අඞ්ගුත්තරනිකායො

නවක නිපාතය

1. පළමු වෙනි පණ්ණාසකය

2. සීහනාද වර්‍ගය

1. සාරීපුත්ත සීහනාද සූත්‍රය

’’භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. ඒ කාලයෙහි ඇවැත්වූ සැරියුත් තෙරහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක වැඩ හුන්හ. එක පැත්තක වැඩහුන් ඇවැත්වු සැරියුත් තෙරහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ. ’’ස්වාමිනි, මා විසින් සැවැත්නුවර වස් වසන ලද්දේය. ස්වාමීනි, මම ජනපද චාරිකාවෙහි හැසිරෙන්ට කැමැත්තෙමි.’’ - ’’සාරීපුත්තයෙනි, දැන් ඊට කාලයයි ඔබ දන්නෙහිය.’’

ඉක්බිති ඇවැත්වූ සැරියුත් තෙරහු උන් තැනින් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණුකොට, (වටේටත් වැඳ) ගියහ. ඉක්බිති සැරියුත් තෙර ගිය නොබෝ වේලාවකින් එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීය. ’’ස්වාමීනි, ඇවැත්වූ සැරියුත් තෙර මට දොස් නඟා එය නිදොස් නොකොට චාරිකාවෙහි (ඇවිදීමට) ගියේය.’’ ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්‍ෂුවක් කැඳවූහ. ’’භික්‍ෂුවෙනි, මෙහි එව. ’ඇවැත්වූ සාරීපුත්තයෙනි, ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවත්’ යයි මාගේ වචනයෙන් සැරියුත් තෙර කැඳවව.’’ - ’’එසේය, ස්වාමීනි’’ යි ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී, ඇවැත්වු සැරියුත් තෙර යම් තැනෙකද, එහි පැමිණ, ’ඇවැත්වූ සාරීපුත්තයෙනි, ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවත්ය’ යි ඇවැත්වු සැරියුත් තෙරුන්ට කීය. ’’එසේය, ඇවැත්නි’’ යි ඇවැත්වු සැරියුත් තෙර ඒ භික්‍ෂුවට පිළිතුරු දුන්නේය.

ඒ කාලයෙහි ඇවැත් මහ මුගලන් තෙරද, ඇවැත් අනඳ තෙරද, යතුරු ගෙන විහාරයෙන් විහාරයට, ’ඇවැත්නි, නික්මෙව. ඇවැත්නි, නික්මෙව, දැන් ඇවැත්වූ සැරියුත් තෙර භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිංහ නාදය පවත්වන්නේය’ යි කියමින් ඇවිදිත්.

ඉක්බිති ඇවැත්වු සැරියුත් තෙරහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එහි පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක පැත්තක හුන්හ. එක පැත්තක හුන් ඇවැත්වූ සැරියුත් තෙරුන්ට, භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළහ. ’’සාරීපුත්තයෙනි, ඔබට මෙහි එක්තරා භික්‍ෂුවක් සමග හැසිරෙන භික්‍ෂුවක් දොස් කීමට පැමිණියේය. (කෙසේද?) ’ස්වාමීනි, මට ඇවැත්වු සැරියුත් තෙර දොස් නඟා, එය නිදොස් නොකොට, චාරිකාවෙහි ගියේය’ කියායි.’’

’’ස්වාමීනි, යමකුට ඒකාන්තයෙන් කයෙහි කය පිළිබඳ සිහිය එළඹ නොසිටියා වන්නීද, හෙතෙම (ඒ භික්‍ෂුව) මෙහි එක්තරා සමග හැසිරෙන භික්‍ෂුවකට දොස් නඟා, ඒ දෝෂය නිදොස් නොකොට චාරිකාවෙහි යන්නේ වේ. ස්වාමීනි, යම් සේ පොළොවෙහි පවිත්‍ර දෙයද දමත්. අපවිත්‍ර දෙයද දමත්. අසූචිද දමත්. මූත්‍රද දමත්. කෙළද දමත්. සැරවද දමත්. ලෙයද දමත්. එයින් පොළොවට පීඩා නොවෙයි. ලජ්ජා නොවෙයි. පිළිකුල් නොකරයි. ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, පොළොව හා සමවු සිතින් යුක්තව වාසය කරමි. ස්වාමීනි, යමෙකුට ඒකාන්තයෙන් කයෙහි කය ගැන සිහිය එළඹ නොසිටියා වන්නීද, ඒ භික්‍ෂුව මෙහි එක්තරා එකට හැසිරෙන භික්‍ෂුවකට දොස් නඟා එය නිදොස් නොකොට චාරිකාවෙහි (ඇවිදීමට) යන්නේ වේ.

