අඞ්ගුත්තරනිකායො

නවක නිපාතය

1. පළමු වෙනි පණ්ණාසකය

4. මහා වර්‍ගය

6. ආනන්‍ද ඔකාසායිගම සූත්‍රය

’’මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම කොසඹෑනුවර ඝොෂිතාරාමයෙහි වැඩ වාසය කරයි. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, ’’ඇවැත්නි, මහණෙනි, කියා භික්‍ෂූන්ට ඇමතූ සේක. ඒ භික්‍ෂූහු, ’’ඇවැත්නි’’ කියා ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මේ කාරණය කී සේක.

’’සත්ත්‍වයන්ගේ විසුද්‍ධිය පිණිසද, ශොක පරිදෙවයන්ගේ ඉක්මවීම පිණිසද, දුක් දොම්නස් නැතිකිරීම පිණිසද, විදර්‍ශණා සහිත මාර්‍ගයාගේ අවබොධය පිණිසද, නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිසද, දන්නාවූ, දක්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, ඒ භාග්‍යවත්හු විසින් (පඤ්චකාම ගුණ) සම්බාධය ඇති කල්හි ඔකාසයාගේ අධිගමය අවබෝධ කරණ ලද්දේ යම්තාක්ද, ඒතාක් ඇවැත්නි, මෙය ආශ්චර්‍ය්‍යය, ඇවැත්නි, මෙය අද්භූතය. එයම (ප්‍රසාද) චක්‍ෂුස වන්නේය. ඒ රූපයන්ද ඒ ආයතනය නොදන්නේය. එයම නම් ශ්‍රොත වන්නේය. ඒ ශබ්දයන්ද, ඒ ආයතනයද, නොම දන්නේය. එයම ඝ්‍රාණය වන්නේය. ඒ ගන්‍ධයන්ද, ඒ ආයතනයද නොදන්නේය. එයම ජිව්හාව වන්නේය. ඒ රසයන්ද, ඒ ආයතනයද නොම දන්නේය. එයම නම් කය වන්නේය. ඒ ස්පර්‍ශයන්ද, ඒ ආයතනයද නොම දන්නේය.

’’මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිරතෙමේ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මේ කාරණය කීයේය. ’ඇවැත්නි, ආනන්‍දයෙනි, සංඥා ඇත්තේම ඒ ආයතනය නොදනීද, නොහොත් සංඥා නැත්තේම (නොදනීද)? ඇවැත්නි, සංඥා ඇත්තේම ඒ ආයතනය නොදනී. සංඥා නැත්තේ නොදනී. ඇවැත්නි, කවර සංඥාවකින් සංඥා ඇතුව ඒ ආයතනය නොම දනීදැයි, ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ තෙම සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝ සංඥාවන් දුරුකිරීමෙන්, නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, ආකාශය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, ඇවැත්නි, මෙසේ සංඥා ඇත්තේම ඒ ආයතනය නොදනී.

’’ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි, විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසේද, ඇවැත්නි, මෙසේ සංඥා ඇත්තේම ඒ නොදනී.

’’ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැත්තේයයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේද, ඇවැත්නි, මෙසේ සංඥා ඇත්තේම ඒ ආයතනය නොදනී.

’’ඇවැත්නි, මම එක් කාලයක සාකේත නුවර අඤ්ජන වන නම් මෘගදාවෙහි වාසය කෙළෙමි. එකල්හි ඇවැත්නි, ජටිලගහ නගර වාසීවූ භික්‍ෂුණියක් තොම, මා යම් තැනෙක්හිද, එහි පැමිණියාය. පැමිණ, මට වැඳ, එකත්පසෙක සිටියාය. ඇවැත්නි, එකත්පසෙක සිටියාමවූ, ජටිලගහ නගර වාසීවූ යම් ඒ භික්‍ෂුණිය මට මෙසේ කීවාය. ’’ස්වාමීනි, ආනන්‍දයෙනි, යම් ඒ සමාධියක් තොම රාග වශයෙන් නොපමුණුවන ලද්දේ වේද, ද්වේෂ වශයෙන් බැහැර නොකරණ ලද්දේත් වේද, සංස්කාර වශයෙන් නිග්‍රහකොට වලක්වා සිටියේ, කෙලෙසුන්ගෙන් මිදුනු හෙයින් සිටියේ, සිටි බැවින් සතුටු වූයේ, සතුටු බැවින් නොතැවේ.’’

’’ස්වාමීනි, ආනන්‍දයෙනි, මේ සමාධිය, භාග්‍යවතුන් වහන්සේ විසින් කිනම් ප්‍රයෝජන ඇත්තේ, වදාරණ ලද්දේද’’ යනුයි. මෙසේ කී කල්හි, ’’ඇවැත්නි, මම ජටිලගෘහිය භික්‍ෂුණියට මේ කාරණය කීවෙමි. ’නැගනිය, යම් මේ සමාධියක් රාග වශයෙන් නොනැමුණේ, ද්වේෂ වශයෙන් නොනැමුණේ, සප්‍රයෝග වශයෙන් ක්ලේශයන් වැළැක්වූයේ, ක්ලේශයන්ගෙන් විමුක්ත බැවින් පිහිටා සිටියේ, පිහිටා සිටි බැවින් සන්තුෂ්ට වූයේ, සන්තුෂ්ටවූ බැවින් හාත්පසින් නොතැවෙයිද, භගිනිය, මේ සමාධිය භාග්‍යවතුන් වහන්සේ විසින් අර්හත්වය ප්‍රයෝජනකොට ඇත්තේයයි වදාරණ ලද්දේය යනුයි. ඇවැත්නි, මෙසේ සංඥා ඇත්තේම ඒ ආයතනය නොම පිළිදනීය යනුයි.’’