අඞ්ගුත්තරනිකායො

නවක නිපාතය

1. පළමු වෙනි පණ්ණාසකය

1. සම්බොධි වර්‍ගය

4. නන්‍දකසම්පන්න සූත්‍රය

’’එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වැඩ වසති. එකල්හි ආයුෂ්මත් නන්‍දක තෙර, උපට්ඨාන ශාලාවෙහි භික්‍ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වයි. දැහැමි කථාවට සමාදන් කරවයි. දැහැමි කථාවෙන් සිත තියුණු කරවයි. දැහැමි කථාවෙන් සිත සතුටු කරවයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැගිට, උපට්ඨාන ශාලාවට පැමිණියහ. ඒ උපට්ඨාන ශාලාවට පැමිණ, නන්‍දක තෙරුන්ගේ කථා අවසානය බලාපොරොත්තු වෙමින් දොරටුවෙන් පිට සිටියහ.

’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නන්‍දක තෙරුන්ගේ කථාව අවසන්වූ බව දැන, උකැස (කාරා) යතුර තියෙන තැනට තට්ටු කළහ. එකල භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට දොර හළහ. එකල භාග්‍යවතුන් වහන්සේ රැස්වීම් ශාලාවට පැමිණ, පනවන ලද අසුන්හි වැඩ හුන්හ. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ, ආයුෂ්මත් නන්‍දක තෙරුන්ට මෙසේ කීහ.

’’නන්‍දකය, භික්‍ෂූන්ට කළ ඔබගේ දැහැමි කථාව දිගය. ඒ කථාවේ අවසානය බලාපොරොත්තු වෙමින් දොරටුවෙන් පිටත සිටි මාගේ පිටේ රුදාව සෑදුනේය.’’ මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් නන්‍දක තෙර ඉතා කණගාටු ස්වභාවයට පැමිණ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. ’’ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ දොරටුවෙන් පිට සිටින බවක් නොදන්නෙමු. ඉදින් අපි භාග්‍යවතුන් වහන්සේ දොරටුවෙන් පිට සිටින බවක් දන්නෙමු නම් එතරම් කථාව දික් නොකරන්නෙමු.’’

’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නන්‍දක තෙර කණගාටුවට පැමිණි බව දැන, ආයුෂ්මත් නන්‍දක තෙරුන්ට මේ කාරණය කීහ. ’’නන්‍දකය, සාධු, සාධු, ඔබ වැනි අය දැහැමි කථාවකින් යුක්තව හින්නහුද? සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූ ඔබ වැනි කුල පුතුන්ට මෙය ඉතාම සුදුසුය. නන්‍දකය, රැස්වූවන් විසින් දෙකක් කළ යුතුය. එනම්, දැහැමි කථාව හෝ උතුම් නිශ්ශබ්ද බවයි. නන්‍දකය, භික්‍ෂුවක් සැදැහැ ඇත්තෙක්ව සිල්වත් නොවෙයිද, එසේ ඔහු ඒ කරුණෙන් සම්පූර්‍ණ නොවූවෙක් වෙයි. ඔහු විසින්, ’මම සැදැහැවතෙක් සහ සිල්වතෙක් වූයෙම්දැ’ යි කියා ඒ කරුණ සම්පූර්‍ණ කළ යුතුය. නන්‍දකය, යම් හෙයකින් ඒ භික්‍ෂුව සැදැහැවතෙක් සහ සිල්වතෙක් වූයේද, එසේ ඒ භික්‍ෂුව සැදැහැවතෙක් සහ සිල්වතෙක් වූයේ වෙයිද, ඒ භික්‍ෂුව ඒ කරුණෙන් සම්පූර්‍ණ වූයෙක් වෙයි. නන්දකය, යම් හෙයකින් භික්‍ෂුවක් සැදැහැවතෙක් සහ සිල්වතෙක්වද, සිත පිළිබඳ චෙතො සමථයාගේ ලැබීම ඇත්තෙක් නොවේද, මෙසේ ඔහු ඒ කරුණෙන් සම්පූර්‍ණ නොවූයෙක් වෙයි. ඒ භික්‍ෂුව විසින් ’කිම මම සැදැහැවතෙක් හා සිල්වතෙක් වීමි. සිත පිළිබඳ සිත කෙලෙස්වලින් සංසිඳවීම් ලැබීම ඇත්තෙක් නොවූයෙමි’ යි ඒ කරුණ සම්පූර්‍ණ කළ යුතුය. නන්දකය, භික්‍ෂුවක් සැදැහැවතෙක් සහ සිල්වතෙක්ව සිත පිළිබඳ චෙතො සමථයාගේ ලැබීම ඇත්තෙක් වෙයිද, ඔහු මෙසේ ඒ කරුණෙන් සම්පූර්‍ණ වූයෙක් වෙයි.

