අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

6. මහා වර්‍ගය

6. චිත්තහත්‍ථි සාරීපුත්ත සූත්‍රය

’’මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර මෘගයන්ට අභය දුන් ඉසිපතනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි බොහෝ ස්ථවිර භික්‍ෂුහු සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනාහු, කවාකාර මලුවෙහි රැස්වූවාහු අභිධර්ම කථා කියමින් හුන්නාහුය. එකල්හි වනාහි, හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍ර තෙමේ අභිධර්ම කථා කරණ ස්ථවිර භික්‍ෂූන් අතර අතුරු කථා පටන් ගනියි.

ඉක්බිති ආයුෂමත් මහා කොට්ඨිත ස්ථවිර තෙමේ, හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍රට, ’’ හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍රයෙනි, අභිධර්‍ම කථා කියන ස්ථවිර භික්‍ෂූන් අතර අතුරු කථා නොකරව. ආයුෂ්මත් චිත්‍ර තෙමේ කථාව අවසානය දක්වා ප්‍රමාදවන සේක්වා’’ යි කීයේය. මෙසේ කී කල්හි හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍රගේ යහළු භික්‍ෂූහු, ආයුෂ්මත් මහා කොට්ඨිතට, ’’ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්ස, හස්තිසාරි පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍ර තෙරුන් පිට නොකරව. හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍ර තෙමේ පණ්ඩිතය. හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍ර තෙමේ ස්ථවිර භික්‍ෂූන්ට අභිධර්‍ම කථා කීමට සමර්ත්‍ථය’’ යි කීවාහුය.

’’ඇවැත්නි, සිතේ ක්‍රමය නොදන්නවුන්ට අනුන්ගේ සිත දැනගැනීමට නොහැක. ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම්තාක් ශාස්තෲන් වහන්සේ හෝ අනික් ගරු කටයුතු ස්ථවිර කෙනෙක් ඇසුරුකොට වාසය කරයිද, ඒතාක් අතිශයින් කීකරුවේ. අතිශයින් උඩඟු නොවූයේ වේ. අතිශයින් ශාන්තවූයේ වේ. යම් අවස්ථාවක සිට ශාස්තෲන් වහන්සේගෙන් හෝ ගරු කටයුතු සමාන සිල් රකින්නන්ගෙන් ඈත්වේද, හෙතෙම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.

’’ඇවැත්නි, යම් සේ ගොයම් කෑ ගොනෙක් යම් සේ දම්වැලකින් බඳනා ලද්දේ, ගාලෙහි හෝ සිර කරණු ලැබුවේද, ඇවැත්නි, යම් කෙනෙක් ’මේ ගව තෙම දැන් ගොයම් නොකන්නේය. නැවත ගොයමට නොබසින්නේය’ යි මෙසේ කියන්නේය. ඇවැත්නි, හෙතෙම මනාකොට කියන්නේද? ඇවැත්නි, නැත. යම් හෙයකින් ඒ ගොයම් කන ගොනා දම්වැල හෝ කඩා, ගාල නොබිඳ, නැවත ගොයමට බසින්නේය. යන මේ කාරණය විද්‍යමාන වේ.

’’ඇවැත්නි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම්තාක් ශාස්තෲන් වහන්සේ හෝ ගරුකටයුතු අන් කෙනෙක් ඇසුරුකොට වාසය කරයිද, ඒ තාක් අතිශයින් කිකරු වේ. අතිශයින් උඩඟු නොවූයේ වේ. අතිශයින් ශාන්තවූයේ වේ.

යම් අවස්ථාවක සිට ශාස්තෲන් වහන්සේගෙන් හෝ ගරු කටයුතු සමාන සිල් රකින්නන්ගෙන් ඈත්වේද, හෙතෙම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.

’’ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම ප්‍රථම ධ්‍යානය ලැබුයේ වෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.

’’ඇවැත්නි, යම් සේ සතර මං සන්ධියෙක්හි මහ වැහි බින්දු ඇති වර්ෂාවක් වසින්නේ, ධූලි නැති කරන්නේද, මඩ උපදවන්නේද, ඇවැත්නි, යමෙක් දැන් මේ සතර මං සන්ධියෙහි නැවත ධූලි ඇති නොවන්නේයයි මෙසේ කියන්නේය. ඇවැත්නි, හෙතෙම යටපත්කොට කිවන්නෙක්වී කියන්නේද? ඇවැත්නි, නැත. ඇවැත්නි, මේ සතර දං සන්ධියෙහි මනුෂ්‍යයන් හෝ යන්නාහුද, ගවයන් හෝ සත්ත්‍වයන් යන්නේ නම්, අව්ව හා වාතය තෙතමන ගන්නේ නම්, නැවත ධූලි පහළවන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම ප්‍රථම ධ්‍යානය ලැබුයේ වෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.

