අඞ්ගුත්තරනිකායො
සත්තක නිපාතය
පඨමපණ්ණාසකං
3. වජ්ජිසත්තක වර්‍ගය
2. වජ්ජිඅපරිහානිය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජිකුළු පව්වෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි විදේහරට දේවියගේ පුත්‍රවූ අජාසත් නම් මගධ රජතෙම වජ්ජින්ට විරුද්ධව යුද්‍ධයට යන්නට කැමතිවූයේ වෙයි. හෙතෙම මෙසේ පැවසීය.
’’මෙසේ මහර්ධිය ඇති, මහානුභාව ඇති වජ්ජින් මම විනාශ කරන්නෙමි. සිඳ දමන්නෙමි. මුලිනුපුටන්නෙමි. වජ්ජින්ට ව්‍යසන, විපත්ති පමුණුවන්නෙමි’’ යනුයි.
ඉක්බිති අජාසත් මගධ රජතෙම මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා ඇමතුවේය. ’බ්‍රාහ්මණය, තෝ මෙසේ එව. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණෙව, එසේ පැමිණ මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳුව. නීරෝගීබව, ආබාධ නැති බව, අඩුපාඩු, සැප විහරණ විචාරව. ’ස්වාමීනි, විදේහ රට වැසි දේවියගේ පුත් අජාසත් නම් මගධ රජ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳියි. නීරෝගී බව, ආබාධ නැති බව, අඩුපාඩු, සැප විහරණයන් විචාරන්නේය’ යනුයි. මෙසේද කියව. ’ස්වාමීනි, අජාසත් රජතෙම වජ්ජින්ට විරුද්ධව යුද්‍ධයට යනු කැමැත්තේ හෙතෙම මෙසේ කීය. ’’මෙසේ මහර්ධිය ඇති, මහානුභාව ඇති වජ්ජින් මම විනාශ කරන්නෙමි. සිඳ දමන්නෙමි. මුලිනුපුටන්නෙමි. වජ්ජින්ට ව්‍යසන, විපත්ති පමුණුවන්නෙමි’’ යනුයි.
’යම් සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරත්ද, එය මනාව ඉගෙණ (අවුත්) මට දන්වව. තථාගතයන් වහන්සේ සිදු නොවන්නක් දේශනා නොකරයි.’ යනුයි.
’’එසේය ස්වාමීනි’ යි මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා අජාසත් රජුට පිළිවදන් දී අස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතු, සිහි කටයුතු පිළිසඳර කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය.
’’භවත් ගෞතමයන් වහන්ස, විදේහරට වැසි දේවියගේ පුත් අජාසත් නම් මගධ රජ තෙම භවත් ගෞතමයන් වහන්සේගේ පාදයන් හිසින් වඳියි. ’සුළු ආබාධ, සුළු අසනීප, අඩුපාඩු, සැප විහරණ විචාරයි.’ මෙසේද කියයි. ’’භවත් ගෞතමයන් වහන්ස, වජ්ජින්ට විරුද්ධව යුද්‍ධයට යනු කැමැත්තේ හෙතෙම මෙසේ කීයේය. ’’මෙසේ මහර්ධිය ඇති, මහානුභාව ඇති වජ්ජින් මම විනාශ කරන්නෙමි. සිඳ දමන්නෙමි. මුලිනුපුටන්නෙමි. වජ්ජින්ට ව්‍යසන, විපත්ති පමුණුවන්නෙමි’’ යනුයි.
’’එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ පිටුපසින්, භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටියේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඇමතූසේක.
’’කිමෙක්ද? ආනන්‍දය, වජ්ජීහු නිතර එක්රැස් වූවාහු එක්රැස්වීම බහුලකොට ඇත්තාහුදැයි අසන ලද්දේද?’’ යනුයි.
’’ස්වාමීනි, වජ්ජීහු නිතර එක්රැස් වූවාහු එක්රැස්වීම බහුලකොට ඇත්තාහුයයි අසන ලදී’’ ’’ ආනන්‍දය, වජ්ජීහු රැස්වීම බහුලකොට ඇත්තාහු, නිතර රැස්වූවෝ වන්නාහුද වජ්ජීන්ගේ අභිවෘද්ධිය කැමතිවිය යුතුය.
