අඞ්ගුත්තරනිකායො

නවක නිපාතය

1. පළමු වෙනි පණ්ණාසකය

4. මහා වර්‍ගය

7. ලොකායතික සූත්‍රය

’’ඉක්බිත්තෙන් වනාහි, ලෝකාන්තය හදාරන්නවෙූ බ්‍රාහ්මණයෝ දෙදෙනෙක්, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටුවියයුතු කථාද, සිහි කටයුතු කථාද, කොට නිමවා, එකත්පසෙක උන්නාහුය. එකත්පසෙක උන්නාවූ ඒ බ්‍රාහ්මණයෝ, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය.

’’භවත් ගෞතමයන් වහන්ස, පූරණ කස්සප තෙමේ, සියල්ල දන්නේ, සියල් දක්නේ, හැසිරෙන්නාවූද, සිටින්නාවූද, නිදාගන්නාවූද, නිදි දුරු කරන්නාවුද, ’මට සෑම කල්හි නිරන්තරයෙන් ඤාණ දර්‍ශනය පිහිටා සිටියේ’ යි සියල්ල දැකීම ප්‍රතිඥා කෙරෙයි. හෙතෙම මෙසේ කියයි. ’මම අනන්තවූ ඤාණයෙන් අන්තවත්වූ ලෝකය දනිමින්, දකිමින්, වාසය කරමි’ කියායි.

’’භවත් ගෞතමයන් වහන්ස, මේ නිඝණ්ඨනාත පුත්‍ර තෙමේ. සියල්ල දන්නේ, සියල් දක්නේ, හැසිරෙන්නාවූද, සිටින්නාවූද, නිදාගන්නාවූද, නිදි දුරු කරන්නාවුද, ’මට සෑම කල්හි නිරන්තරයෙන් ඤාණ දර්‍ශනය පිහිටා සිටියේ’ යි සියල්ල දැකීම ප්‍රතිඥා කෙරෙයි. හෙතෙම මෙසේ කියයි. ’මම අනන්තවූ ඤාණයෙන් අන්තවත්වූ ලෝකය දනිමින්, දකිමින්, වාසය කරමි’ කියායි.

’’භවත් ගෞතමයන් වහන්ස, මේ ඤාණවාද දෙක අතුරෙන්, මේ එකට එක විරුද්‍ධ වාද දෙක අතුරෙන්, කවරක් නම් සත්‍යවේද, කවරක් මුසා නම් වීදැයි කියයිද?’’

’’බ්‍රාහ්මණවරුනි, මේ ඤාණවාද දෙක අතුරෙන්, මේ අඤ්ඤමඤ්ඤ විපච්චනික වාද දෙක අතුරෙන්, කවරක් නම් සත්‍යවේදැයි, කවරක් නම් මුසාව වේදැයි කියයිද, යන මේ කාරණය කම් නැත. මේ කාරණය තිබේවා. බ්‍රාහ්මණවරුනි, තොපට ධර්‍මය දෙසන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි’’ ඒ බ්‍රාහ්මණයෝ, ’’එසේය, පිංවතුන් වහන්සේය’’ කියා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක.

’’බ්‍රාහ්මණවරුනි, යම්සේ නම් උතුම් ගතියෙන්ද, ජවයෙන්ද, උතුම් පදවීතිහාරයෙන්ද යුක්තවූ සතර දිගින් පැමිණ සිටියාවූ පුරුෂයෝ සතර දෙනෙක් වන්නාහුද, දෘඪව දුනුගෙන සිටියාවූ, ධනුග්‍රාහීවූ, ශික්‍ෂිතවූ, කෘතහස්තවූ, දක්වන ලද ශිල්ප ඇත්තාවූ, ධනුර්ධරයෙක් තෙම සැහැල්ලු වූ ඊතලයකින් නිරායාසයෙන් තල්ගස් සෙවණක් යම් සේ ඉක්මවන්නේද, එවැනිවූම පදවීතිහාරයකින්ද, යම් සේ නම් පෙරදිග මුහුදින් බටහිර දිග මුහුද වේද, ඉක්බිති පෙරදිගෙහි සිටියාවූ පුරුෂයෙක් තෙම මෙසේ කියන්නේද, ’මම පා ගමනින් ලෝකයාගේ කෙළවරට පැමිණෙන්නෙමි’ යි කියායි. හෙතම කෑම, පීම, කඩා කෑම, ලොවීම යන මෙයින් තොරවම, මල මූත්‍ර පහ කිරීමෙන් තොරවම, නිද්‍රා ක්ලාන්ත දුරු කිරීමෙන් තොරව, සියක් වස් ආයු ඇත්තේ, සියක් වස් ජීවත්වනසුළු වූයේ, වර්‍ෂ සියයක් මුළුල්ලෙහි ගොස්, ලෝකයාගේ කෙළවරට නොපැමිණම අතරතුර කාලක්‍රියා කරන්නේය.

