අඞ්ගුත්තරනිකායො

නවක නිපාතය

1. පළමු වෙනි පණ්ණාසකය

4. මහා වර්‍ගය

3. නිබ්බාණසුඛ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වේළුවන අරමෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට මෙසේ වදාළ සේක. ’’ඇවැත්නි, මේ නිවණ සැපය, ඇවැත්නි, මේ නිවණ සැපය’’ කියායි.

මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මේ කාරණය කීයේය. ’’ඇවැත්නි, ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙහි විඳිය යුතුවූ යමක් නැත්නම් මෙහි කුමක් වේද?’’ කියායි.

’’ඇවැත්නි, මෙහි විඳිය යුතුවූ යමක් නැත්නම් මෙහි මෙහම සැපය යනුයි. ඇවැත්නි, මේ කාම ගුනයෝ පසක් වෙති. කවර නම් පසක්ද? ඉටුවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රියවූ, ආකාර ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ, ඇසින් දතයුතුවූ රූපයෝය, ඉටුවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රියවූ, ආකාර ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ, කනින් දතයුතුවූ ශබ්දයෝය, ඉටුවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රියවූ, ආකාර ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ, නහයෙන් දතයුතුවූ ගන්‍ධයෝය. ඉටුවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රියවූ, ආකාර ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ, දිවෙන් දතයුතුවූ රසයෝය, ඉටුවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රියවූ, ආකාර ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ, ශරීරයෙන් දතයුතුවූ ස්පර්‍ශයෝය. ඇවැත්නි, මේ පස්කම් ගුණයෝය. මේ පස්කම් ගුණයන් නිසා යම් ඒ සුඛ සොම්නසක් උපදීද, ඇවැත්නි, මෙය කාම සැපයයි කියනු ලැබේ.

’’ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් තෙම කාමයන්ගෙන් වෙන්වම, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේද, ඇවැත්නි, මේ (ධ්‍යාන) විහරණයෙන් වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට කාම සහගත සංඥා මනසිකාරයෝ පැමිණෙත්ද, එය ඔහුට ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් සේ සුවපත් වූවහුට දුකක් උපදින්නේ, ඒතාක් ආබාධය පිණිස පවතින්නේද, එසේම ඕහට ඒ කාම සහගත සංඥා මනසිකාරයෝ පවතිත්. ඕහට එය ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. ඇවැත්නි, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.

’’නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණ තෙමේ විතර්‍ක විචාරයන් සංසිඳවීමෙන් වීතීය ධ්‍යානයට පැමිණ වෙසේද, ඉදින් ඇවැත්නි, මේ ද්වීතීය ධ්‍යාන විහරණයෙන් වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට විතර්‍ක සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, එය ඔහුට ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් සේ සුවපත් වූවහුට දුක් උපදින්නේ, ඒතාක් ආබාධය පිණිස වේද, එසේම ඕහට ඒ විතර්‍ක සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. ඇවැත්නි, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.

’’නැවතද අනිකක් කියමි. මහණෙක් තෙමේ ප්‍රීතියගේ නොඇලීමෙන්, ප්‍රීතිය සංසිඳවීමෙන්, තෘතීය ධ්‍යානයට පැමිණ වෙසේද, ඇවැත්නි, ඉදින් මේ තෘතීය ධ්‍යාන විහරණයෙන් වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට ප්‍රීති සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, එය ඔහුට ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් සේ සුවපත් වූවහුට දුක් උපදින්නේද, ඒතාක් ආබාධය පිණිස වෙයි. එසේම ඕහට ඒ ප්‍රීති සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. ඇවැත්නි, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.

’’නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණෙක් තෙමේ සැපයාගේද ප්‍රහාණයෙන්, දුක්ඛයාගේද ප්‍රහාණයෙන්, චතුර්ථධ්‍යානයට පැමිණ වෙසේද, ඉදින් ඇවැත්නි, මේ චතුර්ත්‍ථධ්‍යාන විහරණයෙන් යුක්තව වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට උපෙක්‍ෂා සහගත සංඥා මනසිකාරයෝ පවතිත්. එය ඔහුට ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් සේ සුවපත් වූවහුට දුක් උපදින්නේද, ඒතාක් ආබාධය පිණිස පවතින්නේය. එසේම ඕහට ඒ උපෙක්‍ෂා සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. ඇවැත්නි, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.

’’නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම සර්‍වප්‍රකාරයෙන් රූපය යන සංඥාවන් ඉක්මවීමෙන්, ප්‍රතිඝ සංඥාවන් දුරු කිරීමෙන්, නා නා ආත්මය යන සංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, ආකාසය අනන්තයයි, ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, ඉදින් ඇවැත්නි, මේ සමාපත්ති විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට රූප සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඕහට එය ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් සේ සුවපත් වූවහුට දුක් උපදින්නේද, ඒතාක් ආබාධය පිණිස පවතීද, එසේම ඕහට ඒ රූප සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. ඇවැත්නි, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.

’’නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම, විඤ්ඤාණය අනන්තයයි, විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසේද, ඇවැත්ති, ඉදින් මේ සමවත් විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට ආකාසානඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ පව තිත්ද, ඕහට එය ආබාධයක් වෙයි. ඇවැත්නි, සුවපත් වූවහුට දුක උපදින්නේද, ඒතාක් යම් සේ ආබාධය පිණිස පවතීද, එසේම ඕහට ඒ ආකාසානඤ්චායතන සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. ඇවැත්නි, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.

’’ඇවැත්ති, නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම කිසිවක් නැත්තේයයි ආකිඤ්චඤ්ඤායතනට පැමිණ වෙසේද, ඉදින් ඇවැත්නි, මේ සමවත් විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ භික්‍ෂුවකට විඤ්ඤාණාඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඕහට එය ආබාධයක් වේ. ඇවැත්නි, සුවපත් වූවහුට දුක් උපදින්නේද, ඒතාක් ආබාධය පිණිස යම් සේ පවතීද, එසේම ඕහට ඒ විඤ්ඤාණඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. ඇවැත්නි, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.

’’ඇවැත්ති, නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ඉක්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට පැමිණ වෙසේද, ඇවැත්නි, ඉදින් මේ සමවත් විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඕහට එය ආබාධයක් වේ. ඇවැත්නි, සුවපත් වූවහුට දුක් උපදින්නේද, ඒතාක් ආබාධය පිණිස යම් සේ පවතින්නේද, එසේම ඕහට ඒ ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. ඇවැත්නි, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.

’’ඇවැත්ති, නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤාතනය ඉක්ම සඤ්ඤා වෙදයිත නිරෝධයට පැමිණ වෙසේද, ප්‍රඥාවෙන් දැක ඔහුගේ ආශ්‍රව පරික්‍ෂිණයෝ (කෙලෙස් නැතිකිරීම්) වෙත්ද, ඇවැත්නි, මේ ක්‍රමයෙන්ද මෙසේ නිවණ සැපවූසේ දතයුතුය’’ යි වදාළ සේක.