’’ කිමෙක්ද? ආනන්‍දය, වජ්ජීහු සමගිව රැස්වෙද්ද, සමගිව නැගිටිත්ද, සමගිව කටයුතු දේ කෙරේදැයි අසන ලද්දේද?’’ යනුයි. ’’ස්වාමීනි, වජ්ජීහු සමගිව රැස්වෙත්ද, සමගිව නැගිටිත්ද, සමගිව කටයුතු කෙරෙත්දැයි අසනලදී.’’ ’’ආනන්‍දය, වජ්ජීහු සමගිව රැස්වෙත්ද, සමගිව නැගිටිත්ද, සමගිව කටයුතු කෙරෙත්ද, වජ්ජීන්ගේ අභිවෘද්ධිය කැමති විය යුතුය
’’ කිමෙක්ද? ආනන්‍දය, වජ්ජීහු නොපැනවූවක් නොපණවද්ද, පැනවූදේ නොසිඳිද්ද, යම්සේ පනවන ලද පුරාණ වජ්ජි ධර්‍මයන් සමාදන්ව වෙසේදැයි අසන ලද්දේද?’’ යනුයි. ’’ස්වාමීනි, වජ්ජීහු නොපැනවූවක් නොපණවත්, පැනවූදේ නොසිඳිත්, යම්සේ පනවන ලද පුරාණ වජ්ජි ධර්‍මයන් සමාදන්ව වෙසෙත්යයි අසන ලදී.’’ ’’ආනන්‍දය, වජ්ජීහු නොපැණවූවක් නොපණවද්ද, පැනවූදේ නොසිඳිද්ද, යම්සේ පනවන ලද පුරාණ වජ්ජි ධර්‍මයන් සමාදන්ව වෙසෙද්ද, වජ්ජීන්ගේ අභිවෘද්ධිය කැමතිවිය යුතුයි.
’’කිමෙක්ද? ආනන්‍දය, වජ්ජීහු වජ්ජීන්ගේ යම් ඒ මහල්ලෝ ඇද්ද, ඔවුන්ට සත්කාර කෙරෙත්ද, ගරුකාර කෙරෙත්ද, බහුමාන කෙරෙත්ද, පුදත්ද, ඔවුන්ගේද ඇසිය යුත්තක් ඇතැයි සිතත්දැයි අසන ලද්දේද?’’ යනුයි. ’’ස්වාමීනි, වජ්ජීහු වජ්ජීන්ගේ යම් ඒ මහල්ලෝ ඇද්ද, ඔවුන්ට සත්කාර කෙරෙත්, ගරුකාර කෙරෙත්, බහුමාන කෙරෙත්, පුදත්, ඔවුන්ගේද ඇසිය යුත්තක් ඇතැයි සිතත්යයි අසන ලදී.’’ ’’ආනන්‍දය, වජ්ජීහු වජ්ජීන්ගේ යම් ඒ මහල්ලෝ ඇද්ද, ඔවුන්ට සත්කාර කෙරෙද්ද, ගරුකාර කෙරෙද්ද, බහුමාන කෙරෙද්ද, පුදද්ද, ඔවුන්ගේද ඇසිය යුත්තක් ඇතැයි සිතද්ද, වජ්ජීන්ගේ අභිවෘද්ධිය කැමතිවිය යුතුයි.
’’කිමෙක්ද? ආනන්‍දය, වජ්ජීහු යම් ඒ කුලස්ත්‍රීහු කුලකුමාරීහු ඇද්ද, ඔවුන් හිංසාකොට බලහත්කාරයෙන් ගෙන වාසය නොකරවද්දැයි අසනලද්දේද?’’ යනුයි. ’’ස්වාමීනි, වජ්ජීහු යම් ඒ කුලස්ත්‍රීහු කුලකුමාරීහු ඇද්ද, ඔවුන් හිංසාකොට බලහත්කාරයෙන් ගෙන වාසය නොකරවතියි අසන ලදී.’’ ’’ආනන්‍දය, වජ්ජීහු යම් ඒ කුලස්ත්‍රීහු කුලකුමාරීහු ඇද්ද, ඔවුන් හිංසාකොට බලහත්කාරයෙන් ගෙන වාසය නොකරවත්ද වජ්ජීන්ගේ අභිවෘද්ධිය කැමතිවිය යුතුයි.
