අඞ්ගුත්තරනිකායො

නවක නිපාතය

1. පළමු වෙනි පණ්ණාසකය

4. මහා වර්‍ගය

9. ආරඤ්ඤකනාග (හෝ) ආකිඤ්ඤ විහාර සූත්‍රය

’’මහණෙනි, යම් සමයෙක්හි ඇත්තුද, ඇතිනියෝද, ඇත් නාම්බෝද, ඇත් පැටවුද ගොදුරු ගැනීමෙහි යෙදුණු වණයෙහි වූ ඇතෙකුගේ ඉදිරියෙන් ගොස් තණ අග්ගිස් සිඳගනිත්ද, මහණෙනි, ඒ කරණකොට ආරණ්‍යක හස්තියා පීඩාවෙයිද, ලජ්ජාවෙයිද, පිළිකුල් වෙයිද, මහණෙනි, යම් සමයෙක්හි ඇත්තුද, ඇතිනියෝද, ඇත් නාම්බෝද, ඇත් පැටවුද ගොදුරු ගැනීමෙහි යෙදුනු වණයෙහි වූ ඇතෙකුගේ ඉදිරියෙන් ගොස් නමන ලද අතු කැබලි කත්ද, මහණෙනි, ඒ කරණකොට ආරණ්‍යක හස්තියා පීඩාවෙයිද, ලජ්ජාවෙයිද, පිළිකුල් වෙයිද,

’’ මහණෙනි, යම් සමයෙක්හි ඇත්තුද, ඇතින්නියෝද, ඇත් නාම්බෝද, ඇත් පැටවුද දිය තොටට බැස්සාවූ ආරණ්‍යක හස්තියාගේ ඉදිරියෙන් ගොස් සොඬවැලෙන් වතුර කළඹවත්ද, මහණෙනි, ඒ කරණකොට ආරණ්‍යක හස්ති තෙම පීඩා වෙයිද, ලජ්ජා වෙයිද, පිළිකුල් වෙයිද, මහණෙනි, යම් සමයෙක්හි දිය තොටට බැස්සාවූ, ආරණ්‍යක හස්තියාගේ ඇඟෙහි ගැටෙමින් ඇතින්නියෝද යෙත්ද, මහණෙනි, ඒ කරණකොට ආරණ්‍යක ඇත්තෙම පීඩාවෙයිද, ලජ්ජාවෙයිද, පිළිකුල් වෙයිද,

’’මහණෙනි, ඒ කාලයෙහි ආරණ්‍යක හස්තියාට මෙබඳු සිතක් වෙයි. (එනම්) ’මම වනාහි දැන් ඇතුන්ගෙන්ද, ඇතිනියන්ගෙන්ද, ඇත් නාම්බන්ගෙන්ද, ඇත් පැටවුන්ගෙන්ද ආකීර්‍ණව වසමි. සුන්වූ අග් ඇති තණ කොළ කමි. මා විසින් කඩන ලද අතු කැබලි (ඔවුහු) කති. (මම) (ඔවුන්ගෙන්) කැළඹුණාවූ පැන් බොමි. ඇතින්නියෝ දියට බැස්සාවූ මගේ සිරුර ගැටෙමින් යති. මම හුදකළාවූයෙමි. සමූහය (රැළ) කෙරෙන් වෙන්වුයෙමි වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක’ කියායි.

’’හෙතෙම පසු කාලයක හුදකළාවූයේ, සමූහයා කෙරෙන් වෙන්වූයේ, මෙසේ නොසුන් අග් ඇති තණකොළ කයි. ඔහු විසින් නමන ලද අතු කැබලි (ඔවුහු) නොකත්. නොකැළඹුණු දිය බොයි. ඇතින්නියෝ දිය තොටට බැස්සාවූ ඔහුගේ ඇඟෙහි නොගැටෙමින් යත්ද, ඒ කාලයෙහි ආරණ්‍යක හස්තියාට මෙබඳු සිතක් වෙයි. ’ඇතුන්ගෙන්ද, ඇතිනියන්ගෙන්ද, ඇත් නාම්බන්ගෙන්ද, ඇත් පැටවුන්ගෙන්ද පෙර මම වනාහි ආකීර්‍ණව විසූයෙමි. සුන්වූ අග් ඇති තණ කොළ කෑවෙමි. මා විසින් බිඳින ලද අතු කැබලි (ඔවුහු) කෑවාහුය. කැළඹුණාවූ පැන් බීවෙමි. ඇතින්නියෝ දියට බැසගන්නා ලද මාගේ ඇඟෙහි ගැටෙමින් ගියාහුය.

’’ඒ මම මේ කාලයෙහි හුදකළාවූයෙම්, ගණයා කෙරෙන් වෙන්වුයෙම්, නොසුන් අග් ඇති තණකොළ කමි. මා විසින් බිඳින බිඳින ලද අතු කැබලිති (ඔහු) නොකත්. නොකැළඹුණු පැන් බොමි. ඇතිනියෝ දියට බැස්සාවූ මගේ සිරුර ගටමින් නොයත්’ ය කියායි. ’ඒ මට සොඬින් අතු කැබලිති කඩාගෙන, අතු කැබලිත්තෙන් සිරුර පිරිමැද, සතුටු සිත් ඇත්තේ කැසිල්ල දුරු කෙරෙත්.’’

