අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(6) 1. ගොතමී වර්‍ගය

1. (මහා පජාපතී) ගොතමී සූත්‍රය

’’එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රොධාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එකත්පසෙක සිටි මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, සත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙහි අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව ලබන්නේ නම් යහපතැ’ යි කීවාය.

’’ගොතමිය, කම් නැත. ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව තොපට රුචි නොවේවා.’’ දෙවනුවත් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, සත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙහි අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව ලබන්නේ නම් යහපතැ’ යි කීවාය. ’’ගොතමිය, කම් නැත. ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව තොපට රුචි නොවේවා.’’ තුන්වෙනුවත් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, සත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙහි අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව ලබන්නේ නම් යහපතැ’ යි කීවාය. ’’ගොතමිය, කම් නැත. ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව තොපට රුචි නොවේවා.’’

ඉක්බිති මහා ප්‍රජාපතී ගොතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ ස්ත්‍රියට තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිද්දට අවසර නොදේයයි දුක්වූවා, සිත නරක් වූවා, කඳුළු පිරුණු ඇසින් යුක්තව, බුදුන් වැඳ ප්‍රදක්‍ෂිණා කොට ගියාය.

’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් නුවර කැමතිතාක් කල් වැස, විශාලා මහනුවර යම් තැනෙක්හිද, එහි වැඩි සේක. පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන්නේ, විශාලා මහනුවර යම් තැනෙක්හිද, එහි විසූහ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරණ සේක. ඉක්බිති මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ හිසකෙස් සිඳුවා, කසට වස්ත්‍ර හැඳ, බොහෝ ශාක්‍ය ස්ත්‍රීන් සමග, විශාලා මහනුවර යම් තැනෙක්හිද, එහි වැඩි සේක. අනුක්‍රමයෙන් විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාව යම් තැනෙක්හිද, එහි පැමිණියාය.

’’ඉක්බිති මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ ඉදිමී ගිය පයින්, ධූලි වැකුණු සිරුරින්, දුක් වෙමින්, නරක්වූ සිතින්, කඳුළු පිරුණු ඇස් ඇත්තී, අඬමින් දොරටුවෙන් පිටත සිටියාය. ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඉදිමුණු පා ඇතිව, ධූලි වැකුණු අවයව ඇතිව, දුක්වූ, සිත නරක්වූ, කඳුළු පිරුණු මූන ඇතිව, අඬමින් දොරටුවෙන් පිටත සිටි මහා ප්‍රජාපතී ගොතමිය දැක, ’’ගොතමිය, නුඹ ඉදිමුණු පා වලින්, ධූලි වැකුණු අවයවවලින්, දුක්වූවා, සිත නරක්වූවා, කඳුළු පිරුණු ඇස් ඇත්තී, අඬමින් දොරටුවෙන් පිටත කුමක් නිසා සිටින්නෙහිද?’’

’’ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, එසේමය. භාග්‍යවතුන් වහන්සේ ස්ත්‍රියට තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිද්දට අවසර නොදෙති’’ ’’ගොතමිය, එසේ වී නම් යම්තාක් මම ස්ත්‍රියට තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික නම් ශාසනයෙහි පැවිද්ද ඉල්වම්ද, ඒතාක් මෙසේම ඈත්ව සිටින්නැ’’ යි කීසේක.

’’ඉක්බිති, ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටි සේක. එකත්පසෙක සිටි ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ ඉදිමී ගිය පයින්, ධූලි වැකුණු සිරුරින්, දුක් වෙමින්, නරක්වූ සිතින්, කඳුළු පිරුණු ඇස් ඇත්තී, අඬමින් දොරටුවෙන් පිටත සිටියාය. ’’ස්වාමීනි, සත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙහි අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව ලබන්නේ නම් යහපතැ’ යි කියයි. ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිකවූ පැවිද්ද ලබන්නේ නම් යෙහෙකැ’’ යි කී සේක.

’’ආනන්‍දය, කම් නැත. ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව තොපට රුචි නොවේවා.’’ දෙවනුවත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, ’’ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිකවූ පැවිද්ද ලබන්නේ නම් යෙහෙකැ’’ යි කී සේක. ’’ආනන්‍දය, කම් නැත. ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව තොපට රුචි නොවේවා.’’ තුන්වෙනුවත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, ’’ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිකවූ පැවිද්ද ලබන්නේ නම් යෙහෙකැ’’ යි කී සේක. ’’ආනන්‍දය, කම් නැත. ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව තොපට රුචි නොවේවා.’’

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට ’’භාග්‍යවතුන් වහන්සේ, ස්ත්‍රියට තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිද්දට අවසර නොදෙති. ස්ත්‍රියට තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාත පැවිද්ද අන් අයුරකින් ඉල්වන්නේ නම් යෙහෙකැ’’ යි සිතූ සේක.

