අඞ්ගුත්තරනිකායො

නවක නිපාතය

1. පළමු වෙනි පණ්ණාසකය

4. මහා වර්‍ගය

8. දෙවාසුර සංගාම සූත්‍රය

’’මහණෙනි, පෙර වූ දෙයක් කියමි. දෙවාසුර යුද්‍ධයක් පැමිණ සිටියේ විය. මහණෙනි, ඒ යුද්‍ධයෙහි වනාහි අසුරයෝ දිනුවාහුය. දෙවියෝ පැරදුනාහුය. මහණෙනි, පැරදුනාවූද දෙවියෝ බිය වූවාහු පැන ගියාහුය. අසුරයෝ උත්තරාභිමුඛව ලුහුබැඳ ගියාහුය.

’’මහණෙනි, ඉක්බිති දෙවියන්ට මෙබඳු සිතක් විය. ’අසුරයෝ ලුහුබැඳ යත්ම, අපි දෙවෙනි වරත් අසුරයන් සමග යුද්‍ධ කරන්නෙමු නම් ඉතා යෙහෙක’ කියායි. මහණෙනි, දෙවෙනි වරත් දෙවියෝ අසුරයන් සමග යුද්‍ධ කළාහුය. මහණෙනි, දෙවෙනි වරත් අසුරයෝ දිනුවාහුය. දෙවියෝ පැරදුනාහුය. මහණෙනි, පැරදුනාවූද දෙවියෝ බිය වූවාහු පැන ගියාහුය. අසුරයෝ උත්තරාභිමුඛව ලුහුබැඳ ගියාහුය.

’’මහණෙනි, ඉක්බිතත්තෙන් දෙවියන්ට මෙවැනි සිතක් විය. ’අසුරයෝ ලුහුබැඳ යන්නාහුමය, අපි තුන්වෙනි වරත් අසුරයන් සමග යුද්‍ධ කරන්නෙමු නම් ඉතා යෙහෙක’ කියායි. මහණෙනි, තුන්වෙනි වරත් දෙවියෝ අසුරයන් සමග යුද්‍ධ කළාහුය. මහණෙනි, තෙවෙනි වරත් අසුරයෝ දිනුවාහුය. දෙවියෝ පැරදුනාහුය. මහණෙනි, පැරදුනාවූද දෙවියෝ බිය වූවාහු පැන ගියාහුය. අසුරයෝ උත්තරාභිමුඛව ලුහුබැඳ ගියාහුය.

’’මහණෙනි, දෙවු පුරයට ගියාවූ දෙවියන්ට මෙවැනි සිතක් විය. ’දැන් අපි මේ කාලයෙහි බියෙන් වැලකී සිටීමට ගියාවූ ආත්මයෙන් යුක්තව, අසුරයන් විසින් නොකට යුත්තෝව වාසය කරමු’ ය කියායි. මහණෙනි, අසුරයන්ටද මෙවැනි සිතක් විය. එනම්, ’දැන් මේ කාලයේ දෙවියෝ බියෙන් පිළිසරණ විමට ගියාවූ ආත්මයෙන් යුක්තව අප විසින් නොකට යුත්තෝව වාසය කෙරෙත්ය’ යනුයි.

’’මහණෙනි, පෙරවූ දෙයක් කියමි. එකල්හි දෙවියන්ගේ සහ අසුරයන්ගේ යුද්‍ධයක් හටගත්තේ විය. මහණෙනි, ඒ කාලයෙහි දෙවියෝ දිනුවාහුය. අසුරයෝ පැරදුනාහුය. මහණෙනි, පැරදුනාවූද අසුරයෝ පැන ගියාහුමය. දෙවියෝ දක්‍ෂිණවාරයෙන් ලුහුබැඳ ගියාහුය.

’’ඉක්බිති අසුරයන්ට මෙවැනි අදහසක් විය. ’දෙවියෝ ලුහුබැඳ යන්නාහුමය. අපි දෙවෙනි වරත් දෙවියන් සමග යුද්‍ධ කරන්නෙමු නම් ඉතා යෙහෙක’ කියායි. මහණෙනි, දෙවෙනෙි වරත් අසුරයෝ දෙවියන් සමග යුද්‍ධ කළාහුය. මහණෙනි, දෙවෙනි වරත් දෙවියෝ දිනුවාහුය. අසුරයෝ පැරදුනාහුය. මහණෙනි, පැරදුනාවූද අසුරයෝ පැන ගියාහුමය. දෙවියෝ දක්‍ෂිණවාරයෙන් ලුහුබැඳ ගියාහුය.