’’මහණෙනි, එසේම වනාහි යම් සමයෙක්හි මහණෙක් තෙම භික්‍ෂූන්ගෙන්ද, භික්‍ෂුණීන්ගෙන්ද, උපාසකයන්ගෙන්ද, උපාසිකාවන්ගෙන්ද, රාජ රාජ මහාමාත්‍යයන්ගෙන්ද, තීර්ත්‍ථකයන්ගෙන්ද, තීර්ත්‍ථක ශ්‍රාවකයන්ගෙන්ද, ආකීර්‍ණව වෙසේද, මහණෙනි, ඒ කාලයෙහි භික්‍ෂුවට මෙසේ සිතක් වේ. ’මම වනාහි දැන් භික්‍ෂූන්ගෙන්ද, භික්‍ෂුණීන්ගෙන්ද, උපාසකයන්ගෙන්ද, උපාසිකාවන්ගෙන්ද, රාජ රාජ මහාමාත්‍යයන්ගෙන්ද, තීර්ත්‍ථකයන්ගෙන්ද, තීර්ත්‍ථක ශ්‍රාවකයන්ගෙන්ද, ආකීර්‍ණව වාසය කරම්ද, මම හුදකලාවුයෙම්, සමූහයා කෙරන් වෙන්වූයෙම්, වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක’ කියායි.

හෙතෙම අරණ්‍යය, වෘක්‍ෂමූලය, පර්‍වතය, කඳුරැලිය, ගිරිගුහාය, සුසානය, වනමාර්‍ගය, අභ්‍යවකාශය, පලාලපුංජය (පිදුරුගොඩය), යන සෙනසුන් භජනය කරයි. හෙතෙම අරණ්‍යයකට ගියේ හෝ, වෘක්‍ෂමූලයකට ගියේ හෝ, ශූන්‍යාගාරයකට ගියේ හෝ, පලක් බැඳ, කය කෙලින් තබාගෙන, ඉදිරියෙහි සිහිය පිහිටුවාගෙන හිඳියි. හෙතෙම ලෝකයෙහි අභිද්‍ධ්‍යාව (සන්තානයෙහි දැඩි ලෝභකම) හැර, පහවූ අභිද්‍ධ්‍යා ඇති සිතින් යුක්තව වෙසෙයි. අභිද්‍ධ්‍යාවෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාදයෙන් ප්‍රදොෂිතවු සිත හැර, අව්‍යාපාද (ව්‍යාපාදයක් නැති) සිත් ඇත්තේ, සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකම්පීව වෙසෙයි. ව්‍යාපාද ප්‍රදොෂීත සිත පිරිසිදු කෙරෙයි. ථීනම්ද්‍ධය (කයේ අලසකම සහ සිතේ අලසකම) හැර, පහවූ ථීනම්ද්‍ධ ඇත්තේ, ආලෝක සංඥා ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, වෙසේ. ථීනම්ද්‍ධයෙන් සිත පිරිසිදු කෙරෙයි.

’’උද්‍ධච්චකුක්කුච්චය හැර, උද්‍ධත නොවූයේ, ස්වසන්තානයෙහි සංසිඳුණු සිත් ඇත්තේ, උද්‍ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡාව හැර, තරණය කරණ ලද විචිකිත්සා ඇත්තේ, කුසල ධර්‍මයන්හි කථංකථා (සැක කටයුතු කථා) නැත්තේ, වාසය කෙරෙයි. විචිකිත්සාවෙන් සිත පිරිසිදු කෙරෙයි.

’’හෙතෙම මේ පඤ්චනීවරණයන් හැර, සිත පිළිබඳ උපක්ලෙශ ධර්‍මයන්වූ, ප්‍රඥාවගේ දුර්වලකමවූ, මේ පඤචනීවරණ ධර්මයන් හැර, කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, චිතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, හෙතෙම සතුටු සිත් ඇත්තේ, කණ්ඩූසනය කෙරෙත්. (කසාදමත්.) විතර්‍ක විචාරයන්ගේ සංසිඳවීමෙන් තමා තුළ ප්‍රසාදය ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සිතේ එකඟකමින් උපන් ප්‍රීතිය හා සැපය ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන් දුක් සැප නොවූ (මධ්‍යස්ථවූ) උපෙක්‍ෂාස්මෘති පාරිශුද්‍ධියවූ, චතුර්ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසේද, වීතීය ධ්‍යානයට, තෘතීය ධ්‍යානයට, චතුර්ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසේද, හෙතෙම සතුටු සිත් ඇත්තේ කණ්ඩූසනය කෙරෙත්. සර්වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ප්‍රථිඝ සංඥාවන් අස්තඞ්ගම කිරීමෙන්, නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, හෙතෙම සතුටු සිත් ඇත්තේ කණ්ඩූසනය කරත්.

’’සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම, විඤ්ඤාණය අනන්තයයි, විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසේද, සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම, කිසිවක් නැත්තේයයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේද, සර්වප්‍රකාරෙයන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේද, සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම, සඤ්ඤාවෙදයිතනිරෝධයට පැමිණ වෙසේද, ඔහුගේ ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම සතුටු සිත් ඇත්තේ කණ්ඩූසනය කෙරෙත්ය’’ වදාළ සේක.