අඞ්ගුත්තරනිකායො

සත්තක නිපාතය

පඨමපණ්ණාසකං

7. මහා වර්‍ගය

3. පච්චන්ත නගරෝපම සූත්‍රය

’’මහණෙනි, යම් හෙයකින් වනාහි රජහුගේ පිටිසරබද නගරය සප්ත නගර ආරක්‍ෂාවලින් මනාකොට පිළියෙල කරණ ලද්දේ වේද, චතුර්විධ ආහාරයන්ගේ පහසුවෙන් ලැබීමද, මඳ උත්සාහයෙන් ලැබීමද, නිදුකින් ලැබීමද සිදුවේද, මහණෙනි, රජහුගේ ප්‍රත්‍යන්ත නගරයට, බාහිරවූ, පස මිතුරුවූ, සතුරන් විසින් කිසිවක් නොකට හැකියයි මෙය කියනු ලැබේ.

කවර සතකින්ද යත්, මහණෙනි, මෙහි රජහුගේ පිටිසරබද නගරයෙහි මනාකොට සිටුවන ලද ස්ථිරවූ, නොසෙල්වෙන ඉන්‍ද්‍රඛීලයක් (නුවර ඉම සවි වෙන කනුවක්) ඇත්තේ වෙයි. මේ පළමුවන නගරාරක්‍ෂාවෙන් (2) රජහුගේ පිටිසරබද නගරය අන්‍යයන්ගේ වැළැක්වීමෙන්ද, අභ්‍යන්තර ආරක්‍ෂාවෙන්ද, මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වෙයි.

’’මහණෙනි, නැවතද රජහුගේ පිටිසරබද නගරයෙහි ගැඹුරුවූද, පළල්වූද, දිය අගල් කරණ ලද්දේ වෙයි. මේ දෙවන නගරාරක්‍ෂාවෙන් රජහුගේ පිටිසරබද නගරය අන්‍යයන්ගේ වැළැක්වීමෙන්ද, අභ්‍යන්තර ආරක්‍ෂාවෙන්ද, මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වෙයි.

’’නැවතද මහණෙනි, රජහුගේ පිටිසරබද නගරයෙහි උස්වූද, පළල්වූද, වටේ යෑමට පාරවල් වෙයි. මේ තුන්වන නගරාරක්‍ෂාවෙන් රජහුගේ පිටිසරබද නගරය අන්‍යයන්ගේ වැළැක්වීමෙන්ද, අභ්‍යන්තර ආරක්‍ෂාවෙන්ද, මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වෙයි.

’’නැවතද මහණෙනි, රජහුගේ පිටිසරබද නගරයෙහි ලහපත්ද, ජෙවනිකද බොහෝ ආවුධද රැස් කරණ ලද්දේ වෙයි. මේ සතරවන නගරාරක්‍ෂාවෙන් රජහුගේ පිටිසරබද නගරය අන්‍යයන්ගේ වැළැක්වීමෙන්ද, අභ්‍යන්තර ආරක්‍ෂාවෙන්ද, මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වෙයි.

’’නැවතද මහණෙනි, රජහුගේ පිටිසරබද නගරයෙහි බොහෝ බල පිරිස වාසය කරයි. එනම්, ඇතුන් පිට නැගි පිරිස, අසුන් නැගි පිරිස, රිය නැගි, දුනු ගත්, වස්ත්‍ර සොළවන, ආහාර දෙන පිරිසද, උසස්වූ රාජ පුත්‍රයෝද, පණින්නාවූ මහා ඇත්තුද, ශූරවූ පැලුම්කරුවෝද, චර්ම යොධිහුද, දාසක පුත්‍රයෝද, යන මේ පස්වැනිවූ නගරාරක්‍ෂාවෙන් රජහුගේ පිටිසරබද නගරය අන්‍යයන්ගේ වැළැක්වීමෙන්ද, අභ්‍යන්තර ආරක්‍ෂාවෙන්ද, මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වෙයි.