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාත පැවිද්ද ලබා සෝවාන් ඵලය හෝ සකෘදාගාමී ඵලය හෝ අනාගාමී ඵලය හෝ අර්හත් ඵලය හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසුදැ’’ යි ඇසූ සේක. ආනන්‍දය, ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාත පැවිද්ද ලබා සෝවාන් ඵලය හෝ සකෘදාගාමී ඵලය හෝ අනාගාමී ඵලය හෝ අර්හත් ඵලය හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසුය.’’

’’ඉදින් ස්වාමීනි, ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාත පැවිද්ද ලබා සෝවාන් ඵලය හෝ සකෘදාගාමී ඵලය හෝ අනාගාමී ඵලය හෝ අර්හත් ඵලය හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නම් ස්වාමීනි, මහා ප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාරීය. මවගේ සහෝදරියය. මවකළුරිය කළාට පසු භාග්‍යවතුන් වහන්සේව දැඩිකළාය. පොෂ්‍ය කළාය. කිරි පෙවීය. ස්වාමීනි, ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික නම් ශාසනයෙහි පැවිද්ද ලබන්නේ නම් යෙහෙකැ’’ යි සැළකළ සේක.

’’ආනන්‍දය, ඉදින් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ බර කරුණු අටක් පිළිගන්නේ නම් එයම ඇයට උපසම්පදාව වේවා.

’’උපසම්පදා වී වර්‍ෂ සියයක් ගිය භික්‍ෂුණිය විසින්ද එදා උපසම්පදා වූ මහණහට වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම දොහොත් මුදුන් දීම, ගෞරවය, කටයුතුය. මේ ධර්‍මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය.

’’භික්‍ෂුණිය විසින් භික්‍ෂූන් නැති ආවාසයක වස් නොවිසිය යුතුය. මේ ධර්‍මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. අඩ මසකට වරක් භික්‍ෂුණිය විසින් භික්‍ෂු සංඝයාගෙන් පොහොය විචාරීමද, අවවාද ඇසීමට පැමිණීද කට යුතුයි. මේ ධර්‍මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. වස් විසූ භික්‍ෂුණිය විසින් භික්‍ෂු සංඝයා කෙරෙහි කරුණු තුනකින් පවාරණය කටයුතුය.

’’දැකීමෙන් හෝ, ඇසීමෙන් හෝ, මුත වශයෙන් දැයි යන තුනෙනි. මේ ධර්‍මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. ගරු ඇවැතකට පැමිණි භික්‍ෂුණිය විසින් සංඝයා දෙකොටස වෙත පක්‍ෂයක් පුරණ හික්මීමෙහි හැසිරිය යුතුයි. මේ ධර්‍මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. දෙ වර්‍ෂයක් ධර්‍ම සයෙක්හි හික්මෙන ලද හික්මීම් ඇතිව හික්මෙන්නිය විසින් දෙ වැදෑරුම් සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුතුය. මේ ධර්‍මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. කිසියම් කරුණකින් භික්‍ෂුණිය විසින් භික්‍ෂූන්ට ආක්‍රොශ නොකළ යුතුය. පරිභව නොකළ යුතුය. මේ ධර්‍මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය.

’’ආනන්‍දය, අද පටන් භික්‍ෂුණීන්ට භික්‍ෂූන් කෙරෙහි වචන මාර්‍ගය වැසූයේය. භික්‍ෂුණීන්ට භික්‍ෂූන් කෙරෙහි වචන මාර්‍ගය නොවැසුවේය. මේ ධර්‍මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. ආනන්‍දය, ඉදින් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ මේ ගරු ධර්‍ම අට පිළිගනීද එයම ඇයට උපසම්පදාවක් වේවා.’’

ඉක්බිති ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගරු ධර්‍ම අට උගෙන මහා ප්‍රජාපතී ගෝතමිය යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ, මහා ප්‍රජාපතී ගෝතමියට, ’’ගොතමිය, ඉදින් ඔබ බර පොරොන්දු අටක් පිළිගන්නෙහි නම් එයම තොපට උපසම්පදාව වේ.

’’උපසම්පදා වී වර්‍ෂ සියයක් ගිය භික්‍ෂුණිය විසින්ද එදා උපසම්පදා වූ මහණහට වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම දොහොත් මුදුන් දීම, ගෞරවය, කටයුතුය. මේ ධර්‍මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය.

’’භික්‍ෂුණිය විසින් භික්‍ෂූන් නැති ආවාසයක වස් නොවිසිය යුතුය. මේ ධර්‍මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. අඩ මසකට වරක් භික්‍ෂුණිය විසින් භික්‍ෂු සංඝයාගෙන් පොහොය විචාරීමද, අවවාද ඇසීමට පැමිණීද කට යුතුයි. මේ ධර්‍මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. වස් විසූ භික්‍ෂුණිය විසින් භික්‍ෂු සංඝයා කෙරෙහි කරුණු තුනකින් පවාරණය කටයුතුය.

