අඞ්ගුත්තරනිකායො

නවක නිපාතය

1. පළමු වෙනි පණ්ණාසකය

4. මහා වර්‍ගය

10. උරුවෙලකප්ප (තපුස්ස) සූත්‍රය

’’මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මලතනම් දනව්වෙහි, උරුවෙල්කප්ප නම් මලත රට වාසීන්නේ නියම් ගමක් වේද, (එහි) වැඩ වාසය කරන සේක. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු රැගෙන, උරුවෙල කප්පයට පිඬු පිණිස වැඩි සේක. උරුවෙල කප්පයෙහි පිඬු පිණිස වැඩ, පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට ඇමතූ සේක. ’’ආනන්‍දයෙනි, දිවා විහරණය පිණිස මම යම්තාක් කල් මහවනයට වැදගන්නෙම්ද. ඒ තාක් කල් ඔබ මෙහිම වනු මැනව’’ යනුයි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, ’’ස්වාමීන් වහන්ස, එසේය’’ යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.

’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහවනයට වැඩ, එක්තරා රුක් මුලෙක්හි දිවා විහරණය කිරීම පිණිස වැඩ උන් සේක. ඉක්බිත්තෙන් තපුස්ස ගෘහපති තෙම, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත්වූ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මනාකොට වැඳ, එකත්පසෙක උන්නේය. එකත්පසෙක උන්නාවු තපුස්ස ගෘහපති තෙමේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මේ කාරණය කීයේය.

’’ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයානෙනි, කාමයෙහි සිත් ඇලවීම් ඇති, කාමයෙහි ඇලුනාවූ, කාමයෙහි මුදිතවූ, අපි කාමභෝගීවූ ගිහියෝ වෙමු. කාමයෙහි සිත් ඇලවීම් ඇති, කාමයෙහි ඇලුනාවූ, කාමයෙහි මුදිතවූ, කාමභෝගීවූ ඒ අපට යම් මේ නෛෂ්ක්‍රම්‍යය, ප්‍රපාතයක් මෙන් වැටහෙයි. ස්වාමීනි, මේ ශාසනයෙහි දහරවූ (ඉතා දහර) භික්‍ෂූන්ගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි බැසගනියි, පහදියි, මේ ශාන්තයයි සිටියි, මිදෙයි, යන මේ කාරණ මා විසින් අසන ලදි. ස්වාමීනි, මහජනයා හා අසදෘශවූ යම් මේ නෛෂ්ක්‍රම්‍යයක් වේද, මේ ශාසනයෙහි ඒ මේ නෛෂ්ක්‍රම්‍යය දක්නාවූ භික්‍ෂූන්ට මෙය ශාන්තය යනුයි.’’

’’ගෘහපතිය, කථා මූලයක් ඇත්තේමය. ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ දැකීමට යමු. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණෙන්නෙමු. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කරන්නෙමු. භාග්‍යවතුන් වහන්සේ අපට යම්සේ ප්‍රකාශ කරන්නේද, එය එසේ දරන්නෙමු’’ යි. ’’ස්වාමීනි, එසේය’’ යි තපුස්ස ගෘහපති තෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්නේය.

ඉක්බිත්තෙන් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ තපුස්ස ගෘහපතියා සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආනන්‍ද ස්ථවිරයෝ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළෝය. ’’ස්වාමීනි, තපුස්ස ගෘහපතිතෙම මෙසේ කියයි. ’’ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයානෙනි, කාමයෙහි සිත් ඇලවීම් ඇති, කාමයෙහි ඇලුනාවූ, කාමයෙහි මුදිතවූ, අපි කාමභෝගීවූ ගිහියෝ වෙමු. කාමයෙහි සිත් ඇලවීම් ඇති, කාමයෙහි ඇලුනාවූ, කාමයෙහි මුදිතවූ, කාමභෝගීවූ ඒ අපට යම් මේ නෛෂ්ක්‍රම්‍යය, ප්‍රපාතයක් මෙන් වැටහෙයි. ස්වාමීනි, මේ ශාසනයෙහි දහරවූ (ඉතා දහර) භික්‍ෂූන්ගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි බැසගනියි, පහදියි, මේ ශාන්තයයි සිටියි, මිදෙයි, යන මේ කාරණ මා විසින් අසන ලදි. ස්වාමීනි, මහජනයා හා අසදෘශවූ යම් මේ නෛෂ්ක්‍රම්‍යයක් වේද, මේ ශාසනයෙහි ඒ මේ නෛෂ්ක්‍රම්‍යය දක්නාවූ භික්‍ෂූන්ට මෙය ශාන්තය යනුයි.’’

