අඞ්ගුත්තරනිකායො

සත්තක නිපාතය

පඨමපණ්ණාසකං

4. දේවතා වර්‍ගය

8. දුතියපටිසම්භිදාසුත්තං

’’කරුණු සතකින් යුත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සිවුපිළිසිඹියා තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි.

’’කවර සතකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය මාගේ සිතේ මැලිබවයයි තත්වූ පරිදි දනියි. ආධ්‍යාත්මිකවූ, සංක්‍ෂිප්ත (හැකුළුණ) සිත මාගේ සංක්‍ෂිප්ත (හැකුළුණ) සිතයයි මනාකොට දනියි. බාහ්‍යවූ වික්‍ෂිප්ත (විසිරුණු) සිත බාහ්‍යවූ මාගේ වික්‍ෂිප්ත (විසිරුණු) සිතයයි තත්වූ පරිදි දනියි. සප්පාය අසප්පායයෙහි ඕහට (ඒ ශාරීපුත්‍ර ස්ථවිරයන්ට) දන්නේම වේදනාවෝ උපදිත්. දන්නේම වැටහෙත්. දන්නේම නැතිවෙත්. දන්නේම සංඥාවෝ උපදිත්. දන්නේම වැටහෙත්. දන්නේම නැතිවෙත්. දන්නේම විතර්කයෝ උපදිත්, දන්නේම වැටහෙත්. දන්නේම නැතිවෙත්. ප්‍රඥාවෙන් හීන ප්‍රණීත ධර්‍මයන්ද, කෘෂ්ණ ශුක්ල සප්‍රතිභාගයන්හි නිමිත්ත මනාකොට සිහි කරණ ලද්දේ උපධාරණය කරණ ලද්දේ ප්‍රතිවේධ කරණ ලද්දේ යහපත්සේ ගන්නා ලද්දේ වෙයි. කරුණු සතකින් යුත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සිවුපිළිසිඹියා තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි.