අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
2. දුතිය පණ්ණාසකය
(7) 2. චාපාල වර්‍ගය
10. ආයු සංඛාරොස්සජන (හෝ) භූමිචාලහෙතු සූත්‍රය
’’එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා නගර ආසන්න මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරණ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙන, විශාලා නගරයෙහි පිඬු පිණිස හැසුරුණ සේක. විශාලාවෙහි පිඬු පිණිස හැසිර, සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට ඇමතූ සේක. ’’ආනන්‍දය, හිඳගන්නා ඇතිරිල්ල ගන්න. චාපාල චෛත්‍යස්ථානය යම් තැනකද, දිවා විහරණය පිණිස එහි යන්නෙමු’’ ’’එසේය, ස්වාමිනි,’’ යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ප්‍රති වචන දී, වැඩ හිඳින ඇතිරිල්ල රැගෙන භාග්‍යවතුන් වහන්සේට පිටුපසින් ගියේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍ය ස්ථානය යම් තැනකද, එතැන්හි වැඩි සේක. එසේ වැඩ පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. වැඩහිඳ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඇමතූ සේක.
’’ආනන්‍දය, විශාලාව සිත් කලුය. උදේනී චෛත්‍ය ස්ථානය සිත් කලුය. ගොතමක චෛත්‍ය ස්ථානය සිත් කලුය. බහුපුත්‍ර චෛත්‍ය ස්ථානය සිත් කලුය. සත්තම්බක චෛත්‍ය ස්ථානය සිත් කලුය. සාරන්දදම් චෛත්‍ය ස්ථානය සිත් කලුය. චාපාල චෛත්‍ය ස්ථානය සිත් කලුය. ආනන්‍දය, යම් කිසිවකු සතර ඎද්‍ධිපාදයෝ වඩනා ලද්දාහු, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දාහු, බොහෝ පුරුදු කරණ ලද්දාහු, අඩිතාලමක් මෙන් කරණ ලද්දාහු, නොනැගිට පුරුදු කරණ ලද්දාහු වෙත්ද, ආනන්‍දය, හෙතෙම ඉදින් කැමති නම් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් සිටිය හැකිය. ’’ආනන්‍දය, තථාගතයන් වහන්සේ විසින් සතර (කැමැත්ත, සිත, වීර්යය, විමසීම) ඎද්ධිපාදයෝ වඩන ලදී. බහුල වශයෙන් පුරුදු කරණ ලදී. අඩිතාලමක් මෙන් කරණ ලදී. ආනන්‍දය, තථාගතයන් වහන්සේ කැමතිවන්නේ නම් කල්පයක් හෝ එයට වැඩියක් කල් සිටිය හැකිය.’’
’’මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඕලාරික නිමිති (ලොකු කරුණු දැක්වීම්) කරද්දී, ඕලාරික ඕභාසයන් (ලොකු එළිදරව් කිරීම්) කරද්දී, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට අවබෝධ කරගන්ට නොහැකි විය. උන්වහන්සේ මාරයා විසින් වසන ලද සිත් ඇති බැවින්, ’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කල්පයක් කල් සිටින සේක්වා. ස්වාමිනි, සුගතයන් වහන්සේ කල්පයක් කල් සිටින සේක්වා. බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස’’ යයි භාග්‍යවතුන් වහන්සේට ආරාධනා නොකෙළේය.
’’ භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වරටද, තුන්වෙනි වරටද, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඇමතූ සේක. ’’ආනන්‍දය, විශාලාව සිත් කලුය. උදේනී චෛත්‍ය ස්ථානය සිත් කලුය. ගොතමක චෛත්‍ය ස්ථානය සිත් කලුය. බහුපුත්‍ර චෛත්‍ය ස්ථානය සිත් කලුය. සත්තම්බක චෛත්‍ය ස්ථානය සිත් කලුය. සාරන්දදම් චෛත්‍ය ස්ථානය සිත් කලුය. චාපාල චෛත්‍ය ස්ථානය සිත් කලුය. ආනන්‍දය, යම් කිසිවකු සතර ඎද්‍ධිපාදයෝ වඩනා ලද්දාහු, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දාහු, බොහෝ පුරුදු කරණ ලද්දාහු, අඩිතාලමක් මෙන් කරණ ලද්දාහු, නොනැගිට පුරුදු කරණ ලද්දාහු වෙත්ද, ආනන්‍දය, හෙතෙම ඉදින් කැමති නම් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් සිටිය හැකිය. ’’ආනන්‍දය, තථාගතයන් වහන්සේ විසින් සතර (කැමැත්ත, සිත, වීර්යය, විමසීම) ඎද්ධිපාදයෝ වඩන ලදී. බහුල වශයෙන් පුරුදු කරණ ලදී. අඩිතාලමක් මෙන් කරණ ලදී. ආනන්‍දය, තථාගතයන් වහන්සේ කැමතිවන්නේ නම් කල්පයක් හෝ එයට වැඩියක් කල් සිටිය හැකිය.’’
