අඞ්ගුත්තරනිකායො

නවක නිපාතය

1. පළමු වෙනි පණ්ණාසකය

1. සම්බොධි වර්‍ගය

3. මෙඝිය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චාලිකා නුවර චාලිකා පර්‍වතයෙහි වැඩ වෙසෙති. එකල්හි ඇවැත්වූ මෙඝිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙයි. ඒ කාලයෙහි ඇවැත්වූ මෙඝිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එසේ සිටි ඒ මේඝිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. ’’ස්වාමිනි, මම ජන්තුගම පිඬු පිණිස හැසිරීමට කැමැත්තෙමි’’ (යනුයි.)

(එවිට භාග්‍යවතුන් වහන්සේ) ’’ඔබ යමකට කැමති නම්, එයට කල් දනුව’’ යි වදාළහ. ඉක්බිති ඇවැත්වූ මෙඝිය භික්‍ෂුව පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙන ජන්තුගම පිඬු පිණිස පිවිසියේය. ජන්තුගමෙහි පිඬු පිණිස හැසිර, පස්වරු පිණ්ඩපාතයෙන් වැලකියේ, කිමිකාලා නම් ගං ඉවුර යම් තැනකද, එහි පැමිණියේය. ඇවැත්වූ මෙඝිය භික්‍ෂුව කිමිකාලා නම් ගංතෙර ඔබ මොබ පයින් ඇවිදින්නේ, ඉතා සිත්කලු අඹ උයනක් දැක්කේය. එ අඹ උයන දුටු මෙඝිය භික්‍ෂුවට මෙබඳු සිතක් උපන්නේය. ’මේ අඹ උයන ඉතා සිත්කලුය. කෙලෙස් නැසීමට කරණ උත්සාහයෙන් ප්‍රයෝජනය ඇති කුලපුතෙකුට මේ අඹ උයන ඉතා ප්‍රයෝජනවත්ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ කැමතිවන සේක් නම් මේ අඹ උයනට පධන් වීර්‍ය්‍යය (කෙලෙස් තවන වීර්‍ය්‍යය) කිරීමට පැමිණෙන්නෙමි’ යි සිතීය.

ඉක්බිති ඇවැත්වූ මේඝිය තෙර භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එහි පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක පැත්තක උන්නේය. එක පැත්තක හුන් මෙඝිය තෙර, භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීය. ’’ස්වාමීනි, මම මෙහි පෙරවරු කල සිවුරු හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙණ, ජන්තුගම පිඬු පිණිස පිවිසියෙමි. ජන්තුගමේ පිඬු පිණිස හැසිර, පස්වරු පිණ්ඩපාතයෙන් වැළකියේ, කිමිකාලා නම් ගං ඉවුර යම් තැනකද, එහි පැමිණියෙමි. ඒ කිමිකාලා නම් ගං ඉවුර තෙර පයින් ඇවිදින විට, ඉතා සිත්කලු අඹ උයනක් දුටුයෙමි. ඒ අඹ උයන දැක මට මෙබඳු සිතක් ඇතිවිය. ’කෙලෙස් නැසීමට කරණ උත්සාහයෙන් ප්‍රයෝජනය ඇති කුලපුතෙකුට මේ අඹ උයන ඉතා ප්‍රයෝජනවත්ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ කැමතිවන සේක් නම් මේ අඹ උයනට පධන් වීර්‍ය්‍යය (කෙලෙස් තවන වීර්‍ය්‍යය) කිරීමට පැමිණෙන්නෙමි’ යි කියායි. ’’මෙඝිය, මඳක් බලාපොරොත්තු වෙව. තනිව යාමට වඩා අනික් භික්‍ෂුවක්ද හමුවන තුරු බලාපොරොත්තු වෙව.’’

දෙවනුවද, ඇවැත්වූ මේඝිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. ’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට මේ ශරීරය පිළිබඳව මත්ත ගැන කළ යුතු දෙයක් නැත. කළ දෙයක් පිළිබඳව සකස්කළ යුතු තැනක්ද නැත. ස්වාමීනි, මට නම් මේ ශරීරය පිළිබඳව මත්ත ගැන කළයුතු දෙයකුත්, ඇත. කළ දෙය පිළිබඳව සකස් කළ යුතු තැන්ද ඇත. ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ අනුදන්නා සේක් නම් පධන් වීර්‍ය්‍යය කිරීමට අඹ වනයට යන්නෙමි’’ යි (සිතීය.) ’’මෙඝිය, ඔබ තනිය. අන් භික්‍ෂුවක් ලැබෙන තුරු බලාපොරොත්තු වෙව.’’