’’ආනන්‍දය, ඒ කාරණය එසේය. ආනන්‍දය, ඒ කාරණය එසේය. ආනන්‍දය, චතුස්සත්‍යාවබෝධ නොකළාවූ, බෝධිසත්ත්‍වවූම මට සම්‍යක් සම්බෝධියෙන් පූර්‍වයෙහිම ’නෛෂ්ක්‍රම්‍යය යහපත්ය. උසස්වූ විවේකය යහපත්ය’ යි මෙබඳු සිතක් විය. ආනන්‍දය, මේ ශාන්තයයි දක්නාවූ මගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි නොබසියි. නොපහදියි. නොසිටියි. කෙලෙසුන්ගෙන් නොමිදෙයි. ආනන්‍දය, ඒ මට මෙබඳු සිතක් විය. ’මා විසින් කාමයන්හි ආදීනව නොදක්නා ලද්දේය. හෙද මා විසින් බහුල වශයෙන් නොකරණ ලද්දේය. නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංස නොලබන ලද්දේය. හෙද මා විසින් නොසෙවුනා ලද්දේය. එහෙයින් මෙය ශාන්තයයි නෛෂ්ක්‍රම්‍යයෙහි සිත නොබසී, නොපහදී. නොසිටී. කෙලෙසුන්ගෙන් නොමිදේ. ආනන්‍දය, ඒ මට මේ සිතක් පහළ විය. ’ඉදින් වනාහි මම කාමයන්හි ආදීනව දැක, එය බහුල වශයෙන් කරන්නෙම්ද, නෛෂ්ත්‍රම්‍යයෙහි ආනිසංසයට පැමිණ, එය සේවනය කරන්නෙම්ද, එනම් යම් හෙයකින් මේ ශාන්තයයි දක්නාවූ මාගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි බැසගන්නේද, පහදින්නේද, සිටින්නේද, කෙලෙසුන්ගෙන් මිදෙන්නේද යන මේ කාරණය විද්‍යමාන වෙයි. ආනන්‍දය, ඒ මම පසු කාලයක කාමයන්හි ආදීනවය දැක එය බහුල වශයෙන් කෙළෙමි. නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංසයට පැමිණ එය සේවනය කෙළෙමි.

’’ආනන්‍දය, එය ශාන්තයයි දක්නාවූ මාගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි බැසගනී. පහදී. පිහිටා සිටී. කෙලෙසුන්ගෙන් මිදේ. ආනන්‍දය, ඒ මම පසු කාලයක කාමයන්ගෙන් වෙන්වම ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙම්ද, ආනන්‍දය, මේ විහරණයෙන් යුක්තව වාසය කරන්නාවූ ඒ මට කාම සහගත සංඥා මනසිකාරයෝ පවතිත්. ආනන්‍දය, යම් සේ, යම්තාක් ආබාධය පිණිසද, ඒතාක් සුවපත් වූවහුට දුකක් උපදින්නේද, එය ඒ මට ආබාධයෙක් වෙයි. එසේම ඒ මට කාම සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඒ මට එය ආබාධයෙක් වෙයි.

’’ආනන්‍දය, ඒ මට මෙබඳු සිතක් විය. ’මම විතර්‍ක විචාරයන් සංසිඳවීමෙන් වීතීයධ්‍යානයට පැමිණ වාසය කරන්නෙම් නම් යෙහෙක’ කියායි. ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවූ ඒ මාගේ සිත අවිතර්‍කයෙහි බැස නොගනියි. නොපහදී. මොනවට පිහිටා නොසිටියි. කෙලෙසුන් කෙරෙන් නොමිදේ. ආනන්‍දය, මෙය ශාන්තයයි දකින්නාවූ ඒ මට මෙබඳු සිතක් විය. ’යමක් කරණකොට මාගේ සිත අවිතර්‍කයෙහි බැස නොගනීද, නොපහදීද, මොනවට පිහිටා නොසිටීද, නොමිදේද, ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද?’ කියායි.