’’ස්වාමීනි, යම්සේ ජලයෙහි පවිත්‍ර දෙයද සෝදත්. අපවිත්‍ර දෙයද සෝදත්. අසූචිද සෝදත්. මූත්‍රද සෝදත්. කෙළද සෝදත්. ලෙයද සෝදත්. එයින් ජලය පීඩා නොවෙයි. ලජ්ජා නොවෙයි. පිළිකුල් නොකරයි. ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, ජලය හා සමවු සිතින් යුක්තව වාසය කරමි.

’’ස්වාමීනි, යම්සේ ගින්න පවිත්‍ර දෙයද දවයි. අපවිත්‍ර දෙයද දවයි. අසූචිද දවයි. මූත්‍රද දවයි. කෙළද දවයි. සැරවද දවයි. ලෙයද දවයි. එයින් ගින්න පීඩා නොවෙයි. ලජ්ජා නොවෙයි. පිළිකුල් නොකරයි. ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, ගින්න හා සමවු සිතින් යුක්තව වාසය කරමි.

’’ස්වාමීනි, යම්සේ වාතය පවිත්‍ර දෙයෙහිද හමයි. අපවිත්‍ර දෙයෙහිද හමයි. අසූචියෙහිද හමයි. මූත්‍රයෙහිද හමයි. කෙළෙහිද හමයි. සැරවයෙහිද හමයි. ලෙයෙහිද හමයි. එයින් වාතය පීඩා නොවෙයි. ලජ්ජා නොවෙයි. පිළිකුල් නොකරයි. ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, වාතය හා සමවු සිතින් යුක්තව වාසය කරමි.

’’ස්වාමීනි, යම්සේ දූවිලි පිස දමන රෙදි කඩ පවිත්‍ර දෙයද පිස දමයි. අපවිත්‍ර දෙයද පිස දමයි. අසූචිද පිස දමයි. මූත්‍රද පිස දමයි. කෙළද පිස දමයි. සැරවද පිස දමයි. ලෙයද පිස දමයි. එයින් දූවිලි පිස දමන රෙදි කඩ පීඩා නොවෙයි. ලජ්ජා නොවෙයි. පිළිකුල් නොවෙයි. ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, දූවිලි පිස දමන රෙදි කඩ හා සමවු සිතින් යුක්තව වාසය කරමි.

’’ස්වාමීනි, යම්සේ කබලක් අතේ ඇති, රෙදි කඩක් හැඳගත්, සැඩොල් දරුවෙක් හෝ දැරියක්, කුඩා ගමකට හෝ මහ ගමකට හෝ ඇතුල් වන්නේ, යටහත් පහත් සිත ඇතිකරගෙනම පිවිසෙයිද, ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට පැමිණි, අපමණවූ, අවෛරීවූ, පීඩා රහිත, සැඩොල් දරුවෙකුගේ සිතට බඳු සිතින් යුක්තව වාසය කරමි. ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, පොළොව හා සමවු සිතින් යුක්තව වාසය කරමි.

’’ස්වාමීනි, යම් සේ අං සිඳුණු, කීකරු, හොඳින් දැමුණු, හොඳින් හික්මුණු, ගොන් රජෙක් වීථියෙන් වීථියක, හන්දියෙන් හන්දියක, ඇවිදින්නේ පයින් හෝ, අඟින් හෝ, කිසිවකුට හිංසා නොකරයිද, ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, පොළොව හා සමවු සිතින් යුක්තව වාසය කරමි.

