අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

1. පඨම පණ්ණාසකය

2. මහාවර්‍ගය

3. ආජඤ්ඤ සූත්‍රය

’’මහණෙනි, ගුණාඞ්ග අටකින් යුත් රජුගේ යහපත් ආජානීය අශ්වයා රජුට සුදුසු වෙයි. රජුගේ පරිභොගයට සුදුසු වෙයි. රජුගේ අඞ්ගයක්ය යන සංඛ්‍යාවට පැමිණෙයි.

’’කවර ගුණාඞ්ග අටකින්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි රජහුගේ යහපත් ආජානීය අශ්වයා මවු පාර්ශ්වයෙන්ද, පිය පාර්ශ්වයෙන්ද යන දෙපසින් යහපත්ව උපන්නේ වෙයි. යම් දිශාවෙක්හි අන්‍යවූ යහපත් ආජානීය අශ්වයෝ උපදිත් නම් ඒ දිශාවෙහි උපන්නේ වෙයි. ඔහුය අමුවූ හෝ, වියලුනාවූ යම්කිසි (තෘණාදී) ආහාරයක් දෙත් නම්, එය සකස්කොට, නොවිසුරුවාම අනුභව කරයි. අසූචියෙහි හෝ මූත්‍රයෙහි හිඳිනට හෝ නිදීමට පිළිකුල් කරයි. අන්‍යවූ අශ්වයන් ගැසීම්, සැපීම් ආදියෙන් නොපෙළයි. (තැතිනොගන්වයි.) හීලෑවූයේ වෙයි. සැපසේ (අන්‍යවූ අශ්වයන්) සමග වසයි. ඔහුගේ යම්කිසි කපටි බවක් හෝ, කුළු බවක් හෝ, ඇද බවක් හෝ, වක් බවක් හෝ වේද, ඒ ගති තත්ත්‍වූ පරිද්දෙන් නියමුවාහට (හික්මවන්නාහට) පහළ කරන්නේ වෙයි. ඔහුගේ ඒ ගති අස් ගොවුතෙම මැඩ පැවැත්වීම පිණිස උත්සාහ කරයි. සිය කැමැත්තෙන්ම බර උසුලයි. අන්‍යවූ අශ්වයෝ බර උසුලන්නාහු හෝ, නූසුලන්නාහු හෝ මම ම මෙහි මෙහි උසුලන්නෙමියි සිත උපදවයි. ගමන් කරන්නේ වනාහි, ඎජු මාර්ගයෙන්ම ගමන් කරයි. ශක්ති සම්පන්න වෙයි. ජීවිතයත්, මරණයත් අතර වීර්‍ය්‍ය උපදවන්නේ වෙයි. (ජීවිතය හෝ, මරණය ගැන නොසලකා උත්සාහ කරන්නේ වෙයි.) මහණෙනි, මේ ගුණාඞ්ග අටෙන් යුත් රජුගේ යහපත් ආජානීය අශ්වයා රජුට සුදුසු වෙයි. රජුගේ පරිභොගයට සුදුසු වෙයි. රජුගේ අඞ්ගයක්ය යන සංඛ්‍යාවට පැමිණෙයි.

’’මහණෙනි, එපරිද්දෙන්ම වනාහි ගුණ ධර්ම අටකින් යුක්තවූ භික්‍ෂු තෙම දුරසිට ගෙනා දෙය පිළිගැනීමට සුදුසුය. ඈතට ගෙන යා යුතු දේ පිළිගැනීමට සුදුසුය. දන්දීමට සුදුසුය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසුය. ලෝකයාගේ ශ්‍රෙෂ්ඨ පින් කෙතයයි

’’ඒ කවර ගුණ ධර්‍ම අටකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම සිල්වත් වූයේ වෙයි. ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරණය වූයේ වෙයි. ආචාර ශීලයෙන් හා ගෝචර ශීලයෙන් යුක්ත වෙයි. (සිරිත් විරිත් දන්නේ වෙයි.) ස්වල්ප මාත්‍රවූ වරදෙහි පවා බිය දක්නා සුළු වෙයි. ශික්‍ෂාපද සමාදන්ව (එහි) හික්මෙයි.

’’ඔහුට රූක්‍ෂවූ හෝ ප්‍රණීතවූ හෝ යම්කිසි භෝජනයක් දෙත් නම්, (එය) නොනසා, සකස්කොට වළඳයි. කාය දුශ්චරිතයද, වචී දුශ්චරිතයද, මනො දුශ්චරිතයද පිළිකුල් කරයි. අනේක ප්‍රකාරවූ, පවිටුවූ අකුශල ධර්මයන්ට පැමිණීම පිළිකුල් කරයි. සුරත වූයේ වෙයි. සැපසේ (අන්‍ය භික්‍ෂූන්) සමග වසන්නේ වෙයි. අන්‍ය භික්‍ෂූන් නොපෙළන්නේ වෙයි. ඔහුගේ යම්කිසි කපටි බවක් හෝ, කුළු බවක් හෝ, ඇද බවක් හෝ, වංක බවක් වී නම් ඒ බැව් තත්ත්‍වූ පරිද්දෙන් තථාගතයන් වහන්සේ සමිපයෙහි හෝ, නැණවත් සබ්‍රම්සරුන් සමීපයෙහි ප්‍රකාශ කරන්නේ වෙයි. ශාස්තෲන් වහන්සේ හෝ නැණවත් සබ්‍රම්සරහු ඔහුගේ ඒ දුර්ගති මැඩ පැවැත්වීමට උත්සාහ කරත්. සිය කැමැත්තෙන්ම හික්මෙන ලද්දේ වෙයි. ’අන්‍යවූ භික්‍ෂූහු හික්මුනා හෝ, නොහික්මුනා හෝ මම ම මෙහි හික්මෙමි’ යි යන සිත උපදවයි. ගමන් කරන්නේ වනාහි ඎජු මාර්ගයේම ගමන් කරයි. එහි මේ ඎජු මාර්ගයයි. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාවය, සම්‍යක් වචනය, සම්‍යක් කර්‍මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය (යනුයි.) පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේ වෙයි. (කෙසේද?) ඒකාන්තයෙන් මාගේ ශරීරයෙහි සම්, මස්, නහර, ඇට අවශෙෂ වේවා, මස්, ලේ වියලේවා, පුරුෂ බලයෙන්, පුරුෂ වීර්‍ය්‍යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතුවූ යමක් ඇත්තේද, එයට නොපැමිණ වීර්‍ය්‍යය බහා තැබිමකත් නොවන්නේය’ යි.

’’මහණෙනි, ගුණ ධර්ම අටකින් යුක්තවූ භික්‍ෂු තෙම දුරසිට ගෙනා දෙය පිළිගැනීමට සුදුසුය. ඈතට ගෙන යා යුතු දේ පිළිගැනීමට සුදුසුය. දන්දීමට සුදුසුය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසුය. ලෝකයාගේ ශ්‍රෙෂ්ඨ පින් කෙතයයි