අඞ්ගුත්තරනිකායො

සත්තක නිපාතය

පඨමපණ්ණාසකං

1. ධන වර්‍ගය

4. විත්‍ථතසත්තබල සූත්‍රය

’’මහණෙනි, මේ බලයෝ සතක් වෙත්.

’’කවර සතක්ද යත්? ශ්‍රද්‍ධා බලය, වීර්‍ය්‍ය බලය, හිරි බලය, ඔත්තප්ප බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්‍රඥා බලය, මහණෙනි, මේ සප්ත බලයෝ වෙති.

’’මහණෙනි, ශ්‍රද්ධා බලය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම තථාගතයන් වහන්සේගේ බෝධිඥානය ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රෙෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්‍ධය, භාග්‍ය ඇත්තේයයි ශ්‍රද්ධාව ඇත්තේද, අදහාද, මෙය ශ්‍රද්ධා බලයයි කියනු ලැබේ.

’’මහණෙනි, වීර්‍ය්‍යබලය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම අකුශල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිසද. කුසල ධර්මයන්ගේ වැඩීම පිණිසද, උත්සාහ ඇත්තේ, දැඩි පරාක්‍රම ඇත්තේ, කුශල ධර්මයන්හි අත් නොහල උත්සාහ ඇත්තේද, මහණෙනි, මේ වීරිය බලයයි කියනු ලැබේ.

’’මහණෙනි, හිරි බලය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ලාමකවූ අකුශල ධර්මයන්ගේ සංසිඳවීම පිණිස ලජ්ජාවේද. කායදුශ්චරිතයෙන්ද, වචීදුශ්චරිතයෙන්ද, මනොදුශ්චරිතයෙන්ද, ලජ්ජා ඇත්තේ, ලජ්ජා වේද, මහණෙනි, මේ හිරි බලයයි කියනු ලැබේ.

’’මහණෙනි, ඔත්තප්ප බලය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ලාමකවූ අකුශල ධර්මයන්ගේ සංසිඳවීම පිණිස ඔත්තප්පය (බිය) ඇත්තේද, කායදුශ්චරිතයෙන්ද, වචීදුශ්චරිතයෙන්ද, මනොදුශ්චරිතයෙන්ද, බිය ඇත්තේ බිය වේද, මහණෙනි, මේ ඔත්තප්ප බලයයි කියනු ලැබේ.

’’මහණෙනි, ස්මෘති බලය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම උතුම්වූ ස්මෘති ප්‍රඥාවෙන් යුක්තවූයේ කොට බොහෝ කල්වූ දෙයද කියා බොහෝ කල් ගතවූ දෙයද සිහිකරන්නේ මනාකොට සිහිකරන්නේ ස්මෘතිමත් වේද, මෙය ස්මෘති බලයයි කියනු ලැබේ.

’’මහණෙනි, සමාධි බලය කවරේද? මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම, කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය පහව යාමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයෙකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිවීමෙන්, සොම්නස දොම්නස දෙක අස්තවීමට පෙරම, දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.

’’මහණෙනි, ප්‍රඥා බලය කවරේද? මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම, උදයත්‍ථගාමිනී (දියුණුව ඇති කරවන) ප්‍රඥාවෙන් යුක්තවූයේ මනාකොට දුක් කෙළවර කරන්නාවූ, ආර්‍ය්‍යවූ, උසස් ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥාවත් වේද, මහණෙනි, මෙය ප්‍රඥා බලයයි කියනු ලැබේ.’’

’’ශ්‍රද්‍ධා බලයද, වීර්‍ය්‍ය බලයද, හිරි බලය හා ඔත්තප්ප බලයද, ස්මෘති බලයද, සමාධි බලයද, ඒකාන්තයෙන් ප්‍රඥා බලය සත්වන බලය වේ. මේ සප්ත බලයෙන් බලවත්වූ පණ්ඩිත භික්‍ෂුතෙම සැපසේ ජීවත් වේ. උපායෙන් ධර්‍මය සොයාද. ප්‍රඥාවෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය විශෙෂයෙන් දකීද, (එබඳු භික්‍ෂුවගේ) පහනේ නිවීම මෙන් චිත්තයාගේ විමොක්‍ෂය (වස්තු අරමුණින් මිදීම) වේ.’’