තුන්වෙනුවද, මේඝිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. ’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට මේ ශරීරය පිළිබඳව මත්ත ගැන කළ යුතු දෙයක් නැත. කළ දෙයක් පිළිබඳව සකස්කළ යුතු තැනක්ද නැත. ස්වාමීනි, මට නම් මේ ශරීරය පිළිබඳව මත්ත ගැන කළයුතු දෙයකුත්, ඇත. කළ දෙය පිළිබඳව සකස් කළ යුතු තැන්ද ඇත. ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ අනුදන්නා සේක් නම් පධන් වීර්‍ය්‍යය කිරීමට අඹ වනයට යන්නෙමි’’ යි (සිතීය.) ’’මෙඝිය, ඔබ තනිය. අන් භික්‍ෂුවක් ලැබෙන තුරු බලාපොරොත්තු වෙව.’’ ’’මෙඝිය, ඔබ යමකට හෙවත් යම් පධන් වීර්‍ය්‍යයකට කල් ඉල්ලන්නේද, ඒ ’පධාන වීර්‍ය්‍යය’ යි යමෙක් යමකට කියයි නම් ඒ කුමකට කියයිද? ඉක්බිති ඇවැත්වූ මෙඝිය භික්‍ෂුව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ඒ අඹ වනය යම් තැනකද, එහි පැමිණ ඒ අඹ වනයට ඇතුල්ව එක්තරා රුකක් මුල දහවල් කල් ගත කිරීමට හුන්නේය. ඉක්බිති ඒ අඹ වනයෙහි වාසය කරන්නාවූ මෙඝිය භික්‍ෂුවට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක යන අකුසල් විතක්ක (කල්පනා) තුන්දෙනෙක් සිතේ ඇතිවන්නට වූහ.

ඉක්බිති ඇවැත්වූ මෙඝිය භික්‍ෂුවට මේ සිත ඇතිවිය. ආශ්චර්‍ය්‍යයෙක, පුදුමයෙක, මම ගිහිගෙන් නික්ම සස්නෙහි සැදැහැයෙන් පැවිදිවීමි. නමුත් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක යන තුන් සිතිවිලිවලින් ගැවසී ගත්තේය. ඉක්බිති ඇවැත්වූ මෙඝිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එහි එළඹ, උන්වහන්සේ වැඳ, එක පැත්තක හිඳ ගත්තේය. එක පැත්තක හුන් ඇවැත්වූ මෙඝිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීය.

’’ස්වාමීනි, ඒ අඹ උයනෙහි වසන මට අකුසල විතක්ක හෙවත් අකුසල කල්පනාවන් තුන් දෙනෙක් සිතේ හටගත්හ. ඔහු කවරහුද? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක යන තුණය. ස්වාමීනි, එවිට මට මෙබඳු අදහසක් ඇතිවිය. ආශ්චර්‍ය්‍යයෙකි. පුදුමයෙකි. මම සැදැහැයෙන් ගිහිගෙන් නිකම සස්නෙහි පැවිදිවීමි. නමුත් මම කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක යන තුන් ආකාර විතර්කයන්ගේන් ගැවසිගත්තේ වෙමි.’’

’’මෙඝියය, සිත අකුසලයන්ගෙන් මිදීම නොමේරූ කල්හි එය මේරීම පිණිස ධර්‍ම පස් දෙනෙක් වෙත්. ඒ පස කවරහුද? මේඝියෙනි, භික්‍ෂුවක් මේ ලෝකයෙහි කලණ මිතුරන් ඇත්තේ වේද, කලණ යහලුවන් ඇත්තේ වේද, යහපතට නැමුනේ වේද, මේඝියෙනි, නොමේරූ චිත්ත විමුක්තියගේ මේරීම පිණිස මෙය පළමුවන ධර්‍මයක්ව පවතී.

’’නැවතද, මේඝියෙනි, භික්‍ෂුවක් සිල්වත් වේද, පාමොක් සංවරයෙන් සංවර වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවේද, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, සිකපද සමාදන්ව වාසය කරයිද, මේඝියෙනි, නොමේරූ චිත්ත විමුක්තියගේ මේරීම පිණිස මෙය දෙවන ධර්‍මයක්ව පවතී.

