අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

1. පඨම පණ්ණාසකය

4. දාන වර්‍ගය

4. ඛෙත්තූපම සූත්‍රය

’’මහණෙනි, අඞ්ග අටකින් යුක්තවූ කෙතෙහි වපුරණ ලද බීජය ධාන්‍ය ඵල වශයෙන් මහත්ඵල නොවේ. මහත්වූ ආශ්වාදය නොවේ. අභිවෘද්ධියක්ද නොවේ. කෙසේ අඞ්ග අටකින් යුක්තවූයේද යත්?

’’මහණෙනි, මෙහි කෙතෙහි වල ගොඩැලි ඇත්තේ වෙයි. ගල් බොරළු ඇත්තේද වෙයි. ජල බහුලවූයේද වෙයි. නගුලෙන් හාන්නට නොහැකිවූ තද භූමිය ඇත්තේද වෙයි. ජලය පමුණුවා ගැනීම දුෂ්කරවූයේද වෙයි. ජලය බැසයාම දුෂ්කරවූයේද වෙයි. (සෑහෙන ප්‍රමාණ) ලොකු කුඩා වේලි (දිය කානු) නැත්තේද වෙයි. (යොග්‍යවූ) නියරවල් නැත්තේද වේ. මහණෙනි, මෙසේ අෂ්ටාඞ්ගයෙන් යුක්තවූ කෙතෙහි වපුරණ ලද බීජය ධාන්‍ය ඵල වශයෙන් මහත්ඵල නොවේ. මහත්වූ ආශ්වාදය නොවේ. වී වැඩීමෙන් අභිවෘද්‍ධියක්ද නොවේ.

’’මහණෙනි, එපරිද්දෙන්ම වනාහි අෂ්ටාඞ්ග සමන්විතවූ මහණ බමුණන් විෂයෙහි දෙන ලද දානය මහත්ඵල නොවේ. මහානිශංස නොවේ. මහත්වූ ප්‍රභාවයක් නොවේ. මහත්වූ පතළවීමක් නොවේ.

’’කෙසේ අෂ්ටාඞ්ග සමන්විතවූ මහණ බමුණන් විෂයෙහිද යත්? මහණෙනි, මේ ලොකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මිසදිටුවෝ වෙත්. මිත්‍ථ්‍යා අදහස් ඇත්තෝ වෙත්. මුසාවාදාදී චතුර්විධ වාග් දුශ්චරිතයෙන් යුක්තවූවෝ වෙත්. ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කාය දුශ්චරිතයෙන් යුක්තවූවෝ වෙත්. පවිටුවූ ජීවිකා වෘත්ති ඇත්තාහු වෙත්. පවිටුවූ ව්‍යායාම් ඇත්තාහු වෙත්. පවිටුවූ සිත් ඇත්තාහු වෙත්. පාප අරමුණුවලින් එකඟවූ සිත් ඇත්තාහු වෙත්. මහණෙනි, එපරිද්දෙන්ම වනාහි අෂ්ටාඞ්ග සමන්විතවූ මහණ බමුණන් විෂයෙහි දෙන ලද දානය මහත්ඵල නොවේ. මහානිශංස නොවේ. මහත්වූ ප්‍රභාවයක් නොවේ. මහත්වූ පතළවීමක් නොවේ.

’’ මහණෙනි, (අන්‍යවූ) අෂ්ටාඞ්ගයකින් යුක්තවූ කෙතෙහි වපුරණ ලද බීජය මහත්ඵල වේ. මහත්වූ ආශ්වාදය වේ. වී වැඩීමෙන් අභිවෘද්‍ධිය වේ. කෙසේවූ අෂ්ටාඞ්ගයෙන් යුක්තවූ කෙතෙහිද යත්?

’’මහණෙනි, මෙහි කෙත වල ගොඩැලි රහිත වෙයි. ගල් බොරළු රහිත වෙයි. ජල බහුල නොවෙයි. ගැඹුරට හාන්නට හැකිවූ මෘදුවූ බිම වෙයි. ජලය පමුණුවා ගැනීම සුකරවූයේ වෙයි. ජලය බැසයාම සුකරවූයේ වෙයි. සෑහෙන ප්‍රමාණ ලොකු කුඩා දිය වේලි ඇත්තේ වෙයි. (යොග්‍යවූ) නියරවල් ඇත්තේ වේ. මහණෙනි, මෙසේ අෂ්ටාඞ්ගයෙන් යුක්තවූ කෙතෙහි වපුරණ ලද බීජය ධාන්‍ය ඵල වශයෙන් මහත්ඵල වේ. මහත්වූ ආශ්වාදය වේ. වී වැඩීමෙන් අභිවෘද්‍ධිය වේ.

