අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
6. මහා වර්‍ගය
2. ආබාධික ඵග්ගුණ සූත්‍රය
එසමයෙහි වනාහි ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ හටගත් ආබාධ ඇත්තේ, දුක්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නාහ. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
’’ස්වාමීනි, ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ, හටගත් ආබාධ ඇත්තේ, දුක්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ, යම් තැනකද, එතැනට පැමිණෙන සේක්වා.’’ භාග්‍යවතුන් වහන්සේ කිසිවක් නොවැදෑරීමෙන් එය ඉවසූ සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගිටි සේක් ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ, යම් තැනකද එතැන්හි එළඹි සේක. භාග්‍යවතුන් වහන්සේ වඩින බව දුරදීම ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ, දැක්කේමය. දැක ඇඳෙන් නැගිටින ආකාරයක් දැක්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළහ.,
’’ඵග්ගුණය, ඔබ ඇඳෙන් නැගිටීම යුතු නැත. කලින් පැනවූ මේ ආසනයෝ ඇත්තාහ. මම එහි හිඳගන්නෙමි.’’ පැනවූ අස්නෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සේක. වැඩ හිඳ, ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළහ. ’’ඔබ රුචි කරණ දේ මොනවාද? යැපියයුතු දේ කිමෙක්ද? දුක් වේදනාවෝ අඩුවෙමින් පවතිත්ද? වැඩි වෙමින් පවතිත්ද? අඩුවෙන බවක් පෙනේද? වැඩිවෙන බවක් පෙනේද?’’,
’’ස්වාමීනි, කිසිවක් රුචි නොවේ. යැපියයුතු කිසිවක් (වුවමනා) නොවේ. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙමින් පවතිත්. අඩුවෙමින් නොපවතිත්. වැඩිවන බව පෙනේ. අඩුවන බව නොපෙනේ. ස්වාමීනි, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු උලකින් හිස කළඹාද, එමෙන්ම ස්වාමීනි, බලවත් වාතයෝ මාගේ හිසට පීඩා කරත්.
’’ස්වාමීනි, මට රුචි දෙයක් නැත. යැපියයුතු කිසිවක් (වුවමනා) නොවේ. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙමින් පවතිත්. අඩුවෙමින් නොපවතිත්. වැඩිවන බව පෙනේ. අඩුවන බව නොපෙනේ. ස්වාමීනි, යම්සේ බලවත් පුරුෂයෙක් දැඩිවූ වරපටකින් හිස වෙලන්නේද, ස්වාමීනි, එමෙන්ම මාගේ හිසෙහි දැඩිවූ හිසරදය පවතියි.
’’ස්වාමීනි, මට රුචි දෙයක් නැත. යැපියයුතු කිසිවක් (වුවමනා) නොවේ. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙමින් පවතිත්. අඩුවෙමින් නොපවතිත්. වැඩිවන බව පෙනේ. අඩුවන බව නොපෙනේ. ස්වාමීනි, යම්සේ දක්‍ෂවූ ගවයන් මරන්නෙක් හෝ ඔහුගේ අතවැස්සෙක් හෝ තියුණු පිහියකින් බඩ කපන්නේද, එපරිද්දෙන්ම ස්වාමීනි, බලවත් වාතයෝ මාගේ කුසට වේදනා දෙත්.
’’ස්වාමීනි, මට රුචි දෙයක් නැත. යැපියයුතු කිසිවක් (වුවමනා) නොවේ. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙමින් පවතිත්. අඩුවෙමින් නොපවතිත්. වැඩිවන බව පෙනේ. අඩුවන බව නොපෙනේ. ස්වාමීනි, යම්සේ බලවත් පුරුෂයෝ ඉතා දුර්වල පුරුෂයකු අත්වලින් අල්ලා ගිනි අඟුරු වලක රත් කරවත්ද, එපරිද්දෙන්ම ස්වාමීනි, මාගේ ශරීරයෙහි බලවත් දැවිල්ලක් වෙයි. ස්වාමීනි, මට රුචි දෙයක් නැත.
ඉක්බිති ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේට දැහැමි කථාවන් දක්වා, සමාදන් කරවා, තෙද ගන්වා, සතුටු කරවා අස්නෙන් නැගිට වැඩි සේක. ඉක්බිති ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩමවා ටික වේලාවකින් කාලක්‍රියා කළහ.
උන්වහන්සේගේ මරණාවස්ථාවෙහි ඉන්‍ද්‍රියයෝ මනාසේ දැකුම්කලුව තිබුනාහ. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත් පසෙක සිටියාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
’’ස්වාමීනි, ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩමවා ටික වේලාවකින්ම කාලක්‍රියා කළහ. උන්වහන්සේගේ මරණාවස්ථාවෙහි ඉන්‍ද්‍රියයෝ දැකුම්කලුව තිබුනාහ.’’
’’කිමෙක්ද? ආනන්‍දය, ඵග්ගුණ ස්ථවිරයන්ගේ ඉන්‍ද්‍රියයෝ පැහැදී නොතිබෙද්ද? ආනන්‍දය, ඵග්ගුණ භික්‍ෂුවගේ පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදුනේය. ඔහුට ඒ ධර්‍ම දේශනාව අසා පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදුනේය.