’’නැවතද, මේඝියෙනි, භික්‍ෂුවක් කෙලෙස් ලිහිල් කරණ, සිතේ ඉඩ ඇතිකිරීමට හේතුවන, යම් කථාවෝ වෙත්ද, ඔහු කවරහුද? අප්පිච්ඡ කථාවය, සන්තුට්ඨි කථාවය, උතුම් විවේකයෙහි කථාවය, අසංසග්ග කථාවය, විරියාරම්භ කථාවය, සීල කථාවය, පඤ්ඤා කථාවය, විමුත්ති කථාවය, විමුත්ති ඤාණදස්සන කථාවය යන මෙබඳු කථාවන් නිතර කැමැත්තෙන් ලබන ලද්දේ වේද, නිදුකින් ලැබීම ඇත්තේ වේද, පහසුවෙන් ලැබීම ඇත්තේ වේද, මේඝියෙනි, නොමේරූ චිත්ත විමුක්තියගේ මේරීම පිණිස මෙය තුන්වන ධර්‍මයක්ව පවතී.

’’මේඝියෙනි, නැවතද භික්‍ෂුවක් අකුසල් දහම් නැති කිරීමටද, කුසල් දහම් වැඩීමටද, ප්‍රාරම්භ වීර්‍ය්‍යය ඇතුව වසයිද, ශක්තිය ඇත්තෙක් වෙයිද, දැඩි උත්සාහ ඇත්තෙක් වෙයිද, කුසල් දහම් වැඩීමෙහි නොනැවැත්තූ උත්සාහ ඇත්තේ වෙයිද, මේඝියෙනි, නොමේරූ චිත්ත විමුක්තියගේ මේරීම පිණිස, මෙය සතරවන ධර්මයක්ව පවතී.

’’නැවතද මේඝියෙනි භික්‍ෂුවක් ආරියවූ, සසර කලකිරීමවූ, මනාකොට දුක් කෙළවර කිරීමට පමුණුවන උදයත්‍ථය ගාමිනී නැතිවීම ඇතිවීම දෙක අවබෝධ කරවන ලද නුවණින් යුක්ත වේද, මේඝියෙනි, නොමේරූ චිත්ත විමුක්තියගේ මේරීම පිණිස, මෙය පස්වන ධර්මයක්ව පවතී.

’’මේඝියෙනි, කලණ මිතුරන් ඇති, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවට සිල්වත් වන්නෙය. පාමොක් සංවරයෙන් සංවර වන්නේය. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙන්නේය යන මෙය කැමති විය යුතුය. මේඝියෙනි, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවක් විසින් සිල්වත් වන්නේය. පාමොක් සංවරයෙන් සංවර වන්නේය. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙන්නේය යන මෙය කැමති විය යුතුය. මේඝියෙනි, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවක් විසින් අකුසල් දහම් නැති කිරීමටද, කුසල් දහම් වැඩීමටද, ප්‍රාරම්භ වීර්‍ය්‍යය ඇතුව වසයි. ශක්තිය ඇත්තෙක් වෙයි. දැඩි උත්සාහ ඇත්තෙක් වෙයි. කුසල් දහම් වැඩීමෙහි නොනැවැත්තූ උත්සාහ ඇත්තෙක් වෙයි යන මෙය කැමති විය යුතුය.

’’මේඝියෙනි, කලණ මිතුරන් ඇති, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු භික්‍ෂුවක් විසින්, ආර්‍ය්‍යවූ, නිබ්බෙධික (සසර කලකිරවන) මනාකොට දුක් කෙලවර කිරීමට පමණුවන, උදයත්‍ථ ගාමිණීපඤ්ඤාවෙන් යුක්තවූවෙක් වන්නේය යන මෙය කැමති විය යුතුය. මේඝියෙනි ඒ භික්‍ෂුව විසින් මේ පස් ආකාර ධර්‍මයන්හි පිහිටා සතර ධර්‍ම කෙනෙක් මත්තෙහි වැඩිය යුතු. රාගය නැති කිරීමට අසුභය වැඩිය යුතු. ව්‍යාපාදය නැති කිරීමට මෛත්‍රිය වැඩිය යුතු. විතක්කය නැති කිරීමට ආනාපාන සතිය වැඩිය යුතු. අස්මී මානය (මමය යන හැඟිම) නැති කිරීමට අනිච්ච සඤ්ඤාව වැඩිය යුතු. මේඝියෙනි, අනිච්ච සඤ්ඤාව ඇත්තාහට අනත්ත සඤ්ඤාව පිහිටයි. අනත්ත සඤ්ඤාව ඇත්තේ මේ ආත්මයේදීම නිවන් ලැබීමයයි කියන අස්මීමානය (මමය යන හැඟීම) නැති කිරීමට පමුණුවයි.’’