’’ඉක්බිති අසුරයන්ට මෙවැනි සිතක් විය. ’දෙවියෝ ලුහුබැඳ යන්නාහුමය. අපි තෙවෙනි වරත් දෙවියන් සමග යුද්‍ධ කරන්නෙමු නම් ඉතා යෙහෙක’ කියායි. මහණෙනි, තෙවෙනෙි වරත් අසුරයෝ දෙවියන් සමග යුද්‍ධ කළාහුය. මහණෙනි, තෙවෙනි වරත් දෙවියෝ දිනුවාහුය. අසුරයෝ පැරදුනාහුය. මහණෙනි, අසුර පුරයට තියාවූ අසුරයන්ට මෙබඳු සිතක් විය. ’දැන් අපි මේ කාලයෙහි භයත්‍රාණවූ (බිය පිළිසරණවූ) ආත්මයෙන් යුක්තව දෙවියන් විසින් නොකටයුත්තෝව වාසය කරමුය’’ කියායි.

’’මහණෙනි, එපරිද්දෙන්ම යම් සමයෙක්හි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, මහණෙනි, ඒ කාලයෙහි භික්‍ෂුවට මෙසේ සිතක් වෙයි. ’දැන් මේ කාලයෙහි මම මාරයා විසින් නොකටයුතුවූ, භීරුත්තානගතවූ (බිය වැළකීමෙන් ප්‍රතිෂ්ඨාගතවු) ආත්මයෙන් යුක්තව වාසය කරම්ය’ කියායි. මහණෙනි, පාපීමත්වු මාරයාටද මෙසේ සිතක් වෙයි. ’දැන් මේ කාලයෙහි භික්‍ෂුතෙම මා විසින් නොකටයුතුවූයේ, භීරුත්තානගත ආත්මයෙන් යුක්තව වාසය කෙරේය’ කියායි.

’’මහණෙනි, යම් කාලයෙක්හි භික්‍ෂුතෙම විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ ප්‍රසාදය ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සිතේ එකඟකමින් උපන් ප්‍රීතිය හා සැපය ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන් දුක් සැප නොවූ (මධ්‍යස්ථවූ) උපෙක්‍ෂාස්මෘති පාරිශුද්‍ධියවූ, චතුර්ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසේද, ඒ කාලයෙහි භික්‍ෂුවට මෙසේ සිතක් වෙයි. ’දැන් මම මේ කාලයෙහි මාරයා විසින් නොකටයුතුවූ, භීරුත්තානගත ආත්මයෙන් යුක්තව වාසය කරම්ය’ කියායි. මහණෙනි, පාපීමත්වු මාරයාටද මෙසේ සිතක් වෙයි. ’දැන් මේ කාලයෙහි භික්‍ෂුතෙම මා විසින් (කිසිවක්) නොකටයුතුවූයේ, භීරුත්තානගතවූ ආත්මයෙන් යුක්තව වාසය කෙරේය’ කියායි.

’’මහණෙනි, යම් සමයෙක්හි භික්‍ෂුතෙම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම, ප්‍රතිඝ සංඥාවන් අස්තඞ්ගම කිරීමෙන්, නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, මහණෙනි, මේ භික්‍ෂුව කෙළවර කෙළේය. පියවර නැතිසේ මාරයා නසා පාපීවූ මරුගේ මාර චක්‍ෂුස අදර්‍ශනයට පැමිණවීය.

’’මහණෙනි, යම් සමයෙක්හි මහණතෙමේ සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්නතයයි, විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසේද, ස්ර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැත්තේයයි, ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේද, ස්ර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේද, සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා, සඤ්ඤාවෙදයිතනිරෝධයට පැමිණ වෙසේද, ඔහාෙග් ප්‍රඥාවෙන් දැක, ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලද්දාහු වෙත්ද, මහණෙනි, මේ මහණතෙම මාරයා නිෂ්පදව (නිරවශෙෂයෙන්) අන්ත කෙළේයයිද, පාපීවූ මාරයාගේ මාර චක්‍ෂුෂ අදර්‍ශනයට ගියේයයිද, ලෝකයෙහි විසත්තිකා නම් තෘෂ්ණාව තරණය කරණ ලද්දේයයි කියනු ලැබේය’’ යි වදාළ සේක.