අඞ්ගුත්තරනිකායො

සත්තක නිපාතය

පඨමපණ්ණාසකං

1. ධන වර්‍ගය

6. විත්‍ථතසත්තධන සූත්‍රය

’’මහණෙනි, මේ ධනයෝ සත් දෙනෙක් වෙත්.

කවර සත් දෙනෙක්ද යත්? ශ්‍රද්ධා ධනය, ශීල ධනය, හිරි ධනය, ඔත්තප්ප ධනය. ශ්‍රුත ධනය, ත්‍යාග ධනය. ප්‍රඥා ධනය යනුයි. මහණෙනි, මේ සප්ත ධනයෝ වෙත්.

’’මහණෙනි, ශ්‍රද්ධා ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම තථාගතයන් වහන්සේගේ බෝධිඥානය ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රෙෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්‍ධය, භාග්‍ය ඇත්තේයයි ශ්‍රද්ධාව ඇත්තේද, අදහාද, මෙය ශ්‍රද්ධා ධනයයි කියනු ලැබේ.

’’මහණෙනි, ශීල ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම ප්‍රාණඝාතයෙන් වෙන්වූයේ වේද, අන්සතු දෙය ගැන්මෙන් වෙන්වූයේ වේද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරුකීමෙන් වෙන්වූයේ වේද, ප්‍රමාදයට හේතුවූ රහමෙර පානයෙන් වෙන්වූයේ වේද, මහණෙනි, මේ ශීල ධනයයි කියනු ලැබේ.

’’මහණෙනි, හිරි ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ලාමකවූ අකුශල ධර්මයන්ගේ සංසිඳවීම පිණිස ලජ්ජාවේද. කායදුශ්චරිතයෙන්ද, වචීදුශ්චරිතයෙන්ද, මනොදුශ්චරිතයෙන්ද, ලජ්ජා ඇත්තේ, ලජ්ජා වේද, මහණෙනි, මේ හිරි ධනයයි කියනු ලැබේ.

’’මහණෙනි, ඔත්තප්ප ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ලාමකවූ අකුශල ධර්මයන්ගේ සංසිඳවීම පිණිස ඔත්තප්පය (බිය) ඇත්තේද, කායදුශ්චරිතයෙන්ද, වචීදුශ්චරිතයෙන්ද, මනොදුශ්චරිතයෙන්ද, බිය ඇත්තේ බිය වේද, මහණෙනි, මේ ඔත්තප්ප ධනයයි කියනු ලැබේ.

’’මහණෙනි, ශ්‍රුත ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වේද, ශ්‍රුතධරවූයේ ශ්‍රුතසන්නිචය (බොහෝ පළපුරුදු) වූයේ යම් ඒ ධර්මයෝ මුල පිරිසිදුවූ, මැද පිරිසිදුවූ, අග පිරිසිදුවූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ලෙන් පරිපූර්‍ණවූ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ ධරණ ලද්දේ වචනයෙන් පුරුදු කරණ ලද්දේ, සිතින් මෙනෙහි කරණ ලද්දේ, සම්‍යක් දෘෂ්ටියෙන් මනාකොට යෙදුනේ, බහුශ්‍රුත වෙත්ද, මහණෙනි, මෙය ශ්‍රුත ධනයයි කියනු ලැබේ.

’’මහණෙනි, ත්‍යාග ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම පහවූ මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසේද, පරිත්‍යාගය ඇත්තේ, දීමට සෝදන ලද අත් ඇත්තේ, දීමට ඉල්ලීමෙහි යෙදුනේ, දීමට සුදුස්සන් තෝරා දීමෙහි යෙදුනේ වේද, මහණෙනි, මෙය ත්‍යාග ධනයයි කියනු ලැබේ.

’’මහණෙනි, ප්‍රඥා ධනය කවරේද? මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම, උදයත්‍ථගාමිනී (දියුණුව ඇති කරවන) ප්‍රඥාවෙන් යුක්තවූයේ මනාකොට දුක් කෙළවර කරන්නාවූ, ආර්‍ය්‍යවූ, උසස් ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥාවත් වේද, මහණෙනි, මෙය ප්‍රඥා ධනයයි කියනු ලැබේ.’’

’’ශ්‍රද්‍ධා ධනයද, වීර්‍ය්‍ය ධනයද, හිරි ධනය හා ඔත්තප්ප ධනයද, ස්මෘති ධනයද, සමාධි ධනයද, ඒකාන්තයෙන් ප්‍රඥා ධනය සත්වන ධනය වේ. මේ සප්ත ධනයෙන් බලවත්වූ පණ්ඩිත භික්‍ෂුතෙම සැපසේ ජීවත් වේ. උපායෙන් ධර්‍මය සොයාද. ප්‍රඥාවෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය විශෙෂයෙන් දකීද, (එබඳු භික්‍ෂුවගේ) පහනේ නිවීම මෙන් චිත්තයාගේ විමොක්‍ෂය (වස්තු අරමුණින් මිදීම) වේ.’’