍ර්‍ථනා කරන්නවුන්ට බන්‍ධනයද දුකකි. එපරිද්දෙන්ම ආර්‍ය්‍ය විනයෙහි යමෙකුගේ ශ්‍රද්‍ධාව නැත්තේද. පාපයට ලජ්ජාව නැත්තේද, පාපයට භය නැත්තේද, පාප කර්‍මයෙහි විභාගයක් නැත්තේද, කයින් වචනයෙන් හෝ සිතින් දුසිරිත් කොට මා නොදනීවායි කැමතිවේද, හෙතෙම ඒ ඒ තැන්හි නැවත නැවත කයින්ද, වචනයෙන්ද, සිතින්ද පාප කර්‍මය වඩන්නේ කම්පාවේ.

’’පාප කර්ම ඇති කල්හි ඒ අඥානතෙම තමන්ගේ දුශ්චරිත දන්නේ, කුශල් නොකළ බැවින් දිළිඳුවූයේ පෙර කළාවූ අකුශල් නමැති ණය ගෙන චෝදනා කරණු ලබන්නේ වෙහෙසට පැමිණේ.

’’එහෙයින් ගමෙහි හෝ නොහොත් වනයෙහි හෝ මොහුගේ සිත් තැවුල් වශයෙන් උපන්නාවූ දුක්වූ යම් බඳු කල්පනා සිත් නමැති ණය හිමියෝ ඔහු පසු පස්සෙහි ලුහු බඳිත්.

’’පාප කර්ම ඇති ඒ අඥාන තෙම තමන්ගේ දුශ්චරිතය දන්නේ, එක්තරා තිරිසන් යෝනියකට ගොස් බැඳෙයි. නැවත නරකයෙහි හෝ බැඳෙයි.

’’යම් හෙයකින් මේ නිරය බන්‍ධනය වනාහි දුක්යයි කියනු ලැබේද, එහෙයින් නුවණැත්තාවූ පණ්ඩිත තෙම. දැහැමින් ලද්දාවූ භොගයන් දෙන්නේ සිත පහද වන්නේය. ’’ගෘහවාසයෙහි ඇත්තාවූ ශ්‍රද්ධා ඇත්වුන්ගේ මේ ආත්මයෙහි හිත පිණිසද, පරලොව සැප පිණිසද, දෙලොවෙහි ජයග්‍රහණය පිණිස මෙය හිත වේ.

’’මෙසේ ගෘහස්ථයන්ගේ ත්‍යාගයයි නම්වූ මේ පින වැඩේද. එපරිද්දෙන්ම යමෙකුගේ ශ්‍රද්‍ධාව ආර්‍ය්‍ය විනයෙහි වැඩේද, ලජ්ජාවෙන් යුක්ත සිත් ඇත්තේද, පාපය කෙරෙහි බියසුලුවූද, ප්‍රඥාවෙන් යුක්තවූද, ශීලයෙන් හික්මුණාවූද, මෙතෙම ආර්‍ය්‍ය විනයෙහි සුවසේ ජීවත් වේයයි කියනු ලැබේ.

’’නිරන්තරයෙන් සම්පූර්‍ණ වීර්‍ය්‍ය ඇතිව පඤ්ච නීවරණයන් හැර ධ්‍යාන තුන ඇසුරුකොට උපදනා සුවය ලැබ සතරවන ධ්‍යානය පිළිබඳ බලාපොරොත්තුවෙහි සිටීද, ධ්‍යාන සතරට පැමිණ එකඟ සිත් ඇත්තේද, ඥානය, සිහිය යන දෙකින් යුක්තවූයේද, මෙසේ තත්වූ පරිද්දෙන් දැන, සියලු සංයෝජනයන් ක්‍ෂය කරන්නාවූ, නිර්‍වාණයෙහි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන, මාර්ග සිත මනාකොට මිදේද, ඒ මනාකොට මිදුනාවූ රහතුන් වහන්සේගේ ඒකාන්තයෙන් සිහිකිරීමේ ඥානය ඇතිවේ.

’’මාගේ භව සංයෝජනයන් නැතිකිරීම නම්වූ නිර්‍වාණයෙහි මිදීම වෙනස් කළ නොහැකිවේ. මෙම මාර්ගඵල ඥානය වනාහි උත්තම ඥානය වේ. මෙය නිරුත්තර සුවය වේ. මෙය ශෝක නැති, රාග රජස් නැති, උපද්‍රව නැති, උතුම්වූ රාගාදී කෙලෙස් ණය නැති බව වේ.’’