’’ආනන්‍දය, දක්නාවූ මට මෙබඳු සිතක් විය. ’මා විසින් විතර්‍කයන්හි ආදීනව නොදක්නා ලද්දේය. මා විසින් එය බහුල වශයෙන් නොකරණ ලද්දේය. අවිතර්‍කයෙහි ආනිසංසය නොලබන ලද්දේය. මා විසින් එය පුරුදු නොකරණ ලද්දේය. එහෙයින් මාගේ සිත අවිතර්‍කයෙහි නොබසියි. නොපහදියි. මොනවට නොසිටියි. කෙලෙසුන්ගෙන් නොමිදෙයි කියායි.

’’ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවූ ඒ මට මෙබඳු සිතක් විය. ’ඉදින් වනාහි මම විතර්‍කයන්හි ආදීනවයන් දැක, එය බහුල වශයෙන් කරන්නෙම් නම්, අවිතර්කයෙහි ආනිසංසයට පැමිණ එය ආසේවනය කරන්නෙම් නම්, යම් හෙයකින් මාගේ සිත අවිතර්කයෙහි බැසගනිද, පහදීද, මොනවට පිහිටා සිටීද, මිදේද, මේ කාරණය වනාහි විද්‍යමාන වෙයි. ආනන්‍දය, ඒ මට පසු කාලයක විතර්කයන්හි ආදීනව දැක, එය බහුල වශයෙන් කෙළෙමි. අවිතර්කයෙහි ආනිසංසයට පැමිණ, එය සේවනය කෙළෙමි.

’’ආනන්‍දය, මේ ශාන්තයයි දකින්නාවූ ඒ මාගේ සිත අවිතර්කයෙහි බැසගනී, පහදී, මොනවට පිහිටා සිටී, මිදෙයි කියායි. ආනන්‍දය, ඒ මම පසු කාලයක විතර්ක විචාරයන් සංසිඳවීමෙන් තමා තුළ ප්‍රසාදය ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සිතේ එකඟකමින් උපන් ප්‍රීතිය හා සැපය ඇති වීතීයධ්‍යානයට පැමිණ වාසය කරමි. ආනන්‍දය, මේ විහරණයෙන් යුක්තව වාසය කරන්නාවු ඒ මට විතර්ක සහගත සංඥා මනසිකාරයෝ පවතිත්. ඒ මට එය ආබාධයක් වෙයි. ආනන්‍දය, සුවපත්වූවහුට දුකක් උපදින්නේ යම් සේද, එය ආබාධය පිණිස පවතින්නේද, එපරිද්දෙන්ම ඒ මට විතර්ක සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, එය ඒ මට ආබාධයෙක් වෙයි. ’’ආනන්‍දය, මම ප්‍රීතියෙහි නොඇලීමෙන්, තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරන්නෙම් නම් ඉතා යහපතැයි’ මෙබඳු සිතක් විය.

