අඞ්ගුත්තරනිකායො

සත්තක නිපාතය

පඨමපණ්ණාසකං

4. දේවතා වර්‍ගය

12. ආනන්‍ද නිදස්ස භික්ඛු සූත්‍රය

’’මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නොසඹෑනුවර සමීපයෙහිවූ ඝොෂිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන කොසඹෑනුවර පිඬු පිණිස පිවිසියහ. ඉක්බිත්තෙන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මේ අදහස විය. ’කොසඹෑ නුවර පිඬු පිණිස හැසිරෙන්නට තව කල් ඇත්තේය. මම අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙකද, එතැන්හි එළඹෙන්නෙම් නම් ඉතා යෙහෙක’ යනුයි.

ඉක්බිත්තෙන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු වූහ. සතුටු විය යුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක වැඩ හුන්හ. එකල්හි වනාහි එක්ව රැස්වූ ඒ අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන් අතර මේ අතුරු කථාවක් පහළවිය. ’ඇවැත්නි, යමෙක් වනාහි දොළොස් වසක් සම්පූර්‍ණවූ, පරිශුද්‍ධවූ බ්‍රහ්මචරියාවෙහි හැසිරේද, කල් පිරුණු භික්‍ෂුවයයි ඕහට කියන්ට සුදුසුය.’ කියායි.

’’ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ කථාවට සතුටු නොවුහ. පිළිතුරු නොදුන්හ. සතුටු නොව, පිළිතුරු නොදී භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මෙහි අර්ථය දැනගන්නෙමියි හුනස්නෙන් නැගිට වැඩියහ.

’’ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ කොසඹෑනුවර පිඬු පිණිස හැසිර සවස් වේලෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක සිටියාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළහ.

’’ස්වාමීනි, මම පෙරවරුයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන කොසඹෑනුවර පිඬු පිණිස හැසුරුනෙමි. ඒ මට මේ අදහස විය. ’කොසඹෑ නුවර පිඬු පිණිස හැසිරෙන්නට තව කල් ඇත්තේය. මම අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙකද, එතැන්හි එළඹෙන්නෙම් නම් ඉතා යෙහෙක’ යනුයි. ඉක්බිත්තෙන් මම අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙකද, එතැන්හි පැමිණියෙමි. පැමිණ ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු වුනෙමි. සතුටු විය යුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක වැඩ හුන්නෙමි. එකල්හි වනාහි එක්ව රැස්වූ ඒ අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන් අතර මේ අතුරු කථාවක් පහළවිය. ’ඇවැත්නි, යමෙක් වනාහි දොළොස් වසක් සම්පූර්‍ණවූ, පරිශුද්‍ධවූ බ්‍රහ්මචරියාවෙහි හැසිරේද, කල් පිරුණු භික්‍ෂුවයයි ඕහට කියන්ට සුදුසුය.’ කියායි.

’’ස්වාමීනි, එකල්හි මම ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචනයට සතුටු නොවීමි. පිළිතුරු නොදුනෙමි. එසේ සතුටු නොවී, පිළිතුරු නොදී, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහිදී මේ කථාවේ අර්ථය දැනගන්නෙමියි හුනස්නෙන් නැගිට බැහැර ගියෙමි යනුයි.

’’ස්වාමීනි, මේ ධර්ම විනය ශාසනයෙහි හුදෙක් වර්‍ෂ ගණන මාත්‍රයෙන් කල් පිරුණු භික්‍ෂුවයයි කියන්නට හැක්කේද?

’’ආනන්‍දය, මේ ධර්ම විනය නම් ශාසනයෙහි හුදෙක් වස් ගණනින් පමණක් කල් පිරුණු භික්‍ෂුවයයි කියන්ට නොහැක්කේය. ආනන්‍දය, මේ කල් පිරීමේ කරුණු සතකි. මා විසින් ස්වයංභූඥානයෙන් (මා ම) ප්‍රත්‍යක්‍ෂකොට දැන ගන්නා ලදී. ඒ සත කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම ශ්‍රද්‍ධාව ඇත්තේද, පාපයට ලජ්ජාව ඇත්තේද, පාපයට භය ඇත්තේද, බහුශ්‍රුත වේද, පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ වේද, සිහි ඇත්තේ වේද, ප්‍රඥාවෙන් යුක්ත වේද, ආනන්‍දය, මේ කල් පිරීමේ කරුණු සත මා විසින් ස්වයම්භූඥානයෙන් (මා ම) ප්‍රත්‍යක්‍ෂකොට දැනගන්නා ලදී. ආනන්‍දය, මේ කල් පිරීමේ කරුණු සතින් යුත් භික්‍ෂුව දොළොස් වසක් නමුදු පරිපූර්‍ණවූ පිරිසිදු බඹසර හැසිරේද, නිර්දෝෂී භික්‍ෂුවයයි කියන්ට සුදුසුය. සිවු විසි වසක් - අට සතලිස් වසක් නමුදු පරිපූර්‍ණවු පිරිසිදු බඹසර හැසිරේද, කල් පත් භික්‍ෂුවයයි කියන්ට සුදුසුය’’ යනුයි.

සතරවැනි දේවතා වර්ගය නිමි.