’’නන්දකය, භික්‍ෂුවක් සැදැහැවතෙක්ව, සිල්වතෙක්ව, සිත පිළිබඳ චෙතො සමථයාගේ ලැබීම ඇත්තෙක්ව, අධිපඤ්ඤා ධම්ම විපස්සනාවගේ (මග ඵල දහමකගේ) ලැබිම ඇත්තෙක් නොවෙයිද, මෙසේ ඒ භික්‍ෂුව ඒ කරුණෙන් සම්පූර්‍ණ නොවූයෙක් වෙයි.

’’නන්දකය, යම් සේ සිවුපා සතෙකුගේ එක පාදයක් කොට වේද, ඔහු ඒ කොටසෙන් සම්පූර්‍ණ නොවූයෙක් වන්නේද, නන්දකය, එමෙන් භික්‍ෂුවක් සැදැහැවතෙක් වෙයිද, සිල්වතෙක් වෙයිද, සිත පිළිබඳ චෙතො සමථයාගේ ලැබීම ඇත්තෙක් වෙයිද, අධිපඤ්ඤා ධම්ම විපස්සනාව (මග ඵල) නොලැබිම ඇත්තෙක් වෙයිද, ඔහු ඒ කරුණෙන් සම්පූර්‍ණ නොවූයෙක් වෙයි. ඔහු විසින් ඒ කරුණ සම්පූර්‍ණ කළයුතු (කෙසේද?) ’මම සැදැහැවතෙක් විමි. සිල්වතෙක් වීමි. සිත පිළිබඳ චෙතො සමථයාගේ ලැබීම ඇත්තෙක් වීමි. නමුත් අධිපඤ්ඤා ධම්ම විපස්සනාවගේ ලැබීම ඇත්තෙක් නොවීමි.’ (කියායි.) නන්දකය, යම් හෙයකින් භික්‍ෂුවක් සැදැහැවතෙක් වේද, සිල්වතෙක් වේද, සිත පිළිබඳ චෙතො සමථයාගේ ලැබීම ඇත්තෙක් වේද, අධිපඤ්ඤා ධම්ම විපස්සනාවගේ ලැබිම ඇත්තෙක් වේද, එහු ඒ කරුණෙන් සම්පූර්‍ණ වූයෙක් වෙයි.’’ භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කොට ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.

’’ඉක්බිති ආයුස්මත් නන්‍දක භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේ වැඩිය නොබෝ වේලාවකින් භික්‍ෂූන් අමතා, ’’ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ’නන්‍දකය, භික්‍ෂුවක් සැදැහැවතෙක් වේද, ඒ භික්‍ෂුව ඒ කරුණෙන් සම්පූර්‍ණ වූයෙක් වේය (යනාදි වශයෙන්) කරුණු සතරකින් සියල්ලෙන් සම්පූර්ණ පිරිසිදු බඹසර (සාසනය) ප්‍රකාශ කොට ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.’’

’’ඇවැත්නි, සුදුසු කල ධර්‍ම සාකච්ඡාවෙහි අනුසස් පසෙකි. ඒ පස කවරහුද? මහණෙනි, මේ සාසනයෙහි භික්‍ෂුවක් මුල යහපත්වූ, මැද යහපත්වු, අවසානය යහපත්වූ, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන (අකුරු) සහිත, සියලු ආකාරයෙන් සම්පූර්‍ණ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරයිද, ඇවැත්නි, භික්‍ෂුවක්, භික්‍ෂූන්ට යම් යම් පරිද්දෙකින් මුල යහපත්වූ, මැද යහපත්වු, අවසානය යහපත්වූ, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන (අකුරු) සහිත, සියලු ආකාරයෙන් සම්පූර්‍ණ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරයිද, ඒ ඒ පරිද්දෙන් ඔහුට ශාස්තෲහු හෙවත් අනුශාසක තෙම ප්‍රිය මනාප, ගරු භාවනීය වෙයි. ඇවැත්නි, සුදුසු කල දහම් ඇසීමෙහි හා ධර්ම සාකච්ඡාවෙහි මේ පළමුවන ආනිසංසයයි.

