අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(7) 2. චාපාල වර්‍ගය

3. චිත්තසණ්ඨාපන සූත්‍රය

ඉක්බිති එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ ඒ භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය. ’’ස්වාමීනි, යහපති. මට භාග්‍යවතුන් වහන්සේ කෙටිවූ ධර්මයක් දේශනා කෙරේවා! මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ඒ ධර්මයක් අසා තනිවූයේ, වෙන්වූයේ, අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සිතින් දුරු කළ ආත්ම භාවය ඇතිව වාසය කරන්නෙමි’’ කියායි. ’’මෙපරිද්දෙන්ම මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ මටම ආරාධනා කරත්. ධර්මය දේශනා කළ කල්හි මාම ලුහු බැඳිය යුතුයයි සිතත්. මට භාග්‍යවතුන් වහන්සේ කොටින් ධර්මය දේශනා කෙරේවා, මට සුගතයන් වහන්සේ කොටින් ධර්මය දේශනා කෙරේවා, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ අර්ත්‍ථය මම දැනගන්නෙම් නම් ඉතා යෙහෙක. මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට දායාද කරුවෙක් වන්නෙම් නම් ඉතා යෙහෙක,’’ යනුයි.

’’එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි. අධ්‍යාත්මිකවූම හිත එකඟ වන්නේද, තැන්පත් වන්නේද, උපන් ලාමක අකුශල ධර්‍මයෝ හිත පැතිර නොපවතිත් යනුයි. මහණෙනි, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි. යම් හෙයකින් ඔබගේ අධ්‍යාත්මිකවූම හිත එකඟ වන්නේද, තැන්පත් වන්නේද, උපන් ලාමක අකුශල ධර්‍මයෝ හිත පැතිර නොපවතිත් යනුයි. මහණෙනි, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

’’මා විසින් මෛත්‍රී චෙතො විමුක්තිය පුරුදු කරන්නේද, බහුල වශයෙන් වඩන්නේද, ඉතා පුරුදු කරන්නේද, අඩිතාලමක් මෙන් ස්ථිරව පුහුණු කරන්නේද, නොනැගිට පුරුදු කරන්නේද, බලවත් සේ ආරම්භ කරන්නේද යනුයි. එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

’’මහණ, යම් හෙයකින් ඔබ විසින් මේ සමාධිය මෙසේ වඩන ලද්දේ, මෙසේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේද, ඉන්පසු මහණ, ඔබ මේ සමාධිය විතර්‍ක සහිතව, විචාර සහිතව වඩව. අවිතර්‍කව විචාරයෙන් පමණක් වඩව. විතර්‍ක රහිතව විචාර සහිතව වඩව. ප්‍රීතිය සහිතව වඩව. ප්‍රීතිය රහිතව වඩව. සැපය සහිතව වඩව. උපෙක්‍ෂා සහගතව වඩව. මහණ, යම් හෙයකින් ඔබ මේ සමාධිය වඩන ලද්දේ, මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ඉන්පසු එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

’’මා විසින් කරුණා චෙතො විමුක්තිය - මුදිතා චෙතො විමුක්තිය - උපෙක්‍ෂා චෙතො විමුක්තිය - පුරුදු කරන්නෙක් වන්නේය. බහුල වශයෙන් වඩන්නෙක් වන්නේය. බොහෝ පුරුදු කරන්නෙක් වන්නේය. අඩිතාලමක් මෙන් ස්ථිරව පුරුදු කරන්නෙක් වන්නේය. නොනැගිට පුරුදු කරන්නෙක් වන්නේය. බලවත් සේ ආරම්භ කරන්නෙක් වන්නේය යනුයි. එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

’’මහණ, යම් හෙයකින් ඔබ විසින් මේ සමාධිය වඩන ලද්දේ වේද, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ වේද, ඉන්පසු මහණ, ඔබ මේ සමාධිය විතර්‍ක සහිතව, විචාර සහිතව වඩව. විතර්‍ක රහිතව විචාර රහිතව වඩව. ප්‍රීතිය රහිතව වඩව. සැපය සහිතව වඩව. උපෙක්‍ෂා සහගතව වඩව. මහණ, යම් හෙයකින් ඔබ විසින් මේ සමාධිය වඩන ලද්දේ වේද, මනාසේ පුරුදු කරණ ලද්දේ වේද, එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

’’කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, මනා ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ලොකයෙහි දැඩි ලෝභය හා දොම්නස හික්මවා කයෙහි කය අනුව බලමින් වාසය කරන්නෙමි කියායි. එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

’’යම් හෙයකින් මහණ, ඔබ විසින් මේ සමාධිය වඩන ලද්දේද, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේද, ඉන්පසු මහණ, ඔබ මේ සමාධිය විතර්‍ක සහිතව, විචාර සහිතව වඩව. විතර්‍ක රහිතව විචාර රහිතව වඩව. ප්‍රීතිය රහිතව වඩව. සැපය සහිතව වඩව. උපෙක්‍ෂා සහිතව වඩව. මහණ, යම් හෙයකින් වනාහි ඔබ විසින් මේ සමාධිය මෙසේ වඩන ලද්දේ වේද, මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

’’කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, මනා ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ලොකයෙහි දැඩි ලෝභය හා දොම්නස දුරුකොට වේදනාවන්හි - සිතෙහි - ධර්‍මයෙහි ධර්‍මය අනුව බලමින් වාසය කරන්නෙමි යනුවෙනි. එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

’’යම් හෙයකින් මහණ, ඔබ විසින් මේ සමාධිය මෙසේ වඩන ලද්දේ වේද, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ වේද, ඉන්පසු මහණ, ඔබ මේ සමාධිය විතර්‍ක සහිතව, විචාර සහිතව වඩව. විතර්‍ක රහිතව විචාර රහිතව වඩව. විතර්‍ක රහිතව විචාර සහිතව වඩව. විතර්‍ක රහිතව, විචාර රහිතව වඩව. ප්‍රීතිය සහිතව වඩව. ප්‍රීතිය රහිතව වඩව. සැපය සහිතව වඩව. උපෙක්‍ෂා සහගතව වඩව. මහණ, යම් හෙයකින් ඔබ මේ සමාධිය වඩන ලද්දේ වේද, මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ඉන්පසු මහණ, ඔබ යම් යම් කරුණකින් යේනම් පහසු පරිදිම යව. යම් යම් තැනක සිටී නම් පහසු පරිදිම සිටුව. යම් යම් තැනක හිඳගන්නෙහි නම් පහසු පරිදිම හිඳගනුව. යම් යම් තැනක නිදන්නෙහි නම් පහසු පරිදිම නිදාගනුව.’’ යනුයි.

භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරණ ලද ඒ භික්‍ෂුව ඉක්බිති අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, ප්‍රදක්‍ෂිණා කොට ගියේය.

ඉක්බිති (හෙතෙම) ඒ භික්‍ෂුව තනිවූයේ, වෙන්වූයේ, අප්‍රමාද වූයේ, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සිතින් දුරු කළ ආත්ම භාවය ඇතිව වසන්නේ, ටික කලකින්ම, යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදි වෙද්ද, බඹසර කෙළවරකොට ඇති උතුම්වූ රහත් ඵලය මෙලොවදීම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, එයට පැමිණ, වාසය කෙළේය. ජාතිය (ඉපදීම) ක්‍ෂය කරණ ලදී. බ්‍රහ්මචරියාව වැස නිමවන ලදී. කටයුතු කොට නිමවන ලදී. කෙලෙසුන් නැසීම පිණිස තවත් භාවනායක් නැතැයි දැන ගත්තේය. ඒ භික්‍ෂුව රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.’’