අඞ්ගුත්තරනිකායො

සත්තක නිපාතය

පඨමපණ්ණාසකං

6. අව්‍යාකත වර්‍ගය

9. මා පුඤ්ඤභායී සූත්‍රය

’’මහණෙනි, පින් වලට භය නොවව්. යම් ඒ පිනක් වේනම්, එය සැපතට එක්තරා නමකි. මහණෙනි, බොහෝ කල් කරණ ලද පින්වල හේතුවෙන් බොහෝ කල් කැමති විය යුතු, සිත් අදනාවූ, මන වඩන්නාවූ විපාකය වින්දෙමි. සත් වසක් මෛත්‍රී සිත වැඩුවෙමි. සත් වසක් මෛත්‍රි සිත වඩා සංවර්‍ත (නැසෙන) විවර්‍ත (වැඩෙන) කල්ප සතක් මේ ලෝතයට නැවත නොආයෙමි. මහණෙනි, මම කල්පය විනාශවන කල්හි ආභස්සර බඹලොවට පැමිණෙමි. කල්පය හටගැණෙන කල්හි හිස්වූ බඹ විමනක උපදිමි. මහණෙනි, එහි වනාහි මඩින්නාවූ, නොමැඩිය හැකි සියල්ල දක්නාවූ, යටතෙහි පවත්වන්නාවූ, මහා බ්‍රහ්මයෙක් වීමි. මහණෙනි, සතිස් වාරයක් දෙවියන්ට අධිපතිවු ශක්‍රයා වීමි. සත් රුවනින් යුත් ජනපදයන්ගේ අර්ථාවරණයට පත්, සිවු මහා දිවයින් දිනන ලද, ධාර්මිකවූ, ධර්මයට රජවූ, චක්‍රවර්ති රජ වීමි. මහණෙනි, ඒ මට මේ සප්ත රත්නයෝ වූහ.

’’ඒ කවරහුද? චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මණි රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති (සිටු) රත්නය, පරිනායක (පුත්‍ර) රත්නයම සත්වෙනි වේ.

’’මහණෙනි, මට සූරවූ, වීරවූ, අඟ පසඟ ඇති, අන්‍ය සේනා මැඩිය හැකි පුත්‍රයෝ දහසකට වඩා වූහ. ඒ සක්විති රජ තෙම සාගරය කෙළවර කොට ඇති මේ පෘථිවිය දණ්ඩනයක් නොකොට ආයුධ ආදියක් නොගෙන, ධර්‍මයෙන් දිනා වාසය කරයි.

’’සැප සොයන්නවුනි, කුශලයන්ගේ, පුණ්‍යයන්ගේ විපාකය බලව්. මහණෙනි, සත් අවුරුද්දක් මුළුල්ලෙහි මෛත්‍රී සිත වඩා මහා කල්ප සතක් මුළුල්ලෙහි මේ ලෝකයට නැවත නොආයෙමි. ලෝකය විනාශවන කල්හි ආභස්සර බ්‍රහ්ම ලෝකයට ගියෙමි.’’

’’ඒ මම ලෝකය වැඩෙන කල්හි හිස්වූ බ්‍රහ්ම ලෝකයට ගියේ වෙමි. එකල්හි සත් වාරයක අනුන් වසඟයෙහි පවත්නාවූ මහා බ්‍රහ්ම වූයෙමි. සතිස් වාරයක් දෙවියන්ට අධිපතිවූයේ, දිව්‍ය රාජ්‍යය කරවූයෙමි. (නොයෙක් සිය ගණන් වාරයෙහි) දඹදිවට නායකවූ සක්විති රජ වීමි.’’

’’ඔටුණු පලන් ක්‍ෂත්‍රියවූ මිනිසුන්ට අධිපතියෙක් වීම්ද, ඒ මම පොළොව දඬුවමක් නැතිව, ආයුධ ආදියක් නැතිව ජයගෙන, සාහසික නොව, දැහැමෙන්, සෙමෙන්, අනුශාසනා කළෙමි. මේ පෘථිවි මණ්ඩලයෙහි දැහැමින් රාජ්‍යය කරවා මහත් ධන ඇති, මහත් සම්පත් ඇති, ධනයෙන් ආඪ්‍යවූ, සියලු කාමයන්ගෙන් හා සත් රුවනින්ද යුක්තවූ, පූජ්‍ය කුලයෙහි උපන්නෙමි.’’

’’ලෝකයෙහි බුදුවරයෝ සංග්‍රහ කරන්නාහු වෙත්ද, ඒ බුදුවරයන් විසින් මනාකොට මේ කරුණ දේශනා කරණ ලද්දේය. යම් හෙයකින් පොළොවට අධිපතියයි කියණු ලැබේද, මෙය උසස් බවට හේතුවකි.

’’බොහෝ වස්තු, උපකරණ ඇති, තේජසින් යුත් රජ වෙමි. දඹදිවට අධිපති වූයේ, මහත් ඎද්ධි ඇති, මහත් යශස් ඇති වෙමි. එහෙයින් හීනජාති ඇත්තේ නමුදු, කවරෙක් මේ කරුණ අසා නොපහදින්නේද, පහදින්නේමය.

’’එහෙයින් ගුණයෙන් මහත් බව කැමති වන්නාවූ, තමන්ගේ දියුණුව, අනුන්ගේ දියුණුව කැමැත්තහු විසින් බුදුවරයන්ගේ අනුශාසනාව සිහි කරමින් සද්‍ධර්‍මය ගරු කට යුත්තේය.’’