’’ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් භික්‍ෂූන්ට මුල යහපත්වූ, මැද යහපත්වු, අවසානය යහපත්වූ, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන (අකුරු) සහිත, සියලු ආකාරයෙන් සම්පූර්‍ණ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරයිද, ඒ ඒ පරිද්දෙන් භික්‍ෂුව ඒ ධර්මයෙහි අර්ථය දන්නේ වේද, ධර්මය දන්නේ වේද, මේ සුදුසු කල දහම් ඇසීමෙහි හා ධර්ම සාකච්ඡාවෙහි දෙවන ආනිසංසයයි.

’’ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් භික්‍ෂූන්ට මුල යහපත්වූ, මැද යහපත්වු, අවසානය යහපත්වූ, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන (අකුරු) සහිත, සියලු ආකාරයෙන් සම්පූර්‍ණ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරයිද, ඇවැත්නි, භික්‍ෂුවක් භික්‍ෂූන්ට යම් පරිද්දෙකින් මුල යහපත්වූ, මැද යහපත්වු, අවසානය යහපත්වූ, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන (අකුරු) සහිත, සියලු ආකාරයෙන් සම්පූර්‍ණ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරයිද, ඒ ඒ පරිද්දෙන් ඒ භික්‍ෂුව ඒ ධර්මයෙහි ගැඹුරු අරුත් පද නුවණින් විමසා බලයිද, ඇවැත්නි, මේ සුදුසු කල දහම් ඇසීමෙහි හා ධර්ම සාකච්ඡා කිරීමෙහි තුන්වන ආනිසංසයයි.

’’ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් භික්‍ෂූන්ට මුල යහපත්වූ, මැද යහපත්වු, අවසානය යහපත්වූ, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන (අකුරු) සහිත, සියලු ආකාරයෙන් සම්පූර්‍ණ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරයිද, ඇවැත්නි, භික්‍ෂුවක් භික්‍ෂූන්ට යම් පරිද්දෙකින් මුල යහපත්වූ, මැද යහපත්වු, අවසානය යහපත්වූ, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන (අකුරු) සහිත, සියලු ආකාරයෙන් සම්පූර්‍ණ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරයිද, ඒ ඒ පරිද්දෙන් හෙවත් ඒ දෙසූ ආකාරයෙන් ඒ සබ්‍රම්සරු (භික්‍ෂූහු) පසුවත් ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙම මග පල පැමිණියෙක් හෝ පැමිණීමට බලාපොරොත්තු වූයෙක් හෝ වේයයි වර්‍ණනා කරත්. ඇවැත්නි, මේ සුදුසු කල දහම් ඇසීමෙහි හා ධර්ම සාකච්ඡාවෙහි සතරවන ආනිසංසයයි.

’’නැවතද, ඇවැත්නි, භික්‍ෂුවක් භික්‍ෂූන්ට මුල යහපත්වූ, මැද යහපත්වු, අවසානය යහපත්වූ, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන (අකුරු) සහිත, සියලු ආකාරයෙන් සම්පූර්‍ණ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරයිද, ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් භික්‍ෂුවක් භික්‍ෂූන්ට මුල යහපත්වූ, මැද යහපත්වු, අවසානය යහපත්වූ, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන (අකුරු) සහිත, සියලු ආකාරයෙන් සම්පූර්‍ණ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරයිද, ඒ ඒ තන්හි සේඛ (රහත් බවට නොපැමිණි, රහත් බව පතමින් වාසය කරණ) භික්‍ෂූහු වෙත්ද, ඒ භික්‍ෂූහු ඒ ධර්‍මය අශ්‍ර නොපැමිණි රහත් බවට පැමිණීම පිණිස, අවබෝධ නොකළ ධර්‍මය අවබෝධ කිරීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකළ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස, වීර්‍ය්‍ය කරත්. එහි යම් රහත්වූ, ආසවයන් නැතිකළ, බඹසර වැස නිමවූ, සතර මාර්‍ගයෙන් කළ යුතු කෘත්‍ය කළ, ස්කන්‍ධාදී බර බහා තැබූ, ස්වාර්ත්‍ථවූ රහත් බවට පැමිණි, භව බන්ධන නැති කළ, මනාකොට දැන සසරින් මිදුනු රහත්හු වෙත්ද, ඔවුහු ඒ ධර්මය අසා මේ අත්බැව්හි සැප විහණෙයෙහි යෙදී වසත්. ඇවැත්නි, මේ සුදුසු කල දහම් ඇසීමෙහි හා ධර්ම සාකච්ඡාවෙහි පස්වන ආනිසංසයයි. ඇවැත්නි, මේ සුදුසු කල දහම් ඇසීමෙහි හා ධර්ම සාකච්ඡාවෙහි අනුසස් පස වේ.’’