’’කිමෙක්ද? ආනන්‍දය, වජ්ජීහු ඔවුන්ගේ යම් ඒ අභ්‍යන්තරවූද, බාහිරවූද, වජ්ජිචෛත්‍යයෝ ඇද්ද, ඒවාට සත්කාර කෙරෙද්ද, ගරුකාර කෙරෙද්ද, බහුමාන කෙරෙද්ද, පුදද්ද, ඒවාට පෙර දුන්, පෙර කළ, පුද.නොපිරිහෙළද්දැයි අසන ලද්දේද,’’ යනුයි. ’’ස්වාමීනි, වජ්ජීහු ඔවුන්ගේ යම් ඒ අභ්‍යන්තරවූද, බාහිරවූද, වජ්ජිචෛත්‍යයෝ ඇද්ද, ඒවාට සත්කාර කෙරෙත්, ගරුකාර කෙරෙත්, බහුමාන කෙරෙත්, පුදත්, ඒවාට පෙර දුන්, පෙර කළ, පුද.නොපිරිහෙලත්යයි අසන ලදී.’’ ’’ආනන්‍දය, වජ්ජීහු ඔවුන්ගේ යම් ඒ අභ්‍යන්තරවූද, බාහිරවූද, වජ්ජිචෛත්‍යයෝ ඇද්ද, ඒවාට සත්කාර කෙරෙද්ද, ගරුකාර කෙරෙද්ද, බහුමාන කෙරෙද්ද, පුදද්ද, ඒවාට පෙර දුන්, පෙර කළ, පුද.නොපිරිහෙළද්ද, වජ්ජීන්ගේ අභිවෘද්ධිය කැමැතිවිය යුතුය.
’’කිමෙක්ද? ආනන්‍දය, වජ්ජීහු වජ්ජින්ගේ රහතුන් වහන්සේලා කෙරෙහි කවර හෙයකින් නොපැමිණි රහත්හු විජිතයට පැමිණියාහුද, පැමිණි රහත්හු විජිතයෙහි පහසුවෙන් වාසය කරන්නාහුදැයි ධාර්මික ආරක්‍ෂාව මනාකොට පිහිටුවන ලද්දේදැයි අසනලද්දේද?’’ යනුයි. ’’ස්වාමීනි, වජ්ජීහු වජ්ජින්ගේ රහතුන් වහන්සේලා කෙරෙහි කවර හෙයකින් නොපැමිණි රහත්හු විජිතයට පැමිණියාහුද, පැමිණි රහත්හු විජිතයෙහි පහසුවෙන් වාසය කරන්නාහුය. ධාර්මික ආරක්‍ෂාව මනාකොට පිහිටුවන ලද්දේයයි අසන ලදී.’’ ’’ආනන්‍දය, වජ්ජීහු වජ්ජින්ගේ රහතුන් වහන්සේලා කෙරෙහි කවර හෙයකින් නොපැමිණි රහත්හු විජිතයට පැමිණියාහුද, පැමිණි රහත්හු විජිතයෙහි පහසුවෙන් වාසය කරන්නාහුදැයි ධාර්මික ආරක්‍ෂාව මනාකොට පිහිටුවන ලද්දේ වේද, වජ්ජීන්ගේ අභිවෘද්ධිය කැමතිවිය යුතුයි. පිරිහීමක් නොවේ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා ඇමතූ සේක. ’බ්‍රාහ්මණය, මම එක්තරා කාලයක විශාලා නුවර ආසන්නයෙහි වූ සාරන්දද නම් චෛත්‍ය ස්ථානයෙහි විසීමි. එහිදී මම වජ්ජීන්ට මේ අපරිහානිය ධර්මයන් දේශනා කළෙමි. බ්‍රාහ්මණය යම්තාක් මේ සප්ත අපරිහානිය ධර්මයෝ වජ්ජීන් කෙරෙහි පිහිටත්ද, මේ අපරිහානිය ධර්‍මයන් කෙරෙහි වජ්ජීහු ගරුකොට සලකද්ද, බ්‍රාහ්මණය, වජ්ජීන්ගේ අභිවෘද්ධිය කැමති විය යුතුය. පිරිහීමක් නොවේ.’’
’’මෙසේ දේශනාකළ කල්හි මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය. ’’භවත් ගෞතමයන් වහන්ස, එකක් නමුදු මේ අපරිහානිය ධර්‍මයකින් යුක්තවූ වජ්ජීන්ගේ අභිවෘද්‍ධියම බලාපොරොත්තු විය යුතුය. පිරිහීමක් නොවේ. අපරිහානිය ධර්ම සතින්ම යුක්ත නම් කියනුම කවරේද? භවත් ගෞතමයන් වහන්ස, විදේහ දේවියගේ පුත්‍රවූ අජාසත් නම් මගධ රජු විසින් චාටු බස් කියා පෙළඹවීමෙන් හෝ ඔවුනොවුන් බිඳවීමකින් හෝ මිස වජ්ජීන් සමග යුද නොකට යුතුය. භවත් ගෞතමයන් වහන්ස, දැන් අපි යන්නෙමු. බොහෝ වැඩ, බොහෝ කටයුතු දේ ඇත.’’
’’බ්‍රාහ්මණය, ඔබ දැන් කාලය දැනගත්තෙහිය.’’ ඉක්බිති මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිට ගියේය.’’