’’මහණෙනි, එපරිද්දෙන්ම වනාහි අෂ්ටාඞ්ගයෙන් යුක්තවූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් විෂයෙහි දෙන ලද දානයද මහත් ඵල වේ. මහානිශංස වේ. මහත්වූ ප්‍රභාවය වේ. මහක්වූ පතළවීම වේ. කෙසේ අෂ්ටාඞ්ග සමන්විතවූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් විෂයෙහිද යත්?

’’මහණෙනි, මේ ශාසනයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සම්‍යක් දෘෂ්ටික වෙත්. සම්‍යක් කල්පනා ඇත්තාහු වෙත්. මුසාවාදාදියෙන් තොරව සම්‍යක් වචන ඇත්තාහු වෙත්. ප්‍රාණඝාතාදියෙන් තොරව යහපත් කර්මාන්ත ඇත්තාහු වෙත්. එක්විසි අනෙසන ධර්මයන්ගෙන් තොරව යහපත් ජීවිකා ඇත්තාහු වෙත්. සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්තවූවාහු වෙත්. සතර සතිපට්ඨාන ධර්මයෙන් යුක්තවූ, සම්‍යක් සිහියෙන් යුක්තවූවාහු වෙත්. ප්‍රථමද්‍ධ්‍යානාදී සම්‍යක් සමාධියෙන් යුක්තවූවාහු වෙත්.

’’මහණෙනි, අෂ්ටාඞ්ගයෙන් යුක්තවූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් විෂයෙහි දෙන ලද දානයද මහත් ඵල වේ. මහානිශංස වේ. මහත්වූ ප්‍රභාවය වේ. මහක්වූ පතළවීම වේ.’’

(1) ’’යම්සේ වනාහි සාරවත්වූ කෙතෙහි වපුරණ ලද බීජ සම්පත්තිය වර්‍ෂාව ඇතිවූ කල්හි ධ්‍යාන ඵල සම්පත්තියට හේතුවේ. පණු, මැසි ආදී උවදුරෙන් තොරවීම ඇතිවූ කල්හි තොරවීම ඇතිවු කල්හි අස්වැන්න වැඩිවීම නම්වූ වෘද්‍ධි සම්පදාව ඇතිවේ. (ඉක්බිති) තුන්වැනිවූ විපුලබව නමැති සම්පදාව ඇතිවේ. ඉන්පසු සම්පූර්‍ණ ඵලයවූ චිත්ත සම්පදාව ඇතිවේ.

(2) ’’එපරිද්දෙන්ම වනාහි සමෘද්‍ධවූ සිල්වතුන් විෂයෙහි දෙන ලද භෝජන සම්පත්ති තෙම ත්‍රිවිධ කුශල සම්පත්තියට පමුණුවයි. ඒ කරණ ලද කුශල ධර්‍මය සම්පූර්‍ණ හෙයිනි. එහෙයින් මේ ලෝකයෙහි ත්‍රිවිධ සම්පත්තිය කැමති වන්නාවූ පුද්ගල තෙම ක්‍ෂෙත්‍ර සම්පත්ති ආදියෙන් සමෘද්ධ වෙත්වා.

(3) ’’පරිපූර්‍ණ ප්‍රඥා ඇත්තාවූ, බුද්‍ධාදී උතුමන් සේවනය කෙරෙත්වා. එසේවූ කල්හි ත්‍රිවිධ සම්පත්තීහු සමෘද්‍ධ වෙත්. ත්‍රිවිද්‍යා පසළොස් චරණ ධර්‍මයන්ගෙන් යුක්තවූයේ, චිත්ත සම්පත්තිය ලැබ සම්පූර්‍ණ කර්‍මය කරයි. (එකල) සම්පූර්‍ණ අන්‍ර්‍ථ සම්පත්තියද ලබයි.

(4) ’’ලොකය තත්ත්‍වාකාරයෙන් දැන දෘෂ්ටි විශුද්‍ධි ඥාන සම්පත්තියට පැමිණෙන්නේය. ශ්‍රොතාපත්ති මාර්‍ගයට පැමිණ, සම්පූර්‍ණ සිත් ඇත්තේ, අර්‍හත්වයට පැමිණේ. සියලු කෙලෙස් මල කම්පා කොට හැර, නිර්‍වාණ සම්පත්තියට පැමිණ, සියලු දුකින් මිදේ. සියලු දුකින් මිදුනාවූ ඒ නිර්‍වාණ සම්පත්ති තොම, සර්‍වසම්පදා නම් වේ.