අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

1. පඨම පණ්ණාසකය

1. මෙත්තා වර්‍ගය

8. මහිස වත්‍ථු (උත්තර) සූත්‍රය

එක් සමයෙක්හි ආයුෂ්මත්වූ උත්තර තෙරණුවෝ මහිස වස්තුවෙහි සංඛෙය්‍යක නම් වූ පර්‍වතයෙහි පිහිටි ධ්වජාලිකා විහාරයෙහි වැඩ වාසය කරණ සේක. එහිදී ආයුෂ්මත්වූ උත්තර තෙරණුවෝ, ’’ඇවැත්නි, මහණෙනි,’’ යි කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක.

’’ඇවැත්නි, මහණෙනි, භික්‍ෂූහු කලින් කල තමන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල අනුන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල තමන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල අනුන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි.’’

එසමයෙහි වනාහි වෙසමුනි මහ රජ්ජුරුවෝ කිසියම් කටයුත්තක් සඳහා උතුරු දිශාවේ සිට දකුණු දෙසට යයි. වෙසමුනි මහ රජ තුමා (එසේ යන අතර) ආයුෂ්මත්වූ උත්තර තෙරණුවෝ මහිස වස්තුවෙහි සංඛෙය්‍යක පර්‍වතයෙහි පිහිටි ධ්වජාලිකා විහාරයෙහි භික්‍ෂූන්ට ’’ඇවැත්නි, මහණෙනි, භික්‍ෂූහු කලින් කල තමන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල අනුන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල තමන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල අනුන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි.’’ යයි මෙසේ දේශනා කරන්නාවූ ධර්ම ඇසුවේය.

ඉන්පසු වෙසමුනි මහ රජ තුමා යම් සේ වනාහි කාය බල ඇති පුද්ගලයෙක් වක් කළ අතක් දිගු කරන්නේ යම්සේද, දික් කළ අතක් හකුළන්නේ (නමන්නේ) යම් සේද, එසේ හෙවත්, එපමණ ඉක්මනින් මහිස වස්තුවෙහි සංඛෙය්‍යක නම් පර්‍වතයෙහි පිහිටි ධ්වජාලිකා විහාරයෙන් අතුරුදන්ව, තව්තිසා දෙව්ලොව දෙවියන් අතර පහළ වූයේය. ඉන්පසු වෙසමුනි මහ රජ තුමා, සක්දෙව් මහ රජ තුමා යම් තැනකද, එතැනට පැමිනියේය. පැමිණ, සක් දෙව් මහ රජහට මෙසේ ප්‍රකාශ කළේය.

’’නිදුකාණෙනි, මේ බව දන්නෙහිද? උත්තර තෙරණුවෝ මහිස වස්තුවෙහි සංඛෙය්‍යක නම් පර්‍වතයෙහි පිහිටි ධ්වජාලිකා විහාරයෙහි භික්‍ෂූන්ට මෙබඳු ධර්මයක් දේශනා කරයි. (කෙබඳු ධර්මයක්ද යත්), ’’ඇවැත්නි, මහණෙනි, භික්‍ෂූහු කලින් කල තමන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල අනුන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල තමන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල අනුන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි.’’

ඉක්බිති සක්දෙව් මහ රජ තුමා යම් සේ වනාහි කාය බල ඇති පුරුෂයෙක් වක් කළ අතක් දිගු කරන්නේ යම්සේද, දික් කළ අතක් හකුළන්නේ යම් සේද, එසේ හෙවත්, එපමණ ඉක්මනින් තව්තිසා දෙව්ලොව දෙවියන් අතරින් අතුරුදන්ව, මහිස වස්තුවෙහි සංඛෙය්‍යක නම් පර්‍වතයෙහි පිහිටි ධ්වජාලිකා විහාරයෙහි ආයුෂ්මත් උත්තර තෙරණුවන්ගේ ඉදිරියෙහි පහළ වූයේය.

ඉක්බිති සක්දෙව් මහ රජ තුමා ආයුෂ්මත්වූ උත්තර තෙරණුවෝ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත්වූ උත්තර තෙරණුවන්ට මනාකොට වැඳ එකත් පසෙක සිටියේය. එකත්පසෙක්හි සිටියාවු සක්දෙව් රජ තුමා ආයුෂ්මත් උත්තර තෙරණුවන්ට මෙසේ ප්‍රකාශ කෙළේය.