’’ආනන්‍දය, සුදුසු කාලයෙහි බණ ඇසීමෙහි, සුදුසු කාලයෙහි අර්ත්‍ථ පරීක්‍ෂා කිරීමෙහි මේ අනුසස් සයෙකි. ඒ කවරහුද? ආනන්‍දය, මේ ශාසනයෙහි භික්‍ෂුවට පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. හෙතෙම මරණ කාලයේ තථාගතයන් වහන්සේගේ දර්‍ශනය ලබයි. ඔහුට තථාගතයන් වහන්සේ ධර්‍මය දේශනා කරයි. මුල යහපත්, මැද යහපත්, කෙළවර යහපත්, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ල සම්පූර්‍ණවූ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි. ඒ ධර්මදේශනාව අසා, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. ආනන්‍දය, සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණයේ මේ ප්‍රථම ආනිශංසයයි.
’’ආනන්‍දය, නැවතද, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් භික්‍ෂුවගේ සිත මිදුනේ වේද, ඔහු මැරෙණ කාලයෙහි තථාගතයන් වහන්සේගේ දර්‍ශනය නොලැබුවේද, එසේ නමුදු තථාගත ශ්‍රාවකයෙකු දක්නට ලැබෙයි. ඔහුට තථාගත ශ්‍රාවක තෙම ධර්මදේශනා කරයි. මුල යහපත්, මැද යහපත්, කෙළවර යහපත්, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ල සම්පූර්‍ණවූ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි. ඒ ධර්මදේශනාව අසා, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. ආනන්‍දය, සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණයේ මේ දෙවන ආනිශංසයයි.
’’ආනන්‍දය, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් භික්‍ෂුවගේ සිත මිදුනේ වේද, ඔහු මැරෙණ කාලයෙහි තථාගත දර්‍ශනය නොලැබේද, තථාගත ශ්‍රාවක දර්‍ශනය නොලබාද, එසේ නමුදු ඇසූ පරිදි, දැරූ පරිදි. ධර්මය සිතින් කල්පනා කරයි. විචාරයි. සිතින් ඒ අනුව බලයි. පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. ආනන්‍දය, මේ සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණය කිරීමේ, අර්ත්‍ථයන් සිහිකිරීමේ තුන්වන ආනිශංසයයි.
’’ආනන්‍දය, මේ ශාසනයෙහි පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් භික්‍ෂුවගේ සිත මිදුනේ වේද, නිරුත්තරවූ, නැවත නැවත ඉපදීමේ සිත මිදුනේ වේ. හෙතෙම මැරෙණ කාලයෙහි තථාගත දර්‍ශනය ලැබේද, ඔහුට තථාගතයන් වහන්සේ ධර්මදේශනා කරයි. මුල යහපත්, මැද යහපත්, කෙළවර යහපත්, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ල සම්පූර්‍ණවූ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි. ඒ ධර්මදේශනාව අසා, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. ඔහුට ඒ ධර්මදේශනාව අසා නිරුත්තරවූ, නැවත නැවත ඉපදීමේ සිත මිදෙයි. ආනන්‍දය, සුදුසු කාලයෙහි බණ ඇසීමේ මේ සතරවන ආනිශංසයයි.
’’ආනන්‍දය, නැවතද, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් භික්‍ෂුවගේ සිත මිදෙයි, නිරුත්තරවූ, නැවත නැවත ඉපදීමේ සිත මිදුනාවූ හෙතෙම මැරෙණ කාලයෙහි තථාගත දර්‍ශනය නොලබයිද, එසේ නමුදු තථාගත ශ්‍රාවකයකුගේ දර්‍ශනය ලැබෙයි. එහුට තතාගත ශ්‍රාවකතෙම ධර්මය දේශනා කරයි. මුල යහපත්, මැද යහපත්, කෙළවර යහපත්, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ල සම්පූර්‍ණවූ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි. ඒ ධර්මදේශනාව අසා, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. ඒ ධර්‍මය අසා ඔහුගේ සිත නිරුත්තරවූ නැවත නැවත ඉපදීමෙන් මිදෙයි. ආනන්‍දය, මේ සුදුසු කාලයෙහි බණ ඇසීමේ පස්වන ආනිශංසයයි.
’’නැවතද ආනන්‍දය, භික්‍ෂුවගේ සිත පස්වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. නිරුත්තරවූ, නැවත නැවත ඉපදීමේ සිත මිදුනේ වෙයි. ඔහු මැරෙණ කාලයෙහි තථාගත දර්‍ශනය නොලැබේද, තථාගත ශ්‍රාවක දර්‍ශනය නොලබාද, එසේ නමුදු ඇසූ පරිදි, දැරූ පරිදි. ධර්මය සිතින් කල්පනා කරයි. විචාරයි. සිතින් ඒ අනුව බලයි. ඔහු ඇසු පරිදි, දැරූ පරිදි, ධර්මය සිතින් කල්පනා කරන්නේ විචාරන්නේ ඒ පිළිබඳව සිත යොදවන්නේ, නිරුත්තරවූ, නැවත නැවත ඉපදීමෙහි සිත මිදෙයි. ආනන්‍දය, සුදුසු කාලයෙහි බණ ඇසීමෙහි, අර්ත්‍ථ පරීක්‍ෂා කිරීමෙහි මේ ආනිශංසයෝ සදෙන වෙති.’’