’’ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවූ ඒ මාගේ සිත නිෂ්ප්‍රීතික (ධ්‍යාන) යෙහි බැස නොගනී, නොපහදී, නොසිටියි, නොමිදේ කියායි. ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවූ මට මෙබඳු සිතක් විය. ’යමෙක් කරණකොට මාගේ සිත නිෂ්ප්‍රීතික ධ්‍යානයෙහි බැස නොගනීද, නොපහදීද, නොසිටීද, නොමිදේද, ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද? ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවූ ඒ මට මෙබඳු සිතක් විය. මා විසින් ප්‍රීතියෙහි ආදීනවය නොදක්නා ලද්දේද, එය මා විසින් බහුල නොකරණ ලද්දේද, නිෂ්ප්‍රීතියෙහි ආනිසංස නොලබන ලද්දේද, එය මා විසින් නොසෙවුන ලද්දේද, එහෙයින් මාගේ සිත නිෂ්ප්‍රීතිකධ්‍යානයෙහි බැස නොගනී, නොපහදී, නොසිටී, නොමිදේ. ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවු මට මේ සිතක් විය. ’ඉදින් වනාහි මම ප්‍රීතියෙහි ආදීනවය දැක, එය බහුල වශයෙන් කරන්නෙම්ද, නිෂ්ප්‍රීතියෙහි ආනිසංසයට පැමිණ, එය සේවනය කරන්නෙම්ද, යම් හෙයකින් මාගේ සිත නිෂ්ප්‍රීතියෙහි බැසගන්නේද, පහදින්නේද, මොනවට පිහිටා සිටින්නේද, (කෙලෙසුන්ගෙන්) මිදෙන්නේද, මේ කාරණය වනාහි විද්‍යමාන වෙයි. ආනන්‍දය, ඒ මම වනාහි පසු කාලයක ප්‍රීතියෙහි ආදීනව දැක, එය බහුල වශයෙන් කළෙමි. නිෂ්ප්‍රීතියෙහි ආනිසංසයට පැමිණ, එය සේවනය කෙළෙමි.

’’ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවූ ඒ මාගේ සිත නිෂ්ප්‍රීතියෙහි බැසගනී, පහදී සිටියි, මිදෙයි යනුයි. ආනන්‍දය, ඒ මම වනාහි පසුකාලයක ප්‍රීතියෙහි නොඇලීමෙන් තෘතිය ධ්‍යානයට පැමිණ වාසය කරමි. ආනන්‍දය, මේ විහරණයෙන් යුක්තව වාසය කරන්නාවූ ඒ මට ප්‍රීතිසහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, එය ඒ මට ආබාධයක් වෙයි. ආනන්‍දය, යම් සේ සුවපත්වූවහුට දුක් උපදින්නේ ඒතාක් ආබාධය පිණිස පවතින්නේද, එසේම ඒ මට ප්‍රිතිසහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඒ මට එය ආබාධයෙක් වෙයි. ආනන්‍දය, ඒ මට මෙබඳු සිතක් විය. ’මම සැපය ප්‍රහාණය කිරීමෙන් චතුර්ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක’ කියායි.

’’ආනන්‍දය, මේ ශාන්තයයි දක්නාවූ ඒ මාගේ සිත අදුක්ඛමසුඛයෙහි (දුක් සැප නැත්තෙහි) නොබසියි, නොපහදියි, නොසිටියි, නොමිදෙයි කියායි. ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවූ ඒ මට මෙබඳු සිතක් විය. ’යමක් කරණකොට මාගේ සිත අදුක්ඛමසුඛයෙහි බැස නොගනීද, නොපහදීද, නොසිටීද, නොමිදෙයිද, ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද? ආනන්‍දය, එය ශාන්තයයි දක්නාවූ ඒ මට මෙබඳු සිතක් විය. ’උපෙක්‍ෂා සැපයෙහි මා විසින් ආදීනවය (දොෂය) නොදක්නා ලද්දේය. එය මා විසින් බහුල වශයෙන් නොකරණ ලද්දේය. අදුක්ඛමසුඛයෙහි ආනිසංසයට නොපැමිණෙන ලද්දේය. එය මා විසින් සේවනය නොකරණ ලද්දේය. එහෙයින් මාගේ සිත අදුක්ඛමසුඛයෙහි බැස නොගනියි, නොපහදියි, නොසිටියි, නොමිදෙයි’ කියායි.