’’දැකීමෙන් හෝ, ඇසීමෙන් හෝ, මුත වශයෙන් දැයි යන තුනෙනි. මේ ධර්‍මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. ගරු ඇවැතකට පැමිණි භික්‍ෂුණිය විසින් සංඝයා දෙකොටස වෙත පක්‍ෂයක් පුරණ හික්මීමෙහි හැසිරිය යුතුයි. මේ ධර්‍මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. දෙ වර්‍ෂයක් ධර්‍ම සයෙක්හි හික්මෙන ලද හික්මීම් ඇතිව හික්මෙන්නිය විසින් දෙ වැදෑරුම් සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුතුය. මේ ධර්‍මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. කිසියම් කරුණකින් භික්‍ෂුණිය විසින් භික්‍ෂූන්ට ආක්‍රොශ නොකළ යුතුය. පරිභව නොකළ යුතුය. මේ ධර්‍මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය.

’’අද පටන් භික්‍ෂුණීන්ට භික්‍ෂූන් කෙරෙහි වචන මාර්‍ගය වැසූයේය. භික්‍ෂුණීන්ට භික්‍ෂූන් කෙරෙහි වචන මාර්‍ගය නොවැසුවේය. මේ ධර්‍මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. ඉදින් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ මේ ගරු ධර්‍ම අට පිළිගනීද එයම ඇයට උපසම්පදාවක් වේවා.’’

’’ගොතමිය, ඉදින් ඔබ බර පොරොන්දු අටක් පිළිගන්නෙහි නම් එයම තොපට උපසම්පදාව වේ.

’’ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයෙනි, සත්‍රියක් හෝ, පුරුෂයෙක් හෝ, ළදරු වූයේ, තරුණ වූයේ, සැරසීම ස්වභාවකොට ඇත්තේ, හිස පටන් නෑවේ, උපුල් මල් මාලාවක් හෝ, ඉද්ද මල් මාලාවක් හෝ, කෝඹු මල් මාලාවක් හෝ, ලබා දෑතින් පිළිගෙන, උත්තමාඞ්ගයවූ හිසෙහි පිහිටුවන්නේය. ස්වාමීනි, එසේම මම දිවි ඇතිතාක් නොඉක්මවිය යුතුවූ මේ ගරු ධර්‍ම අට පිළිගන්නෙමි.’’

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටි සේක. එකත් පසෙක සිටි ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, මහා ප්‍රජාපතී ගෝතමිය විසින් දිවි ඇතිතාක් නොඉක්මවිය යුතුයයි අෂ්ට ගරු ධර්‍මයන් පිළිගන්නා ලදී.

’’ආනන්‍දය, ඉදින් ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙහි පැවිද්ද නොලැබූයේ නම්, ආනන්‍දය, බ්‍රහ්මචර්‍ය්‍යය බොහෝ කල් සිටියේ වන්නේය. වර්‍ෂ දහසක් සද්‍ධර්‍මය පිහිටන්නේය. ආනන්‍දය, යම් දවසෙක සිට ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් සස්නෙහි පැවිදි වූයේද, ආනන්‍දය, දැන් බ්‍රහ්මවර්‍ය්‍යය (ශාසනය) බොහෝ කල් නොපවත්නේය. ආනන්‍දය, දැන් වර්‍ෂ පන්සියයක් සද්‍ධර්‍මය සිටින්නේය.

’’ආනන්‍දය, යම්සේ යම්කිසි කුලයක ස්ත්‍රීහු වැඩිවෙත්ද, පුරුෂයන් අඩුවෙත්ද, ඒ කුල ගම් පහරණ සොරුන් විසින් පහසුවෙන් මැඩ පැවැත්විය යුත්තාහු වෙත්. ආනන්‍දය, එසේම යම් ධර්‍ම විනයෙක්හි ස්ත්‍රිය ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්ද ලබයිද, ඒ බ්‍රහ්මචර්‍ය්‍යය (ශාසනය) බොහෝ කල් නොපවත්නේ වේ.

’’ආනන්‍දය, සම්පූර්‍ණවූ හැල් කෙතෙහි සුදු ඇට ඇති රෝගය පහළවේද, එසේ ඒ හැල් කෙත බොහෝ කල් නොපවත්නේ වේ. ආනන්‍දය, එසේම ස්ත්‍රිය යම් ධර්‍ම වින යෙක්හි පැවිද්ද ලබයිද, ඒ ධර්‍ම විනය බොහෝ කල් නොපවතී. ආනන්‍දය, යම් සේ වැඩුණු උක් හේන කමඤ්ජෙට්ඨික නම් රෝගය වැටෙයිද, එසේ ඒ උක් කෙත බොහෝ කලක් නොපවතී. ආනන්‍දය, එසේම යම් ධර්‍ම විනයෙක්හි ස්ත්‍රිය ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදිවේද, ඒ බ්‍රහ්මචර්‍ය්‍යය (ශාසනය) බොහෝ කල් නොපවත්නේ වේ. ආනන්‍දය, පුරුෂයෙක් යම් සේ මහත් විලකට මුලින් ජලය නොඉක්මීම පිණිස ඉවුරක් බඳින්නේය. ආනන්‍දය, එසේම මා විසින් ප්‍රථම කොට භික්‍ෂුණීන්ට දිවිහිම්කොට නොඉක්මවිය යුතුවූ ගරු ධර්‍ම අටක් පණවන ලදී.’’