’’මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඕලාරික නිමිති (ලොකු කරුණු දැක්වීම්) කරද්දී, ඕලාරික ඕභාසයන් (ලොකු එළිදරව් කිරීම්) කරද්දී, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට අවබෝධ කරගන්ට නොහැකි විය. උන්වහන්සේ මාරයා විසින් වසන ලද සිත් ඇති බැවින්, ’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කල්පයක් කල් සිටින සේක්වා. ස්වාමිනි, සුගතයන් වහන්සේ කල්පයක් කල් සිටින සේක්වා. බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස’’ යයි භාග්‍යවතුන් වහන්සේට ආරාධනා නොකෙළේය.
’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඇමතූ සේක. ’’ආනන්‍දය, යන්න. ඔබ දැන් කාලය දැනගන්න.’’ ’’එසේය, ස්වාමීනි,’’ යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ප්‍රති වචන දී, අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, ප්‍රදක්‍ෂිණා කොට භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි එක්තරා ගසක් මුල හිඳ ගත්හ.
’’ඉක්බිති පාපීවූ මාර තෙමේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ බැහැර ගොස් ටික වේලාවකින් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. ’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් යන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවන් යන සේක්වා. ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කාලයයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචනය ප්‍රකාශ කරණ ලද්දේ නොවේද, එනම් ’යම්තාක් මාගේ භික්‍ෂු ශ්‍රාවකයෝ ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවු, පැමිණි නිවණ ඇති, බහුශ්‍රුතවූ, ධර්‍මධරවූ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නවූ, නිවැරදි පිළිවෙත් ඇති, ධර්‍මය අනුව හැසිරෙන්නෝ නොවෙද්ද, ස්වකීය ආචාර්‍ය්‍යවරයාගෙන් ඉගෙන ප්‍රකාශ නොකරද්ද, දේශනා නොකරද්ද, නොපනවද්ද, නොතබද්ද, විවෘත නොකරද්ද, ප්‍රකට නොකරද්ද, උපන් අන්‍ය වාද ධර්මානුගතව මනාසේ නිග්‍රහ කොට ප්‍රාතිහාර්‍ය්‍ය සහිතව ධර්මය දේශනා නොකරද්ද, ඒ තාක් මම පිරිනිවන් නොපාන්නෙමි’’ යි යනුවෙනි. ’’ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේගේ භික්‍ෂු ශ්‍රාවකයෝ ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවු, පැමිණි නිවණ ඇති, බහුශ්‍රුතවූ, ධර්‍මධරවූ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නවූ, නිවැරදි ප්‍රතිඥාව ඇති, ධර්‍මය අනුව හැසිරෙන්නෝ වෙති. ස්වකීය ආචාර්‍ය්‍යවරයාගෙන් ඉගෙන ප්‍රකාශ නොකර, දේශනා කෙරෙති, පණවති, තබති, විවෘත කෙරෙති, ප්‍රකට කෙරෙති. උපන් අන්‍ය වාද ධර්මානුගතව මනාසේ නිග්‍රහ කොට ප්‍රාතිහාර්‍ය්‍ය සහිතව ධර්මය දේශනා කෙරෙති.