’’ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවු ඒ මට මෙබඳු සිතක් විය. ’ඉදින් වනාහි මම උපෙක්‍ෂා සැපයෙහි ආදීනවය දැක, එය බහුල වශයෙන් කරන්නෙම්ද, අදුක්ඛමසුඛයෙහි ආනිසංසයට පැමිණ, එය සේවනය කරන්නෙම්ද, යම් හෙයකින් මාගේ සිත අදුක්ඛමසුඛයෙහි බසින්නේද, පහදින්නේද, සිටින්නේද, මිදෙන්නේද, මේ කාරණය වනාහි විද්‍යමාන වෙයි. ආනන්‍දය, ඒ මම වනාහි පසු කාලයක උපෙක්‍ෂා සැපයෙහි ආදීනවය දැක, එය බහුල වශයෙන් කෙළෙමි. අදුක්ඛමසුඛයෙහි ආනිසංසයට පැමිණ, එය සේවනය කෙළෙමි. ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවූ ඒ මගේ සිත අදුක්ඛමසුඛයෙහි බැසගනියි. පහදියි. සිටියි. මිදෙයි. ආනන්‍දය, ඒ මම පසු කාලයක සැපය ප්‍රහාණය කිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන් දුක් සැප නොවූ (මධ්‍යස්ථවූ) උපෙක්‍ෂා ස්මෘති පාරිශුද්‍ධියවූ චතුර්ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කරම්ද, ආනන්‍දය, මේ විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ ඒ මට උපෙක්‍ෂාසුඛ සහගත සංඥා මනසිකාරයෝ පවතිත්. ඒ මට ආබාධයෙක් වෙයි. ආනන්‍දය, යම් සේ සුව ඇත්තාහුට දුකක් උපන්නේද, ඒතාක් ආබාධය පිණිස පවතීද, ඒසේම ඒ මාගේ අපෙක්‍ෂාසහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, එය මට ආබාධයක් වේ.

’’ආනන්‍දය, ඒ මට මෙබඳු සිතක් විය. ’මම සර්‍වප්‍රකාරෙයන් රූප සංඥාවන් ඉක්මවා ප්‍රතිඝ සංඥාවන් දුරු කිරීමෙන් නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක’ කියායි. ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවූ ඒ මාගේ සිත ආකාසානඤ්චායතනයෙහි බැස නොගනියි, නොපහදියි, නොසිටියි, (කෙලෙසුන්ගෙන්) නොමිදෙයි.

’’ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවූ ඒ මට මෙබඳු සිතක් විය. ’යමක් කරණකොට මාගේ සිත ආකාසානඤ්චායතනයෙහි බැස නොගනීද, නොපහදීද, නොසිටීද, නොමිදෙයිද, ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද? ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවූ ඒ මට මෙබඳු සිතක් විය. ’මා විසින් රූපයන්හි ආදීනව නොදක්නා ලද්දේද. එය මා විසින් බහුල වශයෙන් නොකරණ ලද්දේද. ආකාසානඤ්චායතනයෙහි ආනිසංසයට නොපැමිණියේද, එය මා විසින් ආසේවනය නොකරණ ලද්දේද, එහෙයින් මාගේ සිත ආකාසානඤ්චායතනයෙහි නොබසී, නොපහදී, නොසිටියි, නොමිදේ’ කියායි.

’’ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවු ඒ මට මෙබඳු සිතක් විය. ’ඉදින් වනාහි මම රූපයන්හි ආදීනව දැක, එය බහුල වශයෙන් කරන්නෙම්ද, ආකාසානඤ්චායතනයෙහි ආනිසංසයට පැමිණ, එය සේවනය කරන්නෙම්ද, යම් හෙයකින් ආකාසානඤ්චායතනයෙහි මාගේ සිත බැසගන්නේද, පහදින්නේද, සිටින්නේද, මිදෙන්නේද, මේ කාරණය වනාහි විද්‍යමාන වෙයි. ආනන්‍දය, ඒ මම වනාහි පසු කාලයක රුපයන්හි ආදීනවය දැක, එය බහුලව කෙළෙමි. ආකාසානඤ්චායතනයෙහි ආනිසංසයට පැමිණ, එය සේවනය කෙළෙමි.

’’ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවූ ඒ මගේ සිත ආකාසානඤ්චායතනයෙහි බැසගනියි. පහදියි. සිටියි. මිදේ. ආනන්‍දය, ඒ මම පසු කාලයක සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන්, ප්‍රතිඝ සංඥාවන් දුරු කිරීමෙන්, නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි. ආනන්‍දය, මේ විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ ඒ මට රූප සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඒ මට එය ආබාධයෙක් වෙයි. ආනන්‍දය, යම් සේ සුවපත්වූවහුට දුකක් උපදින්නේ ආබාධය ඇතිතාක් පවත්නේද, එසේම ඒ මාගේ රූප සංඥා මනසිකාරයෝ පවතිත්ද, එය මට ආබාධයක් වෙයි. ආනන්‍දය, ඒ මට මෙබඳු සිතක් විය. ’මම සර්‍වප්‍රකාරෙයන් ආකාසානඤ්චායතනය ඉක්ම විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක’ කියායි.

