අඞ්ගුත්තරනිකායො

සත්තක නිපාතය

පඨමපණ්ණාසකං

6. අව්‍යාකත වර්‍ගය

1. අව්‍යාකත වත්‍ථු සූත්‍රය

’’ඉක්බිති එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේය.

’’ස්වාමීනි, ශ්‍රුතවත්වූ (ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍ය ශ්‍රාවකයාට අව්‍යාකෘත වස්තූන්හි (ප්‍රකාශ නොකළ) යම් හෙයකින් විචිකිච්ඡාව (සැකය) නූපදිද. එයට හේතු කවරේද, එයට ප්‍රත්‍යය කවරේද?

’’මහණෙනි, ශ්‍රුතවත්වූ ආර්‍ය්‍ය ශ්‍රාවකයාට දෘෂ්ටි නිරෝධයෙන් අව්‍යාකෘත (ප්‍රකාශ නොකළ) වස්තූන්හි විචිකිච්ඡාව නුපදියි.

’’සත්ත්‍වයා මරණින් මතු වේයයි මහණතෙම මෙය දෘෂ්ටි ගත්තේය. (2) සත්ත්‍වයා මරණින් මතු නොවේයයි මහණතෙම මෙය දෘෂ්ටි ගත්තේය. සත්ත්‍වයා මරණින් මතු වේද නොවේදැයි මහණතෙම මෙය දෘෂ්ටි ගත්තේය. සත්ත්‍වයා මරණින් මතු නොමවෙයි. නොම නොවේයයි මහණතෙම මෙය දෘෂ්ටි ගත්තේය.

’’ඇසූ පිරූ තැන් නැති පෘථග්ජන භික්‍ෂුතෙම දෘෂ්ටිය නොම දනියි. දෘෂ්ටිය ඇතිවීමේ හේතුව නොම දනියි. දෘෂ්ටි නිරෝධය (නැතිකිරිම) නොම දනියි. දෘෂ්ටි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නොම දනියි. ඔහුගේ ඒ දෘෂ්ටිය වැඩෙයි. හෙතෙම ඉපදීමෙන් නොමිදෙයි. ජරාව, මරණය, ශොකය, වැළපිම, දුක්, දොම්නස හා සිත් තැවුල්වලින් නොමිදෙයි.

’’ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකවූ භික්‍ෂුතෙම දෘෂ්ටිය දනියි. දෘෂ්ටිය ඇතිවීමේ හේතුව දනියි. දෘෂ්ටි නිරෝධය දනියි. දෘෂ්ටි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දනියි. ඒ භික්‍ෂුවට ඒ දෘෂ්ටිය නිරුද්ධ වෙයි. හෙතෙම ඉපදීමෙන් මිදෙයි. ජරාව, මරණය, ශොකය, වැළපිම, දුක, දොම්නස හා සිත් තැවුල්වලින් මිදෙයි.

’’මෙසේ දත්, මෙසේ දන්නා, ඇසූ පිරූ තැන් ඇති, ආර්‍ය්‍ය ශ්‍රාවක භික්‍ෂු තෙම මෙසේ බලයි. සත්ත්‍වයා මරණින් මතු වේයයි නොපවසයි. සත්ත්‍වයා මරණින් මතු නොවේයයි නොපවසයි. සත්ත්‍වයා මරණින් මතු වේද නොවේදැයි නොපවසයි. සත්ත්‍වයා මරණින් මතු නොම වෙයි, නොම නොවේයයි නොපවසයි. මෙසේ මෙය දන්නා ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවක භික්‍ෂුතෙම ප්‍රකාශ නොකළ කරුණුවල ප්‍රකාශ නොකරණ ස්වභාව ඇත්තේ වෙයි.

’’මෙසේ දන්නා ශ්‍රුතවත්වූ ආර්‍ය්‍ය ශ්‍රාවක භික්‍ෂුතෙම ප්‍රකාශ නොකළ කරුණවල තැති නොගනියි. කම්පා නොවෙයි. නොසෙල්වෙයි. බියට නොපැමිණෙයි. සත්ත්‍වයා මරණින් මතු වේ යන මෙය තෘෂ්ණාව අනුව ගිය අදහසකි. වැටහීම අනුව ගිය අදහසකි. මෙය වැටහීම ඇත්තකුගේ අදහසකි. මෙය ප්‍රමාදයට හේතුය. මෙය ප්‍රමාදය අනුව ගිය අදහසකි. මෙය විපිළිසර (පසුතැවිල්ලකි.)සත්ත්‍වයා මරණින් මතු නොවේයයි මහණතෙම මෙය දෘෂ්ටි ගත්තේය. සත්ත්‍වයා මරණින් මතු වේද නොවේදැයි මහණතෙම මෙය දෘෂ්ටි ගත්තේය. සත්ත්‍වයා මරණින් මතු නොමවෙයි. නොම නොවේයයි මහණතෙම මෙය දෘෂ්ටි ගත්තේය.

’’අශ්‍රුතවත් පෘතග්ජන භික්‍ෂුව විපිළිසර නොදනියි. විපිළිසර ඇතිවීමේ හේතුව නොදනියි. විපිළිසර නිරෝධය (නැතිකිරීම) නොදනියි. විපිළිසරය නිරුද්‍ධ කිරීමේ (නැතිකිරීමේ) ප්‍රතිපදාව නොදනියි. ඔහුගේ ඒ විපිළිසරය (පසුතැවිල්ල) වැඩෙයි. හෙතෙම ඉපදීමෙන් නොමිදෙයි. ජරාව, ව්‍යාධිය, මරණය, ශොකය, වැළපිම හා දුක්, දොම්නස් සිත් තැවුල්වලින් නොමිදෙයි.

’’ශ්‍රුතවත්වූ ආර්‍ය්‍ය ශ්‍රාවක භික්‍ෂුතෙම වනාහි විපිළිසරය දනියි. විපිළිසර ඇතිවීමේ හේතුව දනියි. විපිළිසර නිරෝධය දනියි. විපිළිසර නිරුද්ධකිරීමේ ප්‍රතිපදාව දනියි. හෙතෙම ඉපදීමෙන් මිදෙයි. ජරා, මරණ, ශොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, උපායාස, දුක්වලින් නොමිදෙයි.

’’මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක භික්‍ෂුතෙම සත්ත්‍වයා මරණින් මතු වේයයි ප්‍රකාශ නොකරයි. සත්ත්‍වයා මරණින් මතු නොවේයයි ප්‍රකාශ නොකරයි. සත්ත්‍වයා මරණින් මතු වේය නොවේයයි ප්‍රකාශ නොකරයි. සත්ත්‍වයා මරණින් මතු නොමවේ නොම නොවේයයි ප්‍රකාශ නොකරයි. මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ප්‍රකාශ නොකල වස්තූන්හි ප්‍රකාශ නොකළ ධර්‍ම ඇත්තේ වෙයි. මෙසේ දන්නාවු, මෙසේ දක්නාවු, ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ බලන්නේ, ප්‍රකාශ නොකළ වස්තූන්හි තැති නොගනියි. කම්පා නොවෙයි. හදිසි බියට නොපැමිණෙයි. මහණෙනි, යම් හෙයකින් ශ්‍රුතවත්වූ ආර්‍ය්‍ය ශ්‍රාවකයාට ප්‍රකාශ නොකළ වස්තූන්හි විචිකිච්ඡාව නූපදිද, මේ එයට හේතුවයි.’’