’’ ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්‍ක නැති, විවාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද. හෙතෙම දෙවෙනි ධ්‍යානය ලැබුයේ වෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.

’’ඇවැත්නි, ගමට හෝ නියම්ගමට හෝ නුදුරෙහිවූ මහත් විලක් යම් සේද, එහි වසින්නාවූ ලොකු දිය බින්දු ඇති වර්ෂාව සිප්පි බෙල්ලන් හා සක් බෙල්ලන්ද, කැට කැබිලිතිද අතුරුදහන් කරන්නේය. ඇවැත්නි යම් කෙනෙක්, ’දැන් මේ විලෙහි නැවත සිප්පි බෙල්ලන් හා සක් බෙල්ලන්ද, කැට කැබිලිතිද පහළ නොවන්නේය’ යි මෙසේ කියන්නේය. ඇවැත්නි, හෙතෙම මනාකොට කියන්නේද? ඇවැත්නි නැත. මේ විලෙහි මිනිසුන් හෝ වතුර බොන්නාහුද, ගවයන් හෝ තිරිසනුන් ජලය බොන්නාහු නම්, වාතය හා අව්ව තෙතමන ගන්නේද, නැවත ඊට පසු සිප්පි බෙල්ලන් හා සක් බෙල්ලන්ද, කැට කැබිලිතිද පහළවන්නේයයි යන මේ කරුණ විද්‍යමාන වේ.

’’ ඇවැත්නි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්‍ක නැති, විවාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද. හෙතෙම දෙවෙනි ධ්‍යානය ලැබුයේ වෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.

’’ ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ප්‍රීතිය පහවීමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපයක් විඳී. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයෙකැයි ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, හෙතෙම ’මම තෘතීය ධ්‍යානයට පැමිණියෙමි’ යි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි. ඇවැත්නි, යම් සේ ප්‍රණීත භෝජනයක් වැළඳු පුරුෂයෙක්, ’ඊයේ සවස බොජුනට රුචි නොවන්නේද. ඇවැත්නි, යමෙක් අසවල් පුරුෂ තෙමේ නැවත භෝජනය කැමති නොවන්නේය’ යි මෙසේ කියන්නේය. ඇවැත්නි, හෙතෙම යහපත්කොට කියන වදනක්ද? ඇවැත්නි, නැත. ඇවැත්නි, මේ කරුණ විද්‍යමානවේ. ප්‍රණීත බොජුන් වැළඳු මේ පුරුෂයා යම්තාක් ඒ ඕජාව ශරීරයෙහි සිටීද, ඒතාක් අන් බොජුනක් රුචි නොවන්නේය. යම් කලක පටන් ඔහුට ඒ ඕජාව අතුරුදහන් වේද, නැවත ඒ භෝජනය රුචි වන්නේය. ඇවැත්නි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ප්‍රීතිය පහවීමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපයක් විඳී. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයෙකැයි ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, හෙතෙම තෘතීය ධ්‍යානය ලැබුවෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.

’’ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, සොම්නස්, දොම්නස් දෙක අස්තවීමට පෙරම, දුක් නැති, සැප නැති, උපේක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම සතරවෙනි ධ්‍යානය ලැබුයේ වෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.

’’ඇවැත්නි, පර්වත වංගුවෙක්හි වාතය නොහමන. පහවූ රැල ඇති, දිය විලක් වේද, ඇවැත්නි, යමෙක් මෙසේ කියන්නේය. ’දැන් මේ දිය විලෙහි නැවත රැල පහල නොවන්නේය’ යි මෙසේ කියන්නේය. ඇවැත්නි, හෙතෙම යහපත්කොට කියන්නේද? ඇවැත්නි, නැත. ඇවැත්නි, පෙරදිගින් මහත් වාතයක් සහිත වැස්සක් එන්නේය. ඕ ඒ දිය විලෙහි රැල ඇති කරන්නේය. බටහිර දිශාවෙන් මහත් වාතයක් සමග වැස්සක් එන්නේය. ඕ තොමෝ ඒ දිය විලෙහි රැල ඇති කරන්නේය. උතුරු දිගින් මහත් වාතයක් සහිත වැස්සක් එන්නේය. ඕ තොමෝ ඒ දිය විලෙහි රැල ඇති කරන්නේය. දකුණු දිගින් මහත් වාතයක් සහිත වැස්සක් එන්නේය. ඕ තොමෝ ඒ දිය විලෙහි රැල ඇති කරන්නේය.

’’ඇවැත්නි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සැප ප්‍රහාණ කිරීමෙන්ද, දුක් ප්‍රහාණ කිරීමෙන්ද, සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, සොම්නස්, දොම්නස් දෙක අස්තවීමට පෙරම, දුක් නැති, සැප නැති, උපේක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, හෙතෙම සතරවෙනි ධ්‍යානය ලැබුයේ වෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.