’’නැවතද මහණෙනි, රජහුගේ පිටිසරබද නගරයෙහි පණ්ඩිතවූ, ව්‍යක්තවූ, නුවණැති, නොහඳුනන්නවුන් වළක්වන, හඳුනන්නවුන් ඇතුල් කරණ දොරටු පාලයෙක් වෙයි. මේ සවන නගරාරක්‍ෂාවෙන් රජහුගේ පිටිසරබද නගරය අන්‍යයන්ගේ වැළැක්වීමෙන්ද, අභ්‍යන්තර ආරක්‍ෂාවෙන්ද, මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වෙයි.

’’නැවතද මහණෙනි, රජහුගේ පිටිසරබද නගරයෙහි උස්වූද, පළල්වූද, වර්ණාලේප පිරියම් කරණ ලද්දාවුද, ප්‍රාකාරයක් වෙයි. මේ සත්වන නගරාරක්‍ෂාවෙන් රජහුගේ පිටිසරබද නගරය අන්‍යයන්ගේ වැළැක්වීමෙන්ද, අභ්‍යන්තර ආරක්‍ෂාවෙන්ද, මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වෙයි. මේ සප්ත නගරාරක්‍ෂාවලින් මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වේ.

කවර සතර ආහාරයකගේ පහසුවෙන් ලැබීම, මඳ උත්සාහයෙන් ලැබීම, නිදුකින් ලැබීම වේද, මහණෙනි, මෙහි රජුගේ පිටිසරබද නගරයෙහි අභ්‍යන්තරිකයන්ගේ ඇල්ම පිණිස, පීඩා නොවීම පිණිස, පාසුවිහරණය පිණිස, පිටතින් පැමිණෙන්නන් දුරු කිරීම පිණිස බොහෝ තෘණ, දර, ජලය රැස් කරණ ලද්දේ වෙයි.

(1) ,මහණෙනි, නැවතද රජුගේ පිටිසරබද නගරයෙහි අභ්‍යන්තරිකයන්ගේ ඇල්ම පිණිස, පීඩා නොවීම පිණිස, පිටතින් පැමිණෙන්නන් දුරු කිරීම පිණිස (2) ඇල් වී, යව රැස් කරණ ලද්දේ වේ.

,මහණෙනි, නැවතද රජුගේ පිටිසරබද නගරයෙහි අභ්‍යන්තරිකයන්ගේ ඇල්ම පිණිස, පීඩා නොවීම පිණිස, පිටතින් පැමිණෙන්නන් දුරු කිරීම පිණිස තල, මෑ, මුං හා පස්වරුවේ ආහාර රැස් කරණ ලද්දේ වේ. මහණෙනි, නැවතද රජුගේ පිටිසරබද නගරයෙහි අභ්‍යන්තරිකයන්ගේ ඇල්ම පිණිස, පීඩා නොවීම පිණිස, පිටතින් පැමිණෙන්නන් දුරු කිරීම පිණිස බොහෝ බෙහෙත් රැස් කරණ ලද්දේ වෙයි. එනම්, ගිතෙල්, වෙඬරු, තෙල්, මීපැනි, ලුණු යනාදියයි. මේ සතර ආහාරයන්ගේ පහසුවෙන් ලැබීමද, මඳ උත්සාහයෙන් ලැබීමද, නිදුකින් ලැබීමද වෙයි. මහණෙනි, යම් හෙයකින් වනාහි, රජුගේ පිටිසරබද නගරය මේ සප්ත නගරාරක්‍ෂාවලින් මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වෙයිද, මේ සතර ආහාරයන්ගේ පහසුවෙන් ලැබීම, මඳ උත්සාහයෙන් ලැබීම, නිදුකින් ලැබීම සිදු වෙයි. මහණෙනි, රජුගේ පිටිසරබද නගරයට බාහිරවූ සතුරන් විසින්, පස මිතුරන් විසින් කළ යුත්තක් නැතැයි මෙය කියයි.