’’ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවූ ඒ මාගේ සිත විඤ්ඤාණඤ්චායතනයෙහි බැස නොගනියි, නොපහදියි, නොමසිටියි, නොමිදෙයි. ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවූ ඒ මට මෙබඳු සිතක් විය. ’යම් හෙයකින් මාගේ සිත විඤ්ඤාණඤ්චායතනයෙහි බැස නොගනීද, නොපහදීද, නොසිටියිද, නොමිදෙයිද, ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද? ආනන්‍දය, ඒ මට මෙබඳු සිතක් විය. ’මා විසින් ආකාසානඤ්චායතනයෙහි ආදීනව නොදක්නා ලද්දේද. එය මා විසින් බහුල වශයෙන් නොකරණ ලද්දේද. විඤ්ඤාණඤ්චායතනයෙහි ආනිසංසය නොලබන ලද්දේද, එහෙයින් මෙය ශාන්තයයි බලන්නාවූ මාගේ සිත විඤ්ඤාණඤ්චායතනයෙහි නොම බැස ගනී, නොම පහදියි, නොම සිටියි, නොම මිදෙයි’ කියායි. ආනන්‍දය, ඒ මට මෙබඳු සිතක් විය. ’ඉදින් වනාහි මම ආකාසානඤ්චායතනයෙහි ආදීනවය දැක, එය බහුලව කරන් නෙම්ද, විඤ්ඤාණඤ්චායතනයෙහි ආනිසංසයට පැමිණ, එය ආසේවනය කරන්නෙම්ද, යම් හෙයකින් මෙය ශාන්තයයි දක්නාවූ මාගේ සිත විඤ්ඤාණඤ්චායතනයෙහි බැසගන්නේද, පහදින්නේද, මොනවට පිහිටා සිටින්නේද, මිදෙන්නේද, මේ කාරණය වනාහි විද්‍යමාන වෙයි.

’’ආනන්‍දය, ඒ මම පසු කාලයක සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ, වාසය කෙරෙම්ද, ආනන්‍දය, මේ විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ ඒ මට ආකාසානඤ්චායතන සංඥා මනසිකාරයෝ පවතිත්. ඒ මට එය ආබාධයක් වෙයි. ආනන්‍දය, යම් සේ සුවපත්වූවහුට දුකක් උපදින්නේ ආබාධය ඇතිතාක් පවතින්නේද, එසේම ඒ මට ආකාසානඤ්චායතන සංඥා මනසිකාරයෝ පවතිත්ද, එය මට ආබාධයක් වෙයි. ආනන්‍දය, ඒ මට මෙබඳු සිතක් වෙයි. ’මම සර්‍වප්‍රකාරෙයන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම කිසිවක් නැත්තේයයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරන්නෙම්ය’ යි කියායි. ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවූ ඒ මාගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි නොම බැස ගනියි, නොම පහදියි, නොම පිහිටා සිටියි, නොම මිදෙයි. ආනන්‍දය, ඒ මට මෙවැනි සිතක් විය. ’මේ ශාන්තයයි දකින්නාවූ මාගේ සිත යම් හෙයකින් ආකිඤ්චඤ්ඤායතනයෙහි බැස නොගනීද, නොපහදීද, නොසිටීද, නොමිදෙයිද, ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද? ආනන්‍දය, ඒ මට මෙබඳු සිතක් විය. ’මා විසින් විඤ්ඤාණඤ්චායතනයෙහි ආදීනවය නොදක්නා ලද්දේද. එය මා විසින් බහුල වශයෙන් නොකරණ ලද්දේද. ආකිඤ්චඤ්ඤායතනයෙහි ආනිසංසය නොලබන ලද්දේද, මා විසින් එය සේවනය නොකරණ ලද්දේද, එහෙයින් මෙය ශාන්තයයි දක්නාවූ මාගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි බැස නොගනියි, නොපහදියි, නොසිටියි, නොමිදෙයි’ කියායි.

