අඞ්ගුත්තරනිකායො

සත්තක නිපාතය

පඨමපණ්ණාසකං

7. මහා වර්‍ගය

1. හිරොත්තප්පවින්න සූත්‍රය

’’මහණෙනි, පාපයට ලජ්ජාව හා භය නැති කල්හි පිරිහී ගිය හිරි ඔතප් ඇත්තහුට ඉන්‍ද්‍රිය සංවරයට කරුණු නැත්තේ වේ. ඉන්‍ද්‍රිය සංවරය නැති කල්හි පිරිහී ගිය ඉත්‍ද්‍රිය සංවරය ඇත්තහුට ශීලයට කරුණු නැත්තේ වේ. ශීලය නැති කල්හි විපතට පත් ශීලය ඇත්තහුට සම්‍යක් සමාධියට කරුණු නැත්තේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි, පිරිහී ගිය සම්‍යක් සමාධි ඇත්තහුට තත්වූ පරිදි ඥාන දර්‍ශනය නැත්තේ වේ. තත්වූ පරිදි ඥාන දර්‍ශනය නැති කල්හි, විපතට පත් යථාභූත ඥාන දර්‍ශනය (ඒ වූ පරිදි දැකිමේ නුවණ) ඇත්තහුට සංස්කාරයන්ගේ කළකිරීමෙන් ඇතිවන ක්ලේශයන්ගෙන් වෙන්වීම නැත්තේ වේ. සංස්කාරයන්ගේ කළකිරීමෙන් ඇතිවන ක්ලේශයන්ගෙන් වෙන්වීම නැති කල්හි පිරිහී ගිය සංස්කාරයන්ගේ කලකිරීමෙන් ඇතිවන ක්ලේශයන්ගෙන් වෙන්විම ඇත්තහුට විමුක්ති ඥාන දර්‍ශනයට (මිදීම නුවණින් දැකීමට) කරුණු නැත්තේ වේ.

’’මහණෙනි, පිරිහී ගිය අතු පතර ඇති ගසක් වේද, එහි පතුරුද සම්පූර්‍ණ බවට නොපැමිණේ. පොත්තද, එළයද, අරටුවද සම්පූර්‍ණ බවට නොපැමිණේ. මහණෙනි, එපරිද්දෙන්ම පාපයට ලජ්ජාව හා බිය නැති කල්හි පිරිහී ගිය පාපයට ලජ්ජාව හා බිය ඇත්තහුට විමුක්ති ඥාන දර්‍ශනයට කරුණු නැත්තේ වේ.

’’මහණෙනි, පාපයට ලජ්ජාව හා බිය ඇති කල්හි පාපයට ලජ්ජාව හා බිය ඇත්තහුට ඉන්‍ද්‍රිය සංවරයට කරුණු ඇත්තේ වේ. (2) ’’ඉන්‍ද්‍රිය සංවරය ඇති කල්හි ඉන්‍ද්‍රිය සංවරය ඇත්තහුට ශීලයට කරුණු ඇත්තේ වේ. ශීලය ඇති කල්හි ශීලය ඇත්තහුට සම්‍යක් සමාධියට (නිවරද සිත එකඟයට) කරුණු ඇත්තේ වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි, සම්‍යක් සමාධිය ඇත්තහුට තත්වූ පරිදි ඥාන දර්‍ශනයට කරුණු ඇත්තේ වේ. තත්වූ පරිදි ඥාන දර්‍ශනය ඇති කල්හි තත්වූ පරිදි ඥාන දර්‍ශනය ඇත්තහුට සංස්කාරයන්ගේ කළකිරීමෙන් ඇතිවන ක්ලේශයන්ගෙන් වෙන්වීම ඇත්තේ වේ. සංස්කාරයන්ගේ කළකිරීමෙන් ඇතිවන ක්ලේශයන්ගෙන් වෙන්වීම ඇති කල්හි සංස්කාරයන්ගේ කළකිරීමෙන් ඇතිවන ක්ලේශයන්ගෙන් වෙන්වීම ඇත්තහුට විමුක්ති ඥාන දර්‍ශනයට කරුණු ඇත්තේ වේ.

’’මහණෙනි, සම්පූර්‍ණවූ අතු පතර ඇති ගසක් වේද, එහි පතුරුද සම්පූර්‍ණ බවට පැමිණේ. පොත්තද, එළයද, අරටුවද සම්පූර්‍ණ බවට පැමිණේ. මහණෙනි, පවට ලජ්ජා හා බිය ඇති කල්හි පවට ලජ්ජාව හා බිය ඇත්තහුට ඉත්‍ද්‍රිය සංවරයට කරුණු ඇත්තේ වේ. ඉන්‍ද්‍රිය සංවරය ඇති කල්හි ඉන්‍ද්‍රිය සංවරය ඇත්තහුට ශීලයට කරුණු ඇත්තේ වේ. ශීලය ඇති කල්හි ශීලය ඇත්තහුට සම්‍යක් සමාධියට (නිවරද සිත එකඟයට) කරුණු ඇත්තේ වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි, සම්‍යක් සමාධිය ඇත්තහුට තත්වූ පරිදි ඥාන දර්‍ශනයට කරුණු ඇත්තේ වේ. තත්වූ පරිදි ඥාන දර්‍ශනය ඇති කල්හි තත්වූ පරිදි ඥාන දර්‍ශනය ඇත්තහුට සංස්කාරයන්ගේ කළකිරීමෙන් ඇතිවන ක්ලේශයන්ගෙන් වෙන්වීම ඇත්තේ වේ. සංස්කාරයන්ගේ කළකිරීමෙන් ඇතිවන ක්ලේශයන්ගෙන් වෙන්වීම ඇති කල්හි සංස්කාරයන්ගේ කළකිරීමෙන් ඇතිවන ක්ලේශයන්ගෙන් වෙන්වීම ඇත්තහුට විමුක්ති ඥාන දර්‍ශනයට කරුණු ඇත්තේ වේ.