’’මහණෙනි, එපරිද්දෙන්ම යම් හෙයකින් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සප්ත ධර්‍මයකින් යුක්තවුයේ වේද, (හෙතෙම) උසස් චෛතසිකවූ, මේ ආත්ම භාවයෙහිම සුඛ විහරණ ඇති සතර ධ්‍යානයන් පහසුවෙන් ලබන්නේ වෙයි. මඳ උත්සාහයෙන් ලබන්නේ වෙයි. නිදුකින් ලබන්නේ වෙයි. මහණෙනි, මේ තෙම ආර්‍ය්‍ය ශ්‍රාවකයයි කියනු ලැබේ. පාපීවූ මාරයා විසින් කළ යුත්තක් නැත. කවර ධර්ම සතකින් යුක්තවුයේද යත්?

’’මහණෙනි, යම් සේ රජුගේ පිටිසරබද නගරයෙහි අභ්‍යන්තර ආරක්‍ෂාව පිණිසද, පිටතින් පැමිණෙන අයගේ වැළැක්වීම පිණිසද, ගැඹුරුකොට යට කරණ ලද ස්ථිරවූ නොසෙල්වෙන ඉන්‍ද්‍රඛීලයක් වේද, මහණෙනි, එපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තථාගතයන් වහන්සේ ගේ සර්‍වඥතාඥානය ගැන (2) ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, අෂ්ටවිද්‍යා, පසළොස් චරණ ධර්‍මයන්ගෙන් යුක්තය. සුගතය, ලෝකවිදූය, පුරුෂයන් හිත්මවන උතුම් රියැදුරෙක, දෙවි මිනිසුන්ගේ ශාස්තෘය, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළ සේකැයි (3) ශ්‍රද්ධාව ඇත්තේ වේද, අදහාද, එබඳු ශ්‍රද්‍ධාව ඇති ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අකුශලය දුරු කරයි. කුශලය වඩයි. වැරදි දේ දුරුකරයි. නිවැරදි දේ වඩයි. පිරිසිදුවූ ආත්ම භාවයක් පරිහරණය කරයි. මේ පළමුවන සද්ධර්‍මයෙන් යුක්තවූයේ වෙයි.

’’මහණෙනි, යම් සේ රජුගේ පිටිසරබද නගරයෙහි ඇතුළත ආරක්‍ෂාව පිණිසද, පිටතින් පැමිණෙන අයගේ වැළැක්වීම පිණිසද, ගැඹුරු වූද, පළල්වූද, දිය අගල් වේද, මහණෙනි, එපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කාය දුශ්චරිතයෙන් ලජ්ජා ඇත්තේ ලජ්ජා වේද, වාග් දුශ්චරිතයෙන්, මනො දුශ්චරිතයෙන් ලජ්ජා වේද, ලාමකවූද අකුශල ධර්මයන්ගේ සංසිඳවීමෙන් ලජ්ජාවෙන් ආරක්‍ෂා කරන්නාවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම අකුශලය දුරු කරයි. කුශලය වඩයි. වැරදි දේ දුරු කරයි. නිවැරදි දේ වඩයි. පිරිසිදු ආත්ම භාවයක් වඩයි. මේ දෙවෙනි සද්ධර්මයෙන් යුක්තවුයේ වෙයි.

’’මහණෙනි, යම් සේ රජුගේ පිටිසරබද නගරයෙහි ඇතුළත වාසීන්ගේ ආරක්‍ෂාව පිණිසද, පිටතින් පැමිණෙන්නන්ගේ වැළැක්වීම පිණිසද, උස්වූද, පළල්වූද, වටේ යාමට පාරවල් වේද, මහණෙනි, එපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බිය ඇත්තේ බිය වේද, කාය දුශ්චරිතයෙන් බිය ඇත්තේ බිය වේද, වාග් දුශචරිතයෙන් බිය ඇත්තේ බිය වේද, මනො දුශචරිතයෙන් ලාමකවූ අකුශල ධර්‍මයන්ගේ සංසිඳවීමෙන් පවට බිය නමැති මාර්‍ගය ඇති ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අකුශලය දුරු කරයි. කුශලය වඩයි. වැරදි දේ දුරුකරයි. නිවැරදි දේ වඩයි. පිරිසිදු ආත්ම භාවයක් පරිහරණය කරයි. මේ තුන්වෙනි සද්ධර්මයෙන් යුක්තවූයේ වෙයි.