’’ආනන්‍දය, ඒ මට මෙබඳු සිතක් විය. ’ඉදින් වනාහි මම විඤ්ඤාණඤ්චායතනයෙහි ආදීනවය දැක, එය බහුල වශයෙන් කරන්නෙම්ද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආනිසංසයට පැමිණ, එය ආසේවනය කරන්නෙම්ද, යම් හෙයකින් මෙය ශාන්තයයි දක්නාවූ මාගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි බැසගන්නේද, පහදින්නේද, සිටින්නේද, මිදෙන්නේද, මේ කාරණය වනාහි විද්‍යමාන වෙයි. ආනන්‍දය, ඒ මම පසු කාලයක විඤ්ඤාණඤ්චායතනයෙහි ආදීනවය දැක, එය බහුලව කෙළෙමි. ආකිඤ්චඤ්ඤායතනයෙහි ආනිසංසයට පැමිණ, එය සේවනය කෙළෙමි. ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවූ ඒ මාගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි බැසගනියි, පහදියි, සිටියි, මිදෙයි කියායි. ආනන්‍දය, ඒ මම පසු කාලයක සර්වප්‍රකාරයෙන් චිඤ්ඤානඤ්චායතනය ඉක්මවා කිසිවක් නැත්තේයයි ආකිඤ්චඤ්ඤායතනවට පැමිණ වෙසෙම්ද, ආනන්‍දය, මේ විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ ඒ මට විඤ්ඤාණඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඒ මට එය ආබාධයක් වෙයි. ආනන්‍දය, යම් සේ සුවපත්වූවහුට ආබාධය ඇතිතාක් දුක් උපදින්නේද, එසේම ඒ මට විඤ්ඤාණඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඒ මට එය ආබාධයෙක් වෙයි.

’’ආනන්‍දය, ඒ මට මෙබඳු සිතක් විය. ’මම සර්‍වප්‍රකාරෙයන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරන්නෙමි’ කියායි. ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවූ ඒ මාගේ සිත නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි බැස නොගනියි, නොපහදියි, නොසිටියි, නොමිදෙයි කියායි. ආනන්‍දය, ඒ මට මෙබඳු සිතක් විය. ’මෙය ශාන්තයයි දක්නාවූ මාගේ සිත යමක් කරණ කොට නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට නොබසීද, නොපහදීද, නොසිටීද, නොමිදෙයිද, ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද? කියායි. ආනන්‍දය, ඒ මට මෙබඳු සිතක් විය. ’මා විසින් ආකිඤ්චඤ්ඤායතනයෙහි ආදීනවය නොදක්නා ලද්දේද. මා විසින් එය බහුල වශයෙන් නොකරණ ලද්දේද. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ආනිසංසය නොලබන ලද්දේද, මා විසින් එය නොසෙවුනා ලද්දේ වේද, එහෙයින් මෙය ශාන්තයයි දක්නාවූ මාගේ සිත නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නොබසීද, නොපහදීද, නොසිටීද, නොමිදේද, ආනන්‍දය, ඒ මට මෙබඳු සිතක් විය. මම ’ඉදින් වනාහි ආකිඤ්චඤ්ඤායතනයෙහි ආදීනවය දැක, එය බහුල වශයෙන් කරන්නෙම්ද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ආනිසංසයට පැමිණ, එය සේවනය කරන්නෙම්ද, යම් හෙයකින් මෙය ශාන්තයයි දක්නාවූ මාගේ සිත නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි බැසගන්නේද, පහදින්නේද, සිටින්නේද, මිදෙන්නේද, මේ කාරණය වනාහි විද්‍යමාන වෙයි.

’’’ආනන්‍දය, ඒ මම පසු කාලයක ආකිඤ්චඤ්ඤායතනයෙහි ආදීනවය දැක, එය බහුල වශයෙන් කෙළෙමි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ආනිසංසයට පැමිණ, එය සේවනය කෙළෙමි. ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවූ ඒ මාගේ සිත නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි බැසගනියි, පහදියි, සිටියි, මිදෙයි. ආනන්‍දය, ඒ මම වනාහි පසුකාලයක සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වසම්ද, ආනන්‍දය, මේ විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ ඒ මට ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඒ මට එය ආබාධයෙක් වෙයි. යම් සේ ආනන්‍දය, සුවපත්වූවහුට යම්තාක් ආබාධය පිනිස පවතීද, ඒතාක් දුක උපදින්නේය. එසේ මට ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඒ මට එය ආබාධයෙක් වෙයි.

