අඞ්ගුත්තරනිකායො

නවක නිපාතය

1. පළමු වෙනි පණ්ණාසකය

1. සම්බොධි වර්‍ගය

2. නිස්සයසම්පන්න සූත්‍රය

ඉක්බිති එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හිඳ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. ’’ස්වාමීනි, නිස්සය සම්පන්නය, නිස්සය සම්පන්නයයි හෙවත් (යමක් නිසා ගුණවත්වූවෙකැයි) කියයි. ස්වාමීනි, කොපමණකින් නිස්සය සම්පන්නයෙක් වේද?’’

’’භික්‍ෂුවෙනි, ශ්‍රද්‍ධාව නිසා අකුසලය දුරු කරයිද, කුසලය වඩයිද, ඒ නැති කළ අකුසල නැති කළාම වේද, හිරිය (ලජ්ජාව) නිසා ඔත්තප්පය (පවට බිය) නිසා අකුසලය දුරු කරයිද, කුසලය වඩයිද, ඒ නැති කළ අකුසල නැති කළාම වේද, වීර්‍ය්‍යය නිසා අකුසලය දුරු කරයිද, කුසලය වඩයිද, ඒ නැති කළ අකුසල නැති කළාම වේද, ප්‍රඥාව නිසා කුසලය දුරු කරයිද, කුසලය වඩයිද, ඒ නැති කළ අකුසල නැති කළාම වේද, ඒ භික්‍ෂුවගේ නැතිවී ගිය ඒ අකුසලය හොඳින්ම නැතිවී ගියා වේද, ඒ භික්‍ෂුව යමක් ආරිය නුවණින් දැක නැති කළාද,

’’භික්‍ෂුවෙනි, ඒ භික්‍ෂුව විසින් මේ පස් ආකාර ධර්මයන්හි පිහිටා ධර්ම සතරක් ඇසුරුකොට වාසය කළ යුතුයි. ඒ සතර ධර්මයෝ කවරහුද? එක කරුණක් නුවණින් දැන සේවනය කරයි. එක කරුණක් නුවණින් දැන ඉවසයි. එක කරුණක් නුවණින් දැන දුරු කරයි. එක කරුණක් නුවණින් දැන නැති කරයි. භික්‍ෂුවෙනි, මෙපමණකින් භික්‍ෂුවක් නිස්සය සම්පන්න වෙයි.’’