’’ස්වාමීනි, යම් සේ සැරසෙන ස්වභාව ඇති, හිස සිට ස්නානය කළ, ළදරු තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නයි කුණක් හෝ, බලු කුණක් හෝ, මිනිස් කුණක් හෝ, බෙල්ලේ එල්ලන ලද්දේ පීඩා වන්නේද, ලජ්ජා වන්නේද, පිළිකුල් කරන්නේද, ස්වාමීනි, එමෙන් මම මේ කුණු කය කරණ කොට පීඩා වෙමි. ලජ්ජා වෙමි. පිළිකුල් කරමි. ස්වාමීනි, යමෙකුට ඒකාන්තයෙන් කයෙහි කය ගැන සිහිය එළඹ නොසිටියා වන්නීද, ඒ භික්‍ෂුව මෙහි එක්තරා එකට හැසිරෙන භික්‍ෂුවකට දොස් නඟා එය නිදොස් නොකොට චාරිකාවෙහි (ඇවිදීමට) යන්නේ වේ.

’’ස්වාමිනි, යම් සේ පුරුෂයෙක් කුඩා සිදුරු ඇති, මහ සිදුරු ඇතිවූ, උඩින් වැගිරෙන, වටින් වැගිරෙන මේද තෙල් තලියක් යම් සේ පරිහරණය කරයිද, ස්වාමීනි, එමෙන් මම කුඩා සිදුරු ඇති, මහ සිදුරු ඇති, උඩින් වැගිරෙන, වටින් වැගිරෙන මේ කය පරිහරණය කරමි. ස්වාමිනි, යම් භික්‍ෂුවකට ඒකාන්තයෙන් කයෙහි කය පිළිබඳ සිහිය එළඹ නොසිටියා වන්නීද, මෙහි හෙතෙම එක්තරා එකට මහණදම් පුරණ භික්‍ෂුවකට දොස් නඟා, එය නිදොස් නොකොට චාරිකාවෙහි හැසිරෙන්නේ වේ’’ යයි කීහ.

ඉක්බිති ඒ භික්‍ෂුව හුන් තැනින් නැගිට, තනිපොට සිවුර ඒකාංශකොට පොරවා, භාග්‍යවතුන් වහන්සේගේ දෙපා මුල හිස බිම තබා, වැටී හිඳගෙණ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ’’ස්වාමීනි, මෝඩවූ ලෙස, මුළාවූ ලෙස, අකුසල් වු ලෙස වරදවා ඉක්මවිය. (මම වරදට යටවිය.) යම්බඳුවු මම ඇවැත්වූ සැරියුත් තෙරුන්ට අසත්‍යවූ, හිස්වු, සිදුරු නොවු, බොරුවෙන් දොස් නැඟූයෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නැවත සංවරවීම පිණිස ඒ මගේ වරද, වරද ලෙස පිළිගන්නා සේක්වා.’’

’’භික්‍ෂුවෙනි, ඔබ මෝඩවූ ලෙස, මුළාවූ ලෙස, අකුසල්වූ ලෙස වරද ඉක්මවූයෙහිය. (වරදට යටවිය.) යම්බඳු ඔබ ශාරීපුත්‍රයන්ට අසත්‍යවූ, හිස්වූ, සිදුනොවූ බොරුවෙන් දොස් නැඟූයෙහිය. භික්‍ෂුවෙනි, ඔබ වරද, වරද වශයෙන් පිළිගෙන, ධර්‍මය වූ පරිදි පිළියම් කරයිද, ඔබගේ ඒ වරද අපි පිළිගණිමු. භික්‍ෂුවෙනි, යමෙක් වරද, වරද වශයෙන් පිළිගෙණ නැවත සංවර වෙයිද, ධර්‍මය වු පරිදි පිළියම් කරයිද, එය ශාසනයෙහි දියුණුවකි.’’

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඇවැත්වූ සැරියුත් තෙරුන් කැඳවූහ. (කැඳවා) ’’සාරීපුත්තයෙනි, මොහුගේ හිස සත් කඩකට පැලෙන්ට මත්තෙන් මේ හිස් මිනිසාට ක්‍ෂමා කරව. (ඉවසව.)’’ - ’’ස්වාමීනි, ඉදින් ඒ ඇවැත් තෙම ’මට මේ ඇවැත් තෙම කමාකරවා’ යි කියයි නම් මම ඒ ඇවැත්හට ක්‍ෂමා වෙමි’’ යි කීය.