අඞ්ගුත්තරනිකායො

නවක නිපාතය

1. පළමු වෙනි පණ්ණාසකය

1. සම්බොධි වර්‍ගය

1. සම්බොධි පක්ඛික සූත්‍රය

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

’’මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් කැඳවූහ. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට, ’’පින්වතුන් වහන්සැ’’ යි පිළිතුරු දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, ඉදින් අන් තොටු පිරිවැජියෝ, ’ඇවැත්නි, සිවුසස් අවබෝධයට හැකිවූ ධර්‍මයන් වැඩීමට කුමක් හේතුවේදැ’ යි ඔබ විචාරන්නාහු නම් ඒ අන් තොටු පිරිවැජියන්ට කුමක් කියන්නහුද?’’

’’ස්වාමීනි, අපගේ ධර්මයන් භාග්‍යවත්හු මුල්කොට ඇත්තේය. භාග්‍යවත්හු නායකකොට ඇත්තෝය. භාග්‍යවත්හු පිළිසරණ වූවෝය. ස්වාමීනි, මේ කියමනේ අදහස භාග්‍යවතුන් වහන්සේටම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරත්.’’

’’මහණෙනි, එසේ වි නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. දෙසන්නෙමි.’’

’’මහණෙනි, ඉදින් අන් තොටු පිරිවැජියෝ සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට කවරක් හේතුවේදැයි විචාරන්නහුද, මහණෙනි, ඔබ එසේ විචාරන්නාවු ඒ අන් තොටු පිරිවැජියන්ට මෙසේ ප්‍රකාශ කරව. ’ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් කලණ මිතුරන් ඇත්තේ වේද, කලණ මිතුරන් යහළුවන් කොට ඇත්තේ වේද, යහපතට නැමුණෙක් වේද, ඇවැත්නි, සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට මේ පළමුවන හේතුව වේ.

’’ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් සිල්වත් වේද, පාමොක් සංවරයෙන් සංවරව වසයිද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දකින සුළුව, සිකපද සමාදන්ව වසයිද, ඇවැත්නි, සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට මේ දෙවන හේතුව වේ.

’’ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් කෙලෙස් ලිහිල් කරණ සිතේ ඉඩ ඇති වීමට හේතුවන අප්පිච්ඡ කථාවය, සන්තුට්ඨි කථාවය, උතුම් විවේකයෙහි කථාවය, අසංසග්ග කථාවය, විරියාරම්භ කථාවය, සීල කථාවය, පඤ්ඤා කථාවය, විමුත්ති කථාවය, විමුත්ති ඤාණදස්සන කථාවය යන මෙබඳු කථාවන් නිතර කැමැත්තෙන් ලබන ලද්දේ වේද, නිදුකින් ලැබීම ඇත්තේ වේද, පහසුවෙන් ලැබීම ඇත්තේ වේද, ඇවැත්නි, සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට මේ තුන්වන හේතුව වේ.

’’ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් අකුසල් දහම් නැති කිරීමටද, කුසල් දහම් වැඩීමටද, ප්‍රාරම්භ වීර්‍ය්‍යය ඇතුව වසයිද, ශක්තිය ඇත්තෙක් වෙයිද, දැඩි උත්සාහ ඇත්තෙක් වෙයිද, කුසල් දහම් වැඩීමෙහි නොනැවැත්තූ උත්සාහ ඇත්තේ වෙයිද, ඇවැත්නි, සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට මේ සතරවන හේතුව වේ.

’’ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් ආරියවූ, සසර කලකිරීමවූ, මනාකොට දුක් කෙළවර කිරීමට පමුණුවන උදයත්‍ථය ගාමිනී නැතිවීම ඇතිවීම දෙක අවබෝධ කරවන ලද නුවණින් යුක්ත වේද, ඇවැත්නි, සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට මේ පස්වන හේතුව වේ.

’’මහණෙනි, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවට සිල්වත් වන්නෙය. පාමොක් සංවරයෙන් සංවර වන්නේය. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙන්නේය යන මෙය කැමති විය යුතුය.

’’මහණෙනි, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවක් විසින් සිල්වත් වන්නේය. පාමොක් සංවරයෙන් සංවර වන්නේය. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙන්නේය යන මෙය කැමති විය යුතුය. මහණෙනි, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවක් විසින් අකුසල් දහම් නැති කිරීමටද, කුසල් දහම් වැඩීමටද, ප්‍රාරම්භ වීර්‍ය්‍යය ඇතුව වසයි. ශක්තිය ඇත්තෙක් වෙයි. දැඩි උත්සාහ ඇත්තෙක් වෙයි. කුසල් දහම් වැඩීමෙහි නොනැවැත්තූ උත්සාහ ඇත්තෙක් වෙයි යන මෙය කැමති විය යුතුය.

’’කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවට සිල්වත් වන්නෙය. පාමොක් සංවරයෙන් සංවර වන්නේය. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙන්නේය යන මෙය කැමති විය යුතුය. ආරියවූ, නිබ්බෙධිකවූ (සසර කලකිරවන) මනාකොට දුක් කෙළවර කිරීමට පමුණුවන උදයත්‍ථයගාමිනීපඤ්ඤා (ඇතිවීමේ හා නැතිවීමේ තත්ත්‍වය අවබෝධ කරණ නුවණ) යයි කියන ලද නුවණින් යුක්තවේයයි යන මෙය කැමති විය යුතුය.

’’මහණෙනි, ඒ භික්‍ෂුව විසින් මුලින් කියන ලද පඤ්ච ධර්මයන්හි පිහිටා තව ධර්ම සතරක් වැඩිය යුතුය, එනම් රාගය නැතිකිරීමට අසුභය වැඩිය යුතුය. ව්‍යාපාදය නැති කිරීමට මෛත්‍රිය වැඩිය යුතුය. විතක්කය නැතිකිරීමට ආනාපානසතිය වැඩිය යුතුය. මමය යන හැඟීම නැතිකිරීමට අනිච්චසඤ්ඤාව වැඩිය යුතුය. මහණෙනි, අනිච්චසඤ්ඤාව ඇති භික්‍ෂුවට අනත්තසඤ්ඤාව පිහිටයි. අනත්තසඤ්ඤාව ඇත්තේ මේ අත්බවම නිවණයයි කියන ලද මමය යන හැඟීම නැති කිරීමට පමුණුවයි.’’