’’ඉක්බිති පශ්චිම දිශාවෙහි සිටි පුරුෂයා මෙසේ කියන්නේය. ’මම පා ගමනින් ලෝකයාගේ කෙළවරට පැමිණෙන්නෙමි’ යි කියායි. හෙතම කෑම, පීම, කඩා කෑම, ලොවීම යන මෙයින් තොරවම, මල මූත්‍ර පහ කිරීමෙන් තොරවම, නිද්‍රා ක්ලාන්ත දුරු කිරීමෙන් තොරව, සියක් වස් ආයු ඇත්තේ, සියක් වස් ජීවත්වනසුළු වූයේ, වර්‍ෂ සියයක් මුළුල්ලෙහි ගොස්, ලෝකයාගේ කෙළවරට නොපැමිණම අතරතුර කාලක්‍රියා කරන්නේය. ඉක්බිති උත්තර දිශාවෙහි සිටි පුරුෂයා මෙසේ කියන්නේය. ’මම පා ගමනින් ලෝකයාගේ කෙළවරට පැමිණෙන්නෙමි’ යි කියායි. හෙතම කෑම, පීම, කඩා කෑම, ලොවීම යන මෙයින් තොරවම, මල මූත්‍ර පහ කිරීමෙන් තොරවම, නිද්‍රා ක්ලාන්ත දුරු කිරීමෙන් තොරව, සියක් වස් ආයු ඇත්තේ, සියක් වස් ජීවත්වනසුළු වූයේ, වර්‍ෂ සියයක් මුළුල්ලෙහි ගොස්, ලෝකයාගේ කෙළවරට නොපැමිණම අතරතුර කාලක්‍රියා කරන්නේය. ඉක්බිති දක්‍ෂිණ දිශාවෙහි සිටි පුරුෂයා මෙසේ කියන්නේය. ’මම පා ගමනින් ලෝකයාගේ කෙළවරට පැමිණෙන්නෙමි’ යි කියායි. හෙතම කෑම, පීම, කඩා කෑම, ලොවීම යන මෙයින් තොරවම, මල මූත්‍ර පහ කිරීමෙන් තොරවම, නිද්‍රා ක්ලාන්ත දුරු කිරීමෙන් තොරව, සියක් වස් ආයු ඇත්තේ, සියක් වස් ජීවත්වනසුළු වූයේ, වර්‍ෂ සියයක් මුළුල්ලෙහි ගොස්, ලෝකයාගේ කෙළවරට නොපැමිණම අතරතුර කාලක්‍රියා කරන්නේය. ඊට හේතු කවරේද? බ්‍රාහ්මණවරුනි, මම මෙබඳුවූ පා ගමනින් දුවන්නෙකුගේ ලෝකයාගේ අන්තය නොදතයුතුයයි, නොදැක්ක යුතුයයි, නොපැමිණිය යුතුයයි කියමි. බ්‍රාහ්මණවරුනි, මම ලෝකයාගේ අන්තයට නොපැමිණ, දුක් කෙළවර කරන්නේයයි නොකියමි’’ යි වදාළ සේක.

