අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(6) 1. ගොතමී වර්‍ගය

7. පඨම ආහුණෙය්‍ය අඨධම්ම සූත්‍රය

’’මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණ තෙම ( මෙහි, 4 අඞ්ගුත්තර නිකායේ ආහුණෙය්‍ය වර්‍ගයේ 10 සූත්‍රයේ 6 (2) (3) ඡේදය යෙදිය යුතුයි. )

’’කිනම් අටකින්ද යත්? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා හැසිරීමෙන් යුක්තවූයේ, ස්වල්පමාත්‍ර වරදෙහි බිය දක්නා සුළු වූයේ, ශික්‍ෂා පද සමාදන්ව රකීද, බහුශ්‍රුත වේද, අසන ලද්ද දරන ලද්දේ, රැස්කරණ ලද්දේ වේද,

’’යහපත් අය සහාය කොට ඇති, යහපත් අයට නැමෙන කල්‍යාණ මිත්‍රයෙක් වේද, යහපත් පෙනීමෙන් යුත් සම්‍යක් දෘෂ්ටිකයෙක් වේද, ශ්‍රෙෂ්ඨ සිතව අයත් මේ ආත්මයෙහි අප්‍රමාදය ඇති ධ්‍යාන සතර පහසුවෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේද, සැපෙන් ලබන්නේ වේද,

’’නානා ප්‍රකාර පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරයි. එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති සතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් නැසෙන කල්පයන්ද, නොයෙක් වැඩෙන කල්පයන්ද, නොයෙක් නැසෙන හා වැඩෙන කල්පයන්ද සිහිකෙරෙයි. (කෙසේද) ’’මම අසවල් තැන උපන්නෙම්

’’මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්‍ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි.

’’එහිද මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්‍ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙක් වෙමියි මෙසේ ආකාර සහිතවූ, නාම ගෝත්‍රවශයෙන් දැක්වීම් සහිතවූ නොයෙක් පෙර විසූ ස්කන්‍ධයන් සිහි කෙරෙයි. ඔහු විසින් මේ පළමුවෙනි විද්‍යාව ලදී.

’’අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්‍ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි. හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්‍වයින් දකී. සත්ත්‍වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි.

’’පිරසිදුවූ මිනිස් ඇස ඉක්මවා සිටි නුවණින් හෙතෙම පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්ම පවත්නාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, දුර්‍වර්‍ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කම්වූ පරිද්දෙන් පැමිණියාවූ, සත්ත්‍වයන් දැනගණී. කෙසේද?

’’පින්වත්නි, මේ සත්ත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාග් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, බුද්ධාදී ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නෝය. මිත්‍යාදෘෂ්ටිකයෝය. මිසදිටුකම් සමාදන් වන්නෝය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, දුර්‍ගති නම්වූ, විනාශව වැටෙන්නාවූ, නිරයෙහි උපන්නාහුය. පින්වත්නි මේ සත්ත්‍වයෝ වනාහි, කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, බුද්ධාදී ආර්‍යයන්ට උපවාද (ගර්‍හා) නොකරන්නාහුය. කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුය. සම්‍යක් දෘෂ්ටි කර්‍ම සමාදන් වන්නාහුය. ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් පසු මනාගති ඇත්තාවූ සැපතින් ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහු කියායි. මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූද, උසස්වූද, මනාවූ (ශරීර) වර්‍ණ ඇත්තාවූද, මනාවූ වර්‍ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්‍මය පරිදි මිය පරලොව ගියාවූ සත්ත්‍වයන් දැනගනිත්. ඔහු විසින් මේ දෙවෙනි විද්‍යාව ලදී.

’’අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්‍ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි. හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්‍වයින් දකී. සත්ත්‍වයන්ගේ ආශ්‍රවක්‍ෂය දැනගන්නා නුවණ පිණිස සිත නමයි. මේ දුකයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ දුක් ඇතිවීමේ හේතුවයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිදි දැන ගනී. මේ දුක් නැතිකිරීමේ මාර්‍ගයයි තත්වූ පරිදි දැනගනී.

මේ ආශ්‍රවයෝයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ නැතිවීමයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන් නැතිකිරීමට යන ප්‍රතිපදාව (මාර්‍ගයයි) තත්වූ පරිද්දෙන් දනී. මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ඔහුගේ සිත කාම නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. භව නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. අවිද්‍යා නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. මිදුන කල්හි, මිදුනේය යන නුවණ වේ. ඉපදීම ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මත්තට යමක් නැතැයි දනී. ඔහු විසින් මේ තුනවෙනි විද්‍යාව ලබන ලද්දීය. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්‍ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි.

’’මහණෙනි, මේ කරුණු අටින්වූ මහණ තෙම ( මෙහි, 4 අඞ්ගුත්තර නිකායේ ආහුණෙය්‍ය වර්‍ගයේ 10 සූත්‍රයේ 6 (2) (3) ඡේදය යෙදිය යුතුයි. )