අඞ්ගුත්තරනිකායො
නවක නිපාතය
1. පළමු වෙනි පණ්ණාසකය
1. සම්බොධි වර්‍ගය
7. සුතවන්ත පරිබ්බාජක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වාසය කරණ සේක. එකල්හි සුතවන්ත පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතු, සිහිකටයුතු කථාව නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ සුතවන්ත පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය.
’’ස්වාමිනි, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මේ රජගහ නුවරම, ගිරිබ්බජ නම් තැන වාසය කරති. එහිදී මවිසින් භාග්‍යවතුන් වහන්සේ සම්මුඛයෙන් මෙය අසන ලදී. පිළිගන්නා ලදී. එනම්, යම් ඒ ඇසූ පිරූ තැන් ඇති, අර්හත්වූ, කෙලෙසුන් නැතිකළ, වැස නිමවන ලද, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පැමිණි යහපත ඇති, භව බැඳුම් සිඳ දැමූ, විමුක්තිය මනාකොට දැනගත් ඒ භික්‍ෂුව පස් තැනක වැරදි සේ හැසිරෙන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන සතුන් මැරීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව හොරකම නම් නුදුන් දෙය ගැනීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව මෙවුන්දම් සේවනය කරන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන බොරුකීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව පෙර ගිහි කාලයෙහි මෙන් රැස් කරණ කාමයන් පරිභොග කරන්නට නුසුදුසුය, කියායි. කිමෙක්ද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මේ කීම මවිසින් මනාකොට අසන ලදද, මනාකොට ගන්නා ලදද, මනාකොට සිහිකරණ ලදද, මනාකොට දරාගන්නා ලදද?’’
’’සුතවන්තය, තා විසින් ඒකාන්තයෙන් එය මනාකොට අසන ලදී. මනාකොට ගන්නා ලදී. මනාකොට සිහිකරණ ලදී. මනාකොට දරාගන්නා ලදී. සුතවන්තය, මම පෙරද මෙසේ කීමි. දැනුදු මෙසේම කියමි. යම් ඒ ඇසූ පිරූ තැන් ඇති, අර්හත්වූ, කෙලෙසුන් නැතිකළ, වැස නිමවන ලද, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පැමිණි යහපත ඇති, භව බැඳුම් සිඳ දැමූ, විමුක්තිය මනාකොට දැනගත් ඒ භික්‍ෂුව පස් තැනක වැරදි සේ හැසිරෙන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන සතුන් මැරීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව හොරකම නම් නුදුන් දෙය ගැනීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව මෙවුන්දම් සේවනය කරන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන බොරුකීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව පෙර ගිහි කාලයෙහි මෙන් රැස් කරණ කාමයන් පරිභොග කරන්නට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්‍ෂුව බුදුරදුන් අතහැර දමන්ට හෝ උන්වහන්සේට විරුද්ධවීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව ධර්‍මය අත්හැර දමන්ට හෝ ධර්‍මයට විරුද්‍ධවීමට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්‍ෂුව සඞ්ඝයා අත්හැර දමන්ට හෝ සඞ්ඝයාට විරුද්‍ධවන්ට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්‍ෂුව ශික්‍ෂාව අත්හැර දමන්ට හෝ ශික්‍ෂාවට විරුද්‍ධවන්ට නුසුදුසුය, සුතවන්තය, පෙරද, දැනුදු, මම මෙය කියමි. ඇසූ පිරූ තැන් ඇති, අර්හත්වූ, කෙලෙසුන් නැතිකළ, වැස නිමවන ලද, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පැමිණි යහපත ඇති, භව බැඳුම් සිඳ දැමූ, විමුක්තිය මනාකොට දැනගත් ඒ භික්‍ෂුව පස් තැනක වැරදි සේ හැසිරෙන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන සතුන් මැරීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව හොරකම නම් නුදුන් දෙය ගැනීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව මෙවුන්දම් සේවනය කරන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන බොරුකීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව පෙර ගිහි කාලයෙහි මෙන් රැස් කරණ කාමයන් පරිභොග කරන්නට නුසුදුසුය, ඒ භික්‍ෂු තෙම මේ නවතැන වැරදිසේ හැසිරෙන්ට නුසුදුසුය.’’