’’බ්‍රාහ්මණවරුනි, මේ කාමතුණ පසක් ආර්‍ය්‍ය විනයෙහි ලෝකයයි කියනු ලැබේ. කවර පසක්ද? ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමයෙන් යුක්තවු, රජනීයවූ (ඇළුම් කටයුතුවූ) චක්‍ෂුර් විඥානයෙන් දතයුතුවූ රූපයෝය, ශ්‍රොත විඥෙය්‍යවූ ශබ්දයෝය, ඝ්‍රාණයෙන් දතයුතුවූ ගන්‍ධයෝය, ජිව්හා විඥෙය්‍යවූ රසයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමූපසංහිතවූ, (පස්කම් ගුණයෙන් යුක්තවූ) රජනීයවූ, කායවිඥ්‍යෙයවූ ස්පර්‍ශයෝය. බ්‍රාහ්මණවරුනි, මේ පඤ්චකාමගුණයෝ ආර්‍ය්‍ය විනයෙහි ලෝකයයි කියනු ලැබේ.

’’බ්‍රාහ්මණවරුනි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් තෙම කාමයන්ගෙන් වෙන්වම, ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේද, බ්‍රාහ්මණවරුනි, මේ භික්‍ෂුතෙම ලෝකයාගේ කෙළවරට පැමිණ, ලෝකයාගේ අන්තයෙහි වෙසේයයි කියනු ලැබේද, ඕහට අනයයෝ මෙසේ කීවාහුය. ’මේ තෙමේද ලෝක පරියාපන්නය (ලෝකයට ඇතුළත්ය) මේ තෙමේද ලෝකයෙන් බැහැර නොකරණ ලද්දේ වේය’ යනුයි.

’’බ්‍රාහ්මණවරුනි, නැවතද අනිකක් කියමි. භික්‍ෂුවක් තෙම විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන්

’’විතර්‍ක විචාරයන් සන්සිඳීමෙන් තමා තුළ ප්‍රසාදය ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සිතේ එකඟකමින් උපන් ප්‍රීතිය හා සැපය ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන් දුක් සැප නොවූ (මධ්‍යස්ථවූ) උපෙක්‍ෂාස්මෘති පාරිශුද්‍ධියවූ, චතුර්ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසේද,

’’බ්‍රාහ්මණවරුනි, නැවතද අනිකක් කියමි. භික්‍ෂුවක් තෙම සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන්, ප්‍රතිඝ සංඥාවන්ගේ අස්තඞ්ගමයෙන්, නානාත්ම සංඥාවන්ගේ මෙනෙහි නොකිරීමෙන්, ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, බ්‍රාහ්මණවරුනි, මේ භික්‍ෂුව ලෝකයාගේ අන්තයට පැමිණ, ලෝකයාගේ අන්තයෙහි වෙසේද, ඕහට අන්‍යයෝ මෙසේ කීවාහුය. ’මේ තෙමේද ලෝක පරියාපන්නය (ලෝකයට ඇතුළත්ය) මේ තෙමේද ලෝකයෙන් බැහැර නොකරණ ලද්දේ වේය’ යනුයි.

’’බ්‍රාහ්මණවරුනි, නැවතද අනිකක් කියමි. භික්‍ෂුවක් තෙම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසේද, බ්‍රාහ්මණවරුනි, මෙසේ සංඥා ඇත්තේම නොදනී. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම, කිසිවක් නැත්තේයයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේද, බ්‍රාහ්මණවරුනි, මේ භික්‍ෂු තෙමේද ලෝකයාගේ අන්තයට පැමිණ, ලෝකයාගේ අන්තයෙහි වෙසේද, ඕහට අන්‍යයෝ මෙසේ කීවාහුය. ’මේ තෙමේද ලෝක පරියාපන්න වෙයි. මේ තෙමේ ලෝකයෙන් බැහැර නොකරණ ලද්දේ වේය’ යනුයි. බ්‍රාහ්මණවරුනි, නැවතද අනිකක් කියමි. භික්‍ෂුවක් තෙම සර්‍වප්‍රකාරෙයෙන් නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය ඉක්ම, සඤ්ඤාවෙදයිත නිරෝධයට පැමිණ, ඔහු විසින් ප්‍රඥාවෙන් දැක, ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලද්දාහු වෙත්ද, බ්‍රාහ්මණවරුනි, මේ භික්‍ෂුව ලෝකයෙහි විසත්තිකා නම් තෘෂ්ණාව තරණය කෙළේ, ලෝකයාගේ අන්තයට පැමිණ, ලෝකයාගේ අන්තයෙහි වෙසේයයි කියනු ලැබේ.’’