’’මහණෙනි, යම් සේ රජුගේ පිටිසර බද නගරයෙහි රජහුගේ පිටිසරබද නගරය අන්‍යයන්ගේ වැළැක්වීමෙන්ද, අභ්‍යන්තර ආරක්‍ෂාවෙන්ද, මනාකොට ආයුධ රැස් කරණ ලද්දේ වෙයි. මහණෙනි, එපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බහුශ්‍රුතවූයේ වේද, ශ්‍රුතධරවූයේ, රැස්කළ බොහෝ ඇසු පිරූ තැන් ඇත්තේ යම් ඒ ධර්මයෝ මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ල පරිපූර්‍ණවූ, පරිශුද්ධවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව මනාකොට ප්‍රකාශ කරත්ද, එබඳුවූ ධර්මයෝ බොහෝකොට අසන ලද්දාහු වෙත්. දරණ ලද්දේ, වචනයෙන් පුරුදු කරණ ලද්දේ, සිතින් පරීක්‍ෂා කරණ ලද්දේ, සම්‍යක් දෘෂ්ටියෙන් ප්‍රතිවේධ කරණ ලද්දේ වේද, මහණෙනි, ශ්‍රුතායුධවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම අකුශලය දුරු කරයි. කුශලය වඩයි. වැරදි දේ දුරුකරයි. නිවැරදි දේ වඩයි. පිරිසිදු ආත්මභාවයක් පරිහරණය කරයි. මේ සතරවැනි සද්ධර්මයෙන් යුක්තවුයේ වෙයි.

’’මහණෙනි, යම් සේ රජුගේ පිටිසරබද නගරයෙහි රජහුගේ පිටිසරබද නගරය අන්‍යයන්ගේ වැළැක්වීමෙන්ද, අභ්‍යන්තර ආරක්‍ෂාවෙන්ද, මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වෙයි. නැවතද මහණෙනි, රජහුගේ පිටිසරබද නගරයෙහි බොහෝ බල පිරිස වාසය කරයි. එනම්, ඇතුන් පිට නැගි පිරිස, අසුන් නැගි පිරිස, රිය නැගි, දුනු ගත්, වස්ත්‍ර සොළවන, ආහාර දෙන පිරිසද, උසස්වූ රාජ පුත්‍රයෝද, පණින්නාවූ මහා ඇත්තුද, ශූරවූ පැලුම්කරුවෝද, චර්ම යොධිහුද, දාසක පුත්‍රයෝද, යන මේ පස්වැනිවූ නගරාරක්‍ෂාවෙන් රජහුගේ පිටිසරබද නගරය අන්‍යයන්ගේ වැළැක්වීමෙන්ද, අභ්‍යන්තර ආරක්‍ෂාවෙන්ද, මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වෙයි. මහණෙනි, එපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ, අකුශල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස, කුශල ධර්මයන්ගේ වැඩීම පිණිස, උත්සාහ ඇත්තේ, දැඩි වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ වාසය කරයි. මහණෙනි, වීර්‍ය්‍ය බල කාය ඇත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම අකුශලය දුරු කරයි. කුශලය වඩයි. වැරදි දේ දුරුකරයි. නිවැරදි දේ වඩයි. පිරිසිදු ආත්මභාවය පරිහරණය කරයි. මේ පස්වැනි සද්ධර්මයෙන් යුක්තවුයේ වෙයි.