’’ආනන්‍දය, ඒ මට මෙබඳු සිතක් විය. ’මම සර්‍වප්‍රකාරෙයන් නෙවසඤ්ඤානාස්ඤ්ඤායතනය ඉක්මවා, සඤ්ඤාවෙදයිතනිරොධයට පැමිණ වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙකය’ කියායි. ආනන්‍දය, මෙය ශාන්තයයි දක්නාවූ ඒ මගේ සිත සඤ්ඤාවෙදයිතනිරොධයෙහි බැස නොගනීද, නොපහදීද, නොසිටියිද, නොමිදෙයිද, ආනන්‍දය, ඒ මට මෙබඳු සිතක් විය. ’නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි මා විසින් ආදීනයවය නොදක්නා ලද්දේද, එයද මා විසින් බහුලව නොකරණ ලද්දේද, සඤ්ඤාවෙදයිතනිරොධයෙහි ආනිසංස නොලබන ලද්දේද, එය මා විසින් නොසෙවුනා ලද්දේද, එහෙයින් මෙය ශාන්තයයි දක්නාවූ මාගේ සිත සඤ්ඤාවෙදයිතනිරොධයෙහි බැස නොගනීද, නොපහදියිද, නොසිටියිද, නොමිදෙයිද, ආනන්‍දය, ඒ මට මෙබඳු සිතක් විය. ’ඉදින් වනාහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ආදීනවය දැක, එය බහුල වශයෙන් කරන්නෙම් නම්, සඤ්ඤාවෙදයිතනිරොධයෙහි ආනිසංසයට පැමිණ, එය ආසේවනය කරන්නෙම් නම්, යම් හෙයකින් මෙය ශාන්තයයි දක්නාවූ මාගේ සිත සඤ්ඤාවෙදයිතනිරොධයෙහි බැස නොගන්නේ නම්, නොපහදින්නේ නම්, නොසිටින්නේ නම්, නොමිදෙන්නේ නම්, මේ කාරණය වනාහි විද්‍යමාන වෙයි. ආනන්‍දය, ඒ මට පසු කාලයක සර්වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරොධයට පැමිණ, වාසය කෙරෙම්ද, මාගේ ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයෝ ක්‍ෂයවීමට ගියාහුය. ආනන්‍දය, මම යම්තාක් මේ නව අනුලොම විහාර සමාපත්තීන්ට මෙසේ අනුලොම පටිලොම වශයෙන් නොසමවැදුනෙම්ද, නොනැගිටියෙම්ද, ආනන්‍දය, මම ඒතාක් දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ සත්ත්‍ව ලෝකයෙහිද, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, ප්‍රජාව ඇති කල්හි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙම්යයි නොම දත්තෙමි.

’’ආනන්‍දය, යම් හෙයකින් මම මේ නව අනුපුබ්බ විහාර සමාපත්තීන්ට මෙසේ අනුලොම් පටිලොම් (පිළිවෙලින් පැමිණෙන) වශයෙන් සම වැදුනෙම්ද, නැගිටියෙම්ද, ඉක්බිති ආනන්‍දය, මම දෙවියන් සහිතවූ, මරුන් සහිතවු, බඹුන් සහිතවූ ලෝකයෙහිද, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, ප්‍රජාව ඇති කල්හි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙම්යයි දැනගත්තෙමි. මට දර්‍ශන ඥානයද පහළවිය. මාගේ චිත්ත විමුක්තිය වෙනස් නොවේ. මේ (මාගේ) අන්තිම ජාතිය (උත්පත්තිය) වූවාය. දැන් පුනර්භවයක් (නැවත ඉපදීමක්) නැත්තේය.’’

සතර වැනි මහා වර්‍ගය නිමි.