’’ස්වාමීනි, ආයුෂ්මත්වූ උත්තර තෙරණුවෝ භික්‍ෂූන්ට ’’ඇවැත්නි, මහණෙනි, භික්‍ෂූහු කලින් කල තමන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල අනුන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල තමන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල අනුන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි.’’ මෙබඳුවූ ධර්මයක් දේශනා කෙළේය යනු සැබෑද?’’

’’එසේය, දේවේන්‍ද්‍රය.’’ - ’’කිමෙක්ද, ස්වාමීනි, මේ ධර්මය ආයුෂ්මත්වූ උත්තර තෙරණුවන්ටම අවබෝධවූ ධර්මයක්ද? නැතහොත් ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ දේශනාවක්ද?’’

’’එසේ වේ නම් දේවේන්‍ද්‍රය, මම ඔබට උපමාවක් කරන්නෙමි. උදාහරණයෙනුදු මෙලොව ඇතැම් නැණවත් පුරුෂයෝ වචනයෙහි අර්ත්‍ථය දැන ගනිත්.

’’දේවේන්‍ද්‍රය, යම් සේ වනාහි, ගමකට හෝ නියම් ගමකට නුදුරු තන්හි මහත්වූ ධාන්‍ය රාශියක් වූයේද, ඒ ධන්‍ය රාශියෙන් මහජනයා නයිනුදු, පෙට්ටි වලිනුදු, ඔඩොක්කුවෙනුදු, ඇඟිලි වලිනුදු ධාන්‍ය ගෙන යන්නේය. දේවේන්ද්‍රය, යම්කිසිවෙක් වනාහි ඒ මහඡනයා වෙත පැමිණ මේ ධාන්‍ය කොතැනින් ගෙන එන්නේදැයි මෙසේ විචාරන්නේ නම් දේවේන්ද්‍රය, එයට උත්තර දෙන්නාවූ ඒ මහඡනයා හරි උත්තරයක් දෙන්නේ නම් ඒ උත්තරය කෙසේ විය යුතූද?’’

’’ස්වාමින් වහන්ස ඒ මහාඡනයා මනාකොට උත්තර දෙන්නේ නම්, (අපි) අතර මහා ධාන්‍ය රාශියෙන් ගෙන එමුයයි ප්‍රකාශ කරන්නේය.’’

’’දේවේන්ද්‍රය, එපරිද්දෙන්ම වනාහි යම්කිසි සුභාෂිතයක් වේනම් ඒ සියල්ල ඒ භාග්‍යවත් සම්‍යක් සම්බුදුරඡානන් වහන්සේ අයත්ය. ඒ ධර්‍මයෙන් රැගෙන රැගෙන අන්‍යයෝද අපිද කියමු’’

’’ස්වාමීනි, ආශ්චර්‍ය්‍යයයි. ස්වාමීනි-අද්භූතයි. ස්වාමීනි ආයුෂ්මත් උත්තර තෙරණුවන් විසින් යම්කිසි සුභාෂිතයක් වේනම් ඒ සියල්ල ඒ භාග්‍යවත් සම්‍යක් සම්බුදුරඡානන් වහන්සේ අයත්ය. ඒ ධර්‍මයෙන් රැගෙන රැගෙන අන්‍යයෝද අපිද කියමු යන යම් වචනයක් ප්‍රකාශ කරන ලදද, එයද සුභාශිතයකි. උත්තර ස්වාමිනි, එය එසේමය, - ස්වාමිනි, උත්තර තෙරණුවෙනි, මෙපමණකින් මනුෂ්‍යයන් අතරෙහිවූ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිවු පිරිස මේ ධර්‍ම ක්‍රමය කුමක්දැයි නොපිහිටියාහුය. (නොදත්තාහුය) ස්වාමිනි, ආයුෂ්මත් උත්තර තෙරණුවෝ මේ ධර්‍ම ක්‍රමය - උගනීවා.

ස්වාමීනි, ආයුෂ්මත් උත්තර තෙරණුවෝ මේ ධර්‍ම ක්‍රමය පාඩම් කියාවා. ස්වාමීනි, උත්තර තෙරණුවෝ, මේ ධර්‍ම ක්‍රමය ධාරණය කෙරේවා. ස්වාමීනි, මේ ධර්‍ම ක්‍රමය අර්ත්‍ථයෙන් යුක්තය, ශාසන බ්‍රහ්මචරියාවට මුල් වූයේයි.’’