’’මහණෙනි, යම්සේ වනාහි රජුගේ පිටිසරබද නගරයෙහි රජහුගේ පිටිසරබද නගරය අන්‍යයන්ගේ වැළැක්වීමෙන්ද, අභ්‍යන්තර ආරක්‍ෂාවෙන්ද, මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වෙයි. නැවතද මහණෙනි, රජහුගේ පිටිසරබද නගරයෙහි පණ්ඩිතවූ, ව්‍යක්තවූ, නුවණැති, නොහඳුනන්නවුන් වළක්වන, හඳුනන්නවුන් ඇතුල් කරණ දොරටු පාලයෙක් වෙයි. මේ සවන නගරාරක්‍ෂාවෙන් රජහුගේ පිටිසරබද නගරය අන්‍යයන්ගේ වැළැක්වීමෙන්ද, අභ්‍යන්තර ආරක්‍ෂාවෙන්ද, මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වෙයි. මහණෙනි, එමෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම උතුම්වූ නුවණින් යුත් ස්මෘතියෙන් යුක්තවූයේ, කලකට පෙර කරණ ලද දේද, කලකට පෙර කියන ලද දේද සිහි කරන්නේ, අනුස්මරණය කරන්නේ, සිහි ඇත්තේ වේද,

’’මහණෙනි, සිහිය නමැති දොරටු පාලයා ඇති ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අකුශලය දුරු කරයි. කුශලය වඩයි. වැරදි දේ දුරු කරයි. නිවැරදි දේ වඩයි. පිරිසිදුවූ ආත්ම භාවයක් වඩයි. මේ සවැනි සද්ධර්මයෙන් යුක්තවුයේ වෙයි.

’’මහණෙනි, යම් සේ වනාහි රජුගේ පිටිසරබද නගරයෙහි නැවතද මහණෙනි, රජහුගේ පිටිසරබද නගරයෙහි උස්වූද, පළල්වූද, වර්ණාලේප පිරියම් කරණ ලද්දාවුද, ප්‍රාකාරයක් වෙයි. මේ සත්වන නගරාරක්‍ෂාවෙන් රජහුගේ පිටිසරබද නගරය අන්‍යයන්ගේ වැළැක්වීමෙන්ද, අභ්‍යන්තර ආරක්‍ෂාවෙන්ද, මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වෙයි. මේ සප්ත නගරාරක්‍ෂාවලින් මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වේ. මහණෙනි, එපරිද්දෙන්ම ආර්‍ය්‍යශ්‍රාවකතෙම උදයත්‍ථගාමිණී ප්‍රඥාවෙන් යුක්තවූයේ මනාකොට දුක් කෙළවර කරන්නාවූ ආර්‍ය්‍යවූ තියුණු ප්‍රඥාවෙන් යුක්තවූයේ, ප්‍රඥාවත් වේද, මහණෙනි, නුවණ නමැති වර්ණාලේප පිරියම් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අකුශලය දුරු කරයි. කුශලය වඩයි. වැරදි දේ දුරු කරයි. නිවැරදි දේ වඩයි. පිරිසිදුවූ ආත්මභාවයක් පරිහරණය කරයි. මේ සත්වැනිවූ සද්ධර්මයෙන් යුක්තවුයේ වෙයි.

’’මේ ධර්ම සතින් යුක්තවුයේ වෙයි. මෙලොවම සැප විහරණ ඇති, උසස් චෛතසිකයන්ගෙන් යුත්, ධ්‍යාන සතර පහසුවෙන් ලබයි. මඳ උත්සාහයෙන් ලබයි. නිදුකින් ලබයි. මහණෙනි, රජුගේ පිටිසරබද නගරයෙහි ඇතුළත අයගේ ඇල්ම පිණිසද, පීඩා නොවීම පිණිසද, පිටතින් පැමිණෙන අයගේ වැළැක්වීම පිණිසද, බොහෝ තෘණ, දර, දිය රැස් කරණ ලද්දේද, මහණෙනි, එමෙන්ම ආර්‍ය්‍යශ්‍රාවකතෙම තමන්ගේ ඇල්ම පිණිසද, පීඩා නොවීම පිණිසද, ඵාසු විහරණය පිණිසද, නිර්‍වාණයට බැසගැන්ම පිණිසද, කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් උපන් ප්‍රීති සැපය ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.