’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් යන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවන් යන සේක්වා. ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කාලයයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචනය ප්‍රකාශ කරණ ලද්දේ නොවේද, එනම් ’යම්තාක් මාගේ භික්‍ෂුණී ශ්‍රාවිකාවෝ ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවු, පැමිණි නිවණ ඇති, බහුශ්‍රුතවූ, ධර්‍මධරවූ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නවූ, නිවැරදි පිළිවෙත් ඇති, ධර්‍මය අනුව හැසිරෙන්නෝ නොවෙද්ද, ස්වකීය ආචාර්‍ය්‍යවරයාගෙන් ඉගෙන ප්‍රකාශ නොකරද්ද, දේශනා නොකරද්ද, නොපනවද්ද, නොතබද්ද, විවෘත නොකරද්ද, ප්‍රකට නොකරද්ද, උපන් අන්‍ය වාද ධර්මානුගතව මනාසේ නිග්‍රහ කොට ප්‍රාතිහාර්‍ය්‍ය සහිතව ධර්මය දේශනා නොකරද්ද, ඒ තාක් මම පිරිනිවන් නොපාන්නෙමි’’ යි යනුවෙනි. ’’ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේගේ භික්‍ෂුණී ශ්‍රාවිකාවෝ ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවු, පැමිණි නිවණ ඇති, බහුශ්‍රුතවූ, ධර්‍මධරවූ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නවූ, නිවැරදි ප්‍රතිඥාව ඇති, ධර්‍මය අනුව හැසිරෙන්නෝ වෙති. ස්වකීය ආචාර්‍ය්‍යවරයාගෙන් ඉගෙන ප්‍රකාශ නොකර, දේශනා කෙරෙති, පණවති, තබති, විවෘත කෙරෙති, ප්‍රකට කෙරෙති. උපන් අන්‍ය වාද ධර්මානුගතව මනාසේ නිග්‍රහ කොට ප්‍රාතිහාර්‍ය්‍ය සහිතව ධර්මය දේශනා කෙරෙති.
’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් යන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවන් යන සේක්වා. ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කාලයයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචනය ප්‍රකාශ කරණ ලද්දේ නොවේද, එනම් ’යම්තාක් මාගේ උපාසක ශ්‍රාවකයෝ ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවු, පැමිණි නිවණ ඇති, බහුශ්‍රුතවූ, ධර්‍මධරවූ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නවූ, නිවැරදි පිළිවෙත් ඇති, ධර්‍මය අනුව හැසිරෙන්නෝ නොවෙද්ද, ස්වකීය ආචාර්‍ය්‍යවරයාගෙන් ඉගෙන ප්‍රකාශ නොකරද්ද, දේශනා නොකරද්ද, නොපනවද්ද, නොතබද්ද, විවෘත නොකරද්ද, ප්‍රකට නොකරද්ද, උපන් අන්‍ය වාද ධර්මානුගතව මනාසේ නිග්‍රහ කොට ප්‍රාතිහාර්‍ය්‍ය සහිතව ධර්මය දේශනා නොකරද්ද, ඒ තාක් මම පිරිනිවන් නොපාන්නෙමි’’ යි යනුවෙනි. ’’ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේගේ උපාසක ශ්‍රාවකයෝ ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවු, පැමිණි නිවණ ඇති, බහුශ්‍රුතවූ, ධර්‍මධරවූ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නවූ, නිවැරදි ප්‍රතිඥාව ඇති, ධර්‍මය අනුව හැසිරෙන්නෝ වෙති. ස්වකීය ආචාර්‍ය්‍යවරයාගෙන් ඉගෙන ප්‍රකාශ නොකර, දේශනා කෙරෙති, පණවති, තබති, විවෘත කෙරෙති, ප්‍රකට කෙරෙති. උපන් අන්‍ය වාද ධර්මානුගතව මනාසේ නිග්‍රහ කොට ප්‍රාතිහාර්‍ය්‍ය සහිතව ධර්මය දේශනා කෙරෙති.