’’ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් රාගාදී නිමිති රහිත චිත්ත සමාධියට පැමිණ වාසය කරයි. හෙතෙම ’රාගාදී නිමිති රහිත චිත්ත සමාධිය ලදිමි’ යි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.

’’ඇවැත්නි, යම්සේ රජෙක් හෝ රජමහ ඇමතියෙක් හෝ සිවුරඟ සෙනග සමග මහා මාර්‍ගයට පිළිපන්නේ එක්තරා වන ලැහැබෙක්හි එක් රැයක් විසීමට පැමිණෙන්නේය. එහි ඇතුන්ගේ ශබ්දයෙන්, අසුන්ගේ ශබ්දයෙන්, රථ ශබ්දයෙන්, පාබල සෙනගේ ශබ්දයෙන්, ගැට බෙර, මිහිඟු බෙර සක් හඬින්, රැහැයි හඬ යටපත් වේ. ඇවැත්නි, යමෙක් ’දැන් මේ වන ලැහැබෙයි නැවත රැහැයි හඬ පහල නොවන්නේය’ යි මෙසේ කියන්නේය. ඇවැත්නි, හෙතෙම මනාකොට කියන්නේද? ඇවැත්නි, නැත. ඇවැත්නි, ඒ රජ තෙමේ හෝ, රජ මහ ඇමතියා හෝ ඒ වන ලැහැබෙන් යන්නේද, නැවත ඒ රැහැයි හඬ පහළ වන්නේය යන මේ කරුණ විද්‍යමාන වේ.

’’ඇවැත්නි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් රාගාදී නිමිති රහිත චිත්ත සමාධියට පැමිණ වාසය කරත්ද, හෙතෙම, ’අනිමිත්ත චිත්ත සමාධිය ලැබුවෙමි’ යි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.

ඉක්බිති හස්තිසාරියගේ පුත්‍රවූ ආයුෂ්මත් චිත්‍ර තෙමේ මෑත කාලයක ශික්‍ෂා අතහැර ගිහි වූයේය. ඉක්බිති, හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍රගේ යහළු භික්‍ෂූහු. ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන් යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් මහා කොට්ඨිතට, ’’කිමෙක්ද? ආයුෂ්මත් මහා කොට්ඨිත විසින් හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍රගේ සිත තම සිතින් දැනගන්නා ලද්දේද? හස්තිසාරියගේ පුත්‍ර චිත්‍රතෙමේ මේ සමාපත්තිවලට පැමිණියේය. නැවත ශික්‍ෂා අත්හැර ගිහිවන්නේදැයි දන්නේද, නොහොත් හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍රතෙමේ මේ මේ සමාපත්ති ලැබුවෙකි. නැවතද ශික්‍ෂා අත්හැර ගිහි වන්නේයයි දේවතාවෙක් මේ කාරණය කීවාහුද?’’ ’’ඇවැත්නි, හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍රතෙමේ මේ මේ සමාපත්ති ලැබුවෙකි. නමුත් ශික්‍ෂා අත්හැර ගිහි වන්නේයයි මා විසින් මගේ සිතින් ඔහුගේ සිත දැනගත්තෙමි’’

’’ස්වාමීනි, හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍ර තෙමේ මේ මේ සමාපත්ති ලැබුවෙකි. නමුත් ශික්‍ෂා අත්හැර ගිහි වන්නේයයි මේ කාරණය දේවතාවෙකු විසින්ද කියන ලදී.’’

ඉක්බිති, හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍රගේ යහළු භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට, ’’හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍ර තෙමේ මේ මේ සමාපත්ති ලැබූවෙකි. නමුත් ශික්‍ෂා අතහැර ගිහිවූයේය’’ යි කීවාහුය.

’’මහණෙනි, චිත්‍ර තෙමේ නෛෂ්ක්‍රම්‍යය බොහෝ කල් සිහි නොකරන්නේය.’’ නැවත හස්තිසාරියගේ පුත්‍ර චිත්‍රතෙමේ නොබෝ කලකින්ම හිසතේ රැවුල් බහා කහ වස්ත්‍ර හැඳ, ගිහිගෙන් නික්ම, අනගාරික ශාසනයෙහි පැවිදිවිය.

’’ඉක්බිති, හස්තිසාරියගේ පුත්‍ර චිත්‍ර තෙමේ හුදකලාවූයේ (මෙහි අඞ්ගුත්තර නිකායේ, තික නිපාතයේ, 3 පණ්ණාසකයේ, 28 සූත්‍රයේ, 5 ඡේදයේ, ’තනිව’ යන වචනයේ සිටද, 6 ඡේදයද යෙදිය යුතුයි.)