’’මහණෙනි, මේ සේ රජුගේ පිටිසරබද නගරයෙහි ඇතුළත වාසීන්ගේ ඇල්ම පිණිසද, පීඩා නොවීම පිණිසද, ඵාසු විහරණය පිණිසද, පිටතින් පැමිණෙන්නන්ගේ වැළැක්වීම පිණිසද, (2) බොහෝ ඇල් හා යව රැස් කරණ ලද්දේ වෙයි. එමෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තමන්ගේ ඇල්ම පිණිසද, පීඩා නොවීම පිණිසද, ඵාසු විහරණය පිණිසද, නිවණට බැස ගැනීම පිණිසද, විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන්, ආධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, චිත්තයාගේ එකඟත්වය ඇති, විතර්‍ක රහිතවූ, විචාර රහිතවූ, ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.

’’මහණෙනි, මේ සේ රජුගේ පිටිසරබද නගරයෙහි ඇතුළත වාසීන්ගේ ඇල්ම පිණිසද, පීඩා නොවීම පිණිසද, ඵාසු විහරණය පිණිසද, පිටතින් පැමිණෙන්නන්ගේ වැළැක්වීම පිණිසද, තල, මෑ, මුං හා වෙනත් ආහාර රැස් කරණ ලද්දේ වේ. මහණෙනි, එමෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තමන්ගේ ඇල්ම පිණිසද, පීඩා නොවීම පිණිසද, ඵාසු විහරණය පිණිසද, නිර්‍වාණයට බැස ගැන්ම පිණිසද, ප්‍රීතියගේ වෙන්වීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වාසය කරයි. සිහි ඇත්තේ, මනා දැනීම ඇත්තේ, කයින් සැපතද විඳියි. යමකට ආර්‍ය්‍යයන් වහන්සේලා උපෙක්‍ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහාරීයයි ආර්‍ය්‍යයන් වහන්සේලා කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.

’’මහණෙනි, මේ සේ රජුගේ පිටිසරබද නගරයෙහි ඇතුළත වාසීන්ගේ ඇල්ම පිණිසද, පීඩා නොවීම පිණිසද, ඵාසු විහරණය පිණිසද, පිටතින් පැමිණෙන්නන්ගේ වැළැක්වීම පිණිසද, බොහෝ බෙහෙත් රැස් කරණ ලද්දේ වෙයි. එනම්, ගිතෙල්, වෙඬරු, තෙල්, මීපැණි, ලුණු (යනාදියයි) මහණෙනි, එමෙන්ම, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම පීඩා නොවීම පිණිසද, ඵාසු විහරණය පිණිසද, නිර්‍වාණයට බැස ගැන්ම පිණිසද, සුඛයාගේ ප්‍රහාණයෙන්ද, දුක්ඛයාගේ ප්‍රහාණයෙන්ද, සොමනස්ස, දොමනස්සයන්ගේ ප්‍රහාණයෙන් පෙරම අදුක්ඛවු, අසුඛවූ, උපෙක්‍ෂා ස්මෘති යන මෙයින් පිරිසිදුවූ, චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි. මේ චෛතසිකයන්ගේ උසස් බව ඇති, මෙලොව සැප විහරණ ඇති, මේ සතර ධ්‍යානයන්ගේ පහසුවෙන් ලැබීම වෙයි. මඳ උත්සාහයෙන් ලැබීම වෙයි. නිදුකින් ලැබීම වෙයි. මහණෙනි, මේ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම, මහණෙනි, මේ තෙම ආර්‍ය්‍ය ශ්‍රාවකයයි කියයි. පාපීවූ මාරයා විසින් කිසිවක් නොකට හැකිය.’’