’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් යන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවන් යන සේක්වා. ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කාලයයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචනය ප්‍රකාශ කරණ ලද්දේ නොවේද, එනම් ’යම්තාක් මාගේ උපාසිකා ශ්‍රාවිකාවෝ ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවු, පැමිණි නිවණ ඇති, බහුශ්‍රුතවූ, ධර්‍මධරවූ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නවූ, නිවැරදි පිළිවෙත් ඇති, ධර්‍මය අනුව හැසිරෙන්නෝ නොවෙද්ද, ස්වකීය ආචාර්‍ය්‍යවරයාගෙන් ඉගෙන ප්‍රකාශ නොකරද්ද, දේශනා නොකරද්ද, නොපනවද්ද, නොතබද්ද, විවෘත නොකරද්ද, ප්‍රකට නොකරද්ද, උපන් අන්‍ය වාද ධර්මානුගතව මනාසේ නිග්‍රහ කොට ප්‍රාතිහාර්‍ය්‍ය සහිතව ධර්මය දේශනා නොකරද්ද, ඒ තාක් මම පිරිනිවන් නොපාන්නෙමි’’ යි යනුවෙනි. ’’ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේගේ උපාසිකා ශ්‍රාවිකාවෝ ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවු, පැමිණි නිවණ ඇති, බහුශ්‍රුතවූ, ධර්‍මධරවූ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නවූ, නිවැරදි ප්‍රතිඥාව ඇති, ධර්‍මය අනුව හැසිරෙන්නෝ වෙති. ස්වකීය ආචාර්‍ය්‍යවරයාගෙන් ඉගෙන ප්‍රකාශ නොකර, දේශනා කෙරෙති, පණවති, තබති, විවෘත කෙරෙති, ප්‍රකට කෙරෙති. උපන් අන්‍ය වාද ධර්මානුගතව මනාසේ නිග්‍රහ කොට ප්‍රාතිහාර්‍ය්‍ය සහිතව ධර්මය දේශනා කෙරෙති.
’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචන ප්‍රකාශ කරණ ලද්දේ නොවේද? ’යම්තාක් මාගේ බ්‍රහ්මචරියාව සමෘද්‍ධවූයේ නොවේද, විස්තර සහිතවූයේ නොවේද, බොහෝ දෙනාට අයත්වූයේ නොවේද, ප්‍රකටවූයේ නොවේද, යම්තාක් දෙවි මිනිසුන් විසින් ප්‍රකාශ කරණ ලද්දේ නොවේද, ඒතාක් මම පිරිනිවන් නොපාන්නෙමි,’ යනුයි. ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේගේ බ්‍රහ්මචරියාව සමෘද්‍ධවූයේ වෙයි. විස්තර සහිතවූයේ වෙයි. බොහෝ දෙනාට අයත්වූයේ වෙයි. ප්‍රකටවූයේ වෙයි. යම්තාක් දෙවි මිනිසුන් විසින් ප්‍රකාශ කරණ ලද්දේ වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවන් යන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවන් පාන සේක්වා. ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවීමට කාලයයි.’’
’’පාපීවූ මාරය, තෝ උත්සාහ නොකරව. ටික කලකින් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීම සිදුවන්නේය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගතයන් වහන්සේගේ පිරිනිවීම සිදුවන්නේය.’’
’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍ය ස්ථානයෙහි සිහි ඇත්තේ, විමසන නුවණැත්තේ, ආයුසංස්කාරය හැරියේය. භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාරය හළ කල්හි මහා භූමි චලනයක් විය. භයජනකවූ, ලොමු ඩැහැ ගන්නාවූ, අහස් ගිගුරුමක්ද ඇතිවිය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන, ඒ වේලාවෙහි මේ ප්‍රීති වාකයය පහළ කළ සේක
(1) ’’බුද්ධ මුනිතෙම පුනර්භවය (නැවත ඉපදීම) ඇති කරණ කාමාවචර රූපාවචර කර්‍මද, අරූපාවචර කර්‍මද, නිරාලයව හැර දැමීය. රණ බිමක මහා යෝධයකු සන්නාහයක් බිඳලන්නා සේ විදර්‍ශනා භාවනාවේ ඇලුනේ, සමථ භාවනාවෙහි යෙදුනේ, ආධ්‍යාත්මික ක්ලේශ රාශිය බිඳලීය.’’
’’ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මේ අදහස විය. ’මේ භූමි චලනය විශාල විය. ඒකාන්තයෙන්ම මේ භූමි චලනය මහත් එකක් විය. භය උපදවන, ලොමු ඩැහැ ගන්වන, අහස් ගිගුරුමක්ද ඇතිවිය. මේ මහත් භූමි චලනයක් ඇතිවීමට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය ප්‍රකාශ කළහ. ’’ස්වාමීනි, මේ භූමි චලනය විශාල විය. ස්වාමීනි, ඒකාන්තයෙන්ම මේ භූමි චලනය මහත් එකක් විය. භය උපදවන, ලොමු ඩැහැගන්වන, අහස් ගිගුරුමක්ද ඇතිවිය. ස්වාමීනි, මේ මහත් භූමි චලනයක් ඇතිවීමට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’’
’’ආනන්‍දය, මහත් භූමි චලනයක් ඇතිවීමට මේ හේතු අටෙකි.
’’ඒ අට කවරේද? ආනන්‍දය, මේ මහා පෘථිවිය ජලයෙහි පිහිටියේ වෙයි. ජලය වාතයෙහි පිහිටියේය. වාතය ආකාශගතය. ආනන්‍දය, යම් කලෙක ඒ මහා වාතයෝ හමත්. මහා වාතය හමනවිට ජලය කම්පා වෙයි. ජලය කම්පා වන විට පෘථිවිය කම්පා වෙයි. ආනන්‍දය, මහත්වූ භූමි චලනයක් ඇතිවිමට මේ පළමුවන හේතුවයි. පළමුවන ප්‍රත්‍යයයි.
’’ආනන්‍දය, නැවතද, ඎද්ධි ඇති, සිත වසඟ කරගත්, ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, මහත් ඎද්ධි ඇති, මහානුභාව ඇති දේවතාවෙක් හෝ, ඔහුගේ ස්වල්පවූ පෘථිවි සංඥාව වඩන ලද්දේ වෙයි. අප්‍රමාණවූ අපො සංඥාවෙන් හෙතෙම මේ පොළොව කම්පා කරයි. විශෙෂයෙන් කම්පා කරයි. ආනන්‍දය, මහා භූමි චලනයක් ඇතිවිමට මේ දෙවන හේතුවයි. දෙවන ප්‍රත්‍යයයි.
’’ආනන්‍දය, නැවතද බොධිසත්ත්‍ව තෙම තුෂිත දෙව් ලොවින් චුතව, සිහි ඇතිව, මනා නුවණැතිව, මවු කුසට බැස ගනීද, එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශෙෂයෙන් කම්පා වෙයි. ආනන්‍දය, මහා භූමි චලනයක් ඇතිවිමට මේ තුන්වන හේතුවයි. තුන්වන ප්‍රත්‍යයයි.
’’ආනන්‍දය, නැවතද යම් කලෙක බොධිසත්ත්‍ව තෙම සිහි ඇත්තේ, මනා නුවණැත්තේ, මවු කුසින් නික්මේද, එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශෙෂයෙන් කම්පා වෙයි. ආනන්‍දය, මහා භූමි චලනයක් ඇතිවිමට මේ තුන්වන හේතුවයි. තුන්වන ප්‍රත්‍යයයි.
’’ආනන්‍දය, නැවතද තථාගත තෙම නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය මනාව අවබෝධ කරගනීද, (බුදුබව ලබාද) එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශෙෂයෙන් කම්පා වෙයි. ආනන්‍දය, මහත් භූමි චලනයක් ඇතිවිමට මේ පස්වන හේතුවයි. පස්වන ප්‍රත්‍යයයි.
’’ආනන්‍දය, නැවතද තථාගත තෙම නිරුත්තරවූ ධර්‍ම චක්‍ර දේශනාව පවත්වාද, එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශෙෂයෙන් කම්පා වෙයි. ආනන්‍දය, මහත්වූ භූමි චලනයක් ඇතිවිමට මේ සයවන හේතුවයි. සයවන ප්‍රත්‍යයයි.
’’ආනන්‍දය, නැවතද තථාගත තෙම සිහි ඇත්තේ, මනා නුවණැත්තේ, ආයු සංස්කාරය හරීද, එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශෙෂයෙන් කම්පා වෙයි. ආනන්‍දය, මහත්වූ භූමි චලනයක් ඇතිවිමට මේ සත්වන හේතුවයි. සත්වන ප්‍රත්‍යයයි.
’’ආනන්‍දය, නැවතද යම් කලෙක තථාගත තෙම නිරුපධිශේෂ නිර්‍වාණ ධාතුවෙන් පිරිණිවේද, එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශෙෂයෙන් කම්පා වෙයි. ආනන්‍දය, මහත්වූ භූමි චලනයක් ඇතිවිමට මේ අට්වන හේතුවයි. අටවන ප්‍රත්‍යයයි. ආනන්‍දය, මහත් භූමි චලනයක් ඇතිවීමට මේ හේතු අටෙකි.
